Skip to content

පටුනට යන්න

පස්වැන්න: සාධාරණ වන්න

පස්වැන්න: සාධාරණ වන්න

පස්වැන්න: සාධාරණ වන්න

‘ඔබේ සාධාරණකම දැනගන්න ලැබේවා!’—ෆිලිප්පි 4:5.

ඉන් අදහස් කරන දේ. සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන යුවළක් එකිනෙකා අතින් සිදු වන වැරදිවලට සමාව දෙනවා. (රෝම 3:23) එමෙන්ම ඔවුන් තම දරුවන්ට දැඩි නීති පනවන හෝ ඔවුන්ගේ කැමැත්තට ඉඩහරින අය නොවෙයි. නමුත් ඔවුන් තම දරුවන්ට සාධාරණ නීති දමන අතර අවශ්‍ය හික්මවීම්ද “සුදුසු ප්‍රමාණයට” ලබා දෙනවා.—යෙරෙමියා 30:11NW.

එය වැදගත් වීමට හේතුව. ‘ඉහළින් පැමිණෙන ප්‍රඥාව සාධාරණය’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (යාකොබ් 3:17) යෙහෝවා දෙවි සාධාරණ නිසා අපගෙන් පරිපූර්ණත්වය බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ අප අතින් අඩුපාඩු සිදු වන බව ඔහු දන්නා නිසයි. එසේනම් විවාහක යුවළක් එකිනෙකාගෙන් පරිපූර්ණත්වය බලාපොරොත්තු වීම සාධාරණද? අඩුපාඩුකම් ගැන නිතර විවේචනය කිරීමෙන් කෝපයක් ඇති වීම මිස යහපතක් සිදු වන්නේ නැහැ. එමනිසා “අපි සියලුදෙනාම බොහෝ වර වැරදි” කරන බව පිළිගැනීම හොඳම දෙයයි.—යාකොබ් 3:2.

සාර්ථක දෙමාපියන් දරුවන් සමඟ කටයුතු කිරීමේදීත් සාධාරණ වෙනවා. එමනිසා ඔවුන් තම දරුවන්ට දරන්න බැරි හික්මවීම් ලබා දෙන්නේ නැහැ. ඒ වගේම දරුවන් මොන දේ කළත් තමන් සතුටට පත් වන්නේ නැහැයි කියා ඔවුන් දරුවන්ට හැඟෙන්න සලස්වන්නේ නැහැ. (1 පේතෘස් 2:18) දරුවන් යම් වගකීම් දරන්න සුදුසු තත්වයට පැමිණෙන විට දෙමාපියන් ඔවුන්ට යම් නිදහසක් ලබා දෙනවා. දරුවන්ගේ ජීවිතයේ සෑම කාරණයක්ම පාලනය කිරීමට ඔවුන් උත්සාහ කරන්නේ නැහැ. එසේ කළොත් අවසානයේදී තමන් මෙන්ම දරුවනුත් වෙහෙසට පත් වී දුක්මුසු ප්‍රතිඵල අත් විඳීමට සිදු විය හැකි බව ඔවුන් දන්නවා.

මෙය අත්හදා බලන්න. පහත සඳහන් ප්‍රශ්න සැලකිල්ලට ගනිමින් ඔබ කොතරම් සාධාරණ කෙනෙක්ද කියා කල්පනා කර බලන්න.

ඔබ ඔබේ ස්වාමිපුරුෂයාව හෝ භාර්යාව අවසන් වරට අගය කළේ කවදාද?

ඔබ ඔහුව හෝ ඇයව අවසන් වරට විවේචනය කළේ කවදාද?

ස්ථිර අධිෂ්ඨානයක් ගන්න. එම ප්‍රශ්න දෙකෙන් පළමු එකට පිළිතුර මතක් කරන්න සිදු වූ නමුත් දෙවන ප්‍රශ්නයට පහසුවෙන්ම පිළිතුරු ලැබුණාද? එසේනම් ඔබ පවුලේ අයගෙන් බලාපොරොත්තු වන දේවල් ගැන පෙරට වඩා සාධාරණව කටයුතු කිරීමට අධිෂ්ඨාන කරගන්න.

සාධාරණ වීම සම්බන්ධයෙන් ඔබ දෙදෙනාම ගත යුතු අධිෂ්ඨාන ගැන ඔබේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව සමඟ සාකච්ඡා කරන්න.

දරුවන් යම් වගකීම් දරන්න සුදුසු තත්වයට පැමිණෙන විට ඔවුන්ට යම් නිදහසක් දිය හැකි ආකාරය ගැන සිතන්න.

දරුවන් ගෙදර පැමිණිය යුතු වේලාව ගැන පනවා ඇති සීමාවන් ගැන ඔවුන් සමඟ විවෘතව කතා කරන්න.

[7වන පිටුවේ පින්තූරය]

විනීත රියදුරෙක් මෙන් සාධාරණව කටයුතු කරන පවුලේ සාමාජිකයෙක්ද නිතරම නම්‍යශීලී වීමට හා අන් අයගේ කැමැත්තට ඉඩ දීමට සූදානම්