Skip to content

පටුනට යන්න

ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන අයගේ අද්දැකීම් දෙවන කොටස

ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන අයගේ අද්දැකීම් දෙවන කොටස

ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන අයගේ අද්දැකීම් දෙවන කොටස

පවුලක් කටුක අද්දැකීම්වලට මුහුණ දෙන විට බයිබලයේ සඳහන් උපදෙස් උපකාරවත් වන ආකාරය ගැන ‘පළමු වන කොටසෙහි’ අපි සාකච්ඡා කළා. * එම උපදෙස්වලට අනුව ජීවත් වන අයට යෙහෝවා දෙවි මෙවැනි පොරොන්දුවක් දී තිබෙනවා. “ඔබ යා යුතු මාර්ගය ගැන මම ඔබට කියා දෙන්නෙමි. වටහාගැනීමේ හැකියාවද මම ඔබට ලබා දෙන්නෙමි. මම ඔබ දෙස හොඳින් බලා ඔබට අවවාද කරන්නෙමි.”—ගීතාවලිය 32:8NW.

ආර්ථික දුෂ්කරතා හමුවේ. යුවළක් අතර ඇති වන මතගැටුම්වලට බොහෝවිට හේතු වන්නේ මුදල්. නමුත් ඊට නිසි තැන දෙමින් කටයුතු කරන ආකාරය බයිබලයෙන් ඉගෙනගත හැකියි. නිදසුනකට යේසුස් දුන් මේ උපදෙස බලන්න. ‘කුමක් කන්නේද කුමක් බොන්නේද කියා ඔබේ ජීවිත ගැනවත්, කුමක් අඳින්නේද කියා ඔබේ ශරීර ගැනවත් කනස්සලු වීම නතර කරන්න. මේ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නේය.’—මතෙව් 6:25, 32.

කැට්රිනා චණ්ඩ මාරුතයෙන් තම නිවෙස විනාශ වීමෙන් පසු තම පවුලේ අය සමඟ ආර්ථික අමාරුකම්වලට මුහුණ දුන් ආකාරය ගැන එක්සත් ජනපදයේ ඉස්සාකර්ගේ අද්දැකීම 23වන පිටුවේ සඳහන් වෙනවා.

පවුලේ සාමාජිකයෙක් බරපතල අසනීපයකට ගොදුරු වන විට. සාමාන්‍යයෙන් අපි හැම කෙනෙක්ම අසනීප වෙනවා. බොහෝවිට ඒවා ඉක්මනින් සුව වෙනවා. නමුත් පවුලේ කෙනෙක් දරුණු අසනීපයකට ගොදුරු වීම වෙනස් අද්දැකීමක්. එවැනි කෙනෙකුව පවා යෙහෝවා දෙවි රැකබලා ගන්නා බව බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 41:1-3) පවුලේ අයට ඒ සඳහා දායක විය හැක්කේ කෙසේද?

ජපානයේ ජීවත් වන හජිමිගේ භාර්යාව වන නොරිකෝ දරුණු අසනීපයකට ගොදුරු වුණා. ඇයව රැකබලා ගැනීම සඳහා ඔහුත් දියණියන් දෙදෙනාත් සහයෝගයෙන් කටයුතු කළ ආකාරය ගැන ඔහු පවසන අද්දැකීම 24වන පිටුවේ සඳහන් වෙනවා.

කුඩා දරුවෙක් මිය ගිය විට. පවුලක් මුහුණ දිය හැකි ඛේදනීයම අද්දැකීම්වලින් එකක් වන්නේ කුඩා දරුවෙකුගේ මරණයයි. එවන් තත්වයන් නිසා ඇති වන ශෝකය සම්පූර්ණයෙන්ම නැති කර දමන බව යෙහෝවා දෙවි පොරොන්දු කර තිබෙනවා. (එළිදරව් 21:1-4) එමෙන්ම දැන් පවා එවැනි අයට දෙවි සහනය ලබා දෙනවා.—ගීතාවලිය 147:3.

තම සිඟිති දියණිය මිය ගිය විට එය දරාගැනීමට බයිබලයේ සඳහන් පොරොන්දු උපකාරවත් වූ ආකාරය ගැන එක්සත් ජනපදයේ ෆර්නෑන්ඩෝ සහ ඩිල්මා පවසන අද්දැකීම 25වන පිටුවේ සඳහන් වෙනවා.

කටුක අද්දැකීම්වලට මුහුණ දෙන පවුල්වලට බයිබලයේ සඳහන් උපදෙස් ප්‍රයෝජනවත් වී ඇති ආකාරය දැන ගැනීම සඳහා මෙම සඟරාවේ ඊළඟ පිටු බලන්න.

[පාදසටහන]

^ 2 ඡේ. මෙම සඟරාවේ 14 සිට 17 දක්වා පිටු බලන්න.

[23වන පිටුවේ කොටුව/පින්තූර]

ආර්ථික අමාරුකම්වලට මුහුණ දීම

පැවසුවේ එක්සත් ජනපදයේ ඉස්සාකර් නිකල්ස්

“කැට්රිනා චණ්ඩ මාරුතයෙන් අපේ නිවස සම්පූර්ණයෙන්ම විනාශ වුණා. මම උගන්වපු ඉස්කෝලෙත් මාස එකහාමාරක් තිස්සේ වතුරෙන් යටවෙලා තිබුණා.”

වර්ෂ 2005 මැද භාගයේදී මමයි මගේ භාර්යාව වන මිෂෙල් හා අවුරුදු දෙකක් වයස අපේ දුව සිඩ්නියි ජීවත් වුණේ එක්සත් ජනපදයේ මිසිසිපිවල ශාන්ත ලුයිස් නගරයේයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන මමත් මගේ භාර්යාවත් අපගේ නමස්කාර කටයුතුවල හැකි උපරිමයෙන් හවුල් වුණා. මම අපේ නිවසට යාබදව පිහිටි නිව් ඕර්ලින්ස් ලුසියානා පාසැලේ ගුරුවරයෙක්. මම දින තුනක් රැකියාව කළ අතර ඉතුරු කාලය කැප කළේ අනික් අයට බයිබලයේ සඳහන් සත්‍යය ඉගැන්වීමටයි. කාලයක් පුරා අපි මේ වගේ හොඳින් වැඩ කරගෙන ගියා. අපි ජීවත් වන ප්‍රදේශයට චණ්ඩ මාරුතයක් එන බව දිනක් හදිසියේම අපිට දැනුම් දුන්නා. ඒ නිසා අපි ඉක්මනින්ම ඒ ප්‍රදේශයෙන් ඉවත් වෙන්න පියවර ගත්තා.

ඒ චණ්ඩ මාරුතයෙන් අපේ නිවසත් මම සේවය කළ පාසැලත් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. අපිට අලුතින් නිවසක් ගැනීමට රජයෙන් සහ රක්ෂණ ආයතනවලින් යම් මුදලක් ලැබුණත් අපි මුහුණ පෑ විශාලම අභියෝගය වුණේ ස්ථිර ආදායමක් නැති එකයි. ඒ විතරක් නෙමෙයි අපිරිසිදු වතුර නිසා මිෂෙල්ට වෛරසයක් ඇතුල් වෙලා හොඳටම අසනීප වුණා. ඒ නිසා ඇයගේ ප්‍රතිශක්තිකරන පද්ධතියත් ගොඩක් දුර්වල වුණා. ඉන්පසු ඇයට මදුරුවන්ගෙන් බෝ වන රෝගයකුත් වැලඳුණා. වියදම් අධික වීම නිසා ගැටලු තවත් උග්‍ර වුණා.

මේ තත්වය නිසා අත්‍යවශ්‍යයම දේවල් වුණත් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න අපි ඉගෙනගත්තා. ඒ වගේම ලැබෙන ඕනෑම රැකියාවක් කරන්න මට සිද්ධ වුණා.

අපිට ගොඩක් දේවල් අහිමි වුණ නිසා විශාල කලකිරීමක් ඇති වූ බව ඇත්තයි. ඒ වුණත් අපේ ජීවිත බේරුණු එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා. මේ අද්දැකීමෙන් අපි තේරුම්ගත්තේ ධන සම්පත්වලට තියෙන්නේ කොයි තරම් අඩු වටිනාකමක්ද කියන එකයි. “යමෙකුට කොපමණ තිබුණත් ඔහු සන්තක දේවල්වලින් ඔහුට ජීවිතය ලැබෙන්නේ නැත” කියා යේසුස් පැවසු ඒ වචන මොන තරම් සත්‍යයද කියලා අපිට වැටහුණා.—ලූක් 12:15.

අපිට නැතිවෙච්ච දේවල් ගැන අපි ගොඩක් කනගාටු වුණත් අපිට වඩා බරපතල හානි සිදු වූ අය හිටියා. සමහරුන්ට ඔවුන්ගේ ජීවිත පවා අහිමි වුණා. ඒ නිසා මම ඉක්මනින්ම වියෝ දුකින් පෙළෙන අයව සනසන්නත් සහනාධාර බෙදා දීමේ වැඩකටයුතුවල හවුල් වෙන්නත් පටන්ගත්තා.

මෙම බිහිසුණු අද්දැකීමට මුහුණ දුන් අපට බයිබලයේ සඳහන් යෙහෝවා දෙවි පවසා ඇති මෙම වචන විශාල සහනයක් වුණා. “සියල්ල අහිමි වූ අසරණයන්ගේ යාච්ඤාවලට ඔහු නිසැකවම සවන් දෙන්නේය. ඔහු ඔවුන්ගේ කන්නලව් හෙළා නොදකින්නේය.” (ගීතාවලිය 102:17NW) පවුලක් හැටියට ඇත්තෙන්ම අපි ඒ උපකාරය අද්දැක්කා.

[23වන පිටුවේ කොටුව]

වර්ෂ 2005දී එක්සත් ජනපදයට බලපෑ කැට්රිනා සහ රීටා චණ්ඩ මාරුතවලින් පසු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විගස සහනාධාර මධ්‍යස්ථාන 13ක්, ගබඩා අංශ නවයක් සහ ඉන්ධන පිරවුම්හල් හතරක් පිහිටෙව්වා. එමෙන්ම එක්සත් ජනපදයේ විවිධ ප්‍රදේශවලින් හා තවත් රටවල් 13කින් ස්වේච්ඡා සේවකයන් 17,000කට ආසන්න සංඛ්‍යාවක් විවිධ සහන සේවාවන් සඳහා ඉදිරිපත් වුණා. ඔවුන් විනාශ වූ නිවෙස් දහස් ගණනක් නැවත පිළිසකර කළා.

[24වන පිටුවේ කොටුව/පින්තූර]

පවුලේ සාමාජිකයෙක් බරපතල අසනීපයකට ගොදුරු වන විට

පැවසුවේ ජපානයේ හජිමි ඉටෝ

“ඉස්සර මමයි නොරිකෝයි ආසම දේ තමයි එකතු වෙලා කෑම උයන එක. නමුත් දැන් නොරිකෝට කන්න බොන්න විතරක් නෙවෙයි කතා කරගන්නවත් බැහැ. දැන් ඇය රෝද පුටුවකට සීමා වෙලා. හුස්ම ගන්නේත් කෘතිම ශ්වසන යන්ත්‍රයකිනුයි.”

නොරිකෝට 2006 මැයි මාසයේදී කතා කිරීමේ අපහාසුතාවක් ඇති වෙන්න පටන්ගත්තා. ඒ කාලයේදීම වගේ ඇයට කෑම බීම ගැනීමේ අපහසුතාවක්ද ඇති වුණා. සැප්තැම්බර් මාසය වන විට ඇගේ මොළය හා සුසුම්නාවට බලපාන රෝගයක් වැළඳී ඇති බව සොයාගත්තා. (amyotrophic lateral sclerosis) ඒ නිසා මාස හතරක් ඇතුළත අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඇගේ තත්වය තවත් දරුණු වෙන්න පටන්ගත්තා.

ටික කාලයකට පස්සේ නොරිකෝගේ දකුණු අතත් දිවත් පණ නැතුව ගියා. ඒ නිසා ඇයට ආහාර ලබා දුන්නේ නළ මාර්ගයෙනුයි. එමෙන්ම හුස්ම ගැනීම පහසු කිරීම සඳහා ශ්වසනාලයේ ශල්‍යකර්මයක් සිදු කළා. ඒ නිසා ඇයට කතා කිරීමට බැරි වුණා. නොරිකෝ සාමාන්‍යයෙන් හරිම කඩිසර කෙනෙක් නිසා මේ තත්වය ඇය කොහොම දරාගන්නවාද කියලා මට හිතාගන්නවත් බැහැ. අපේ මුළු පවුලම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. නොරිකෝත් අපේ දුවලා දෙන්නත් පූර්ණකාලීනව දෙවිට සේවය කළා. නමුත් දැන් ඇගේ තත්වය ගොඩක් වෙනස්. ඇය දැන් වැඩි කාලයක් ගත කරන්නේ ඇඳේමයි.

ඒ වුණත් නොරිකෝ තවමත් කෘතිම ශ්වසන යන්ත්‍රය සමඟ රෝද පුටුවෙන් යෙහෝවා දෙවි ගැන ඉගෙනගැනීම සඳහා රැස්වීම්වලට යනවා. ඇගේ ඇසීමත් දැන් අඩු වෙලා නිසා අපේ දුවලා රැස්වීම් අතරතුරේදී එම තොරතුරු ලොකු අකුරින් ලියා ඇයට පෙන්වනවා. දැන් නොරිකෝට කලින් මෙන් ගෙයින් ගෙට ගොස් පූර්ණකාලීනව සේවය කරන්න නොහැකි වුණත් බයිබලයේ සඳහන් ප්‍රීතිමත් බලාපොරොත්තුව ගැන ඇය ලියුම් මාර්ගයෙන් අන් අයට දැනුම් දෙනවා. එම ලියුම් ලිවීම සඳහා ඇයට විශේෂ පරිගණකයක් තිබෙනවා.—2 පේතෘස් 3:13; එළිදරව් 21:1-4.

අපේ දුවලා දෙන්නා සොයාගත් අලුත් රැකියාව නිසා ගෙදර වැඩවලට වැඩි අවධානයක් දෙන්න ඔවුන්ට හැකි වී තිබෙනවා. ඒ නිසා අපි තුන්දෙනාම එකට එකතු වෙලා නොරිකෝව බලාගන්නවා වගේම ගෙදර අනික් වැඩත් සහයෝගයෙන් කරනවා.

සමහර උදෑසන වරුවල නොරිකෝ වෙහෙසට පත් වෙලා වගේ මට පේනවා. එතකොට ‘අද ටිකක් විවේකයෙන් ඉන්න’ කියලා ඇයට කියන්න මට හිතෙනවා. ඒ වුණත් ශුභාරංචිය බෙදාගන්න නොරිකෝ ඉන්නේ හරිම ආශාවෙන්. ඉතිං ඇයට ලියුම් ලියන්න මම පරිගණකය සූදානම් කරද්දී ඇගේ සතුට ඇගේ ඇස්වලින් මට පේනවා. ඇය ලියුම් ලියද්දී කලින් මම දුටු ඒ වෙහෙස ගතිය ටිකෙන් ටික නැති වෙලා යනවා. “ස්වාමීන්ගේ වැඩෙහි නිතරම නියැලී සිටින්න” කියන උපදෙස මොන තරම් වටිනවාද කියලා මට දැන් තේරෙනවා.—1 කොරින්ති 15:58.

වර්ෂ 2006 ජනවාරි මාසයේ පළ වූ පිබිදෙව්! සඟරාවේ ජේසන් ස්ටුවට්ගේ අද්දැකීම, නොරිකෝට තමා ගැනම කලකිරීමෙන් වැළකී ඉන්න විශාල උපකාරයක් වී තිබෙනවා. ඇගේ එම ස්වභාවය ඇය ප්‍රතිකාර ලබන රෝහලේ කාර්යය මණ්ඩලයේ අවධානයට ලක් වුණා. ඇය ඔවුන්ට ජේසන්ගේ අද්දැකීම ගැන සඳහන් කළ අතර පසුව අපි එහි පිටපත් කිහිපයක් ඔවුන්ට ලබා දුන්නා. ඒ ආකාරයට නොරිකෝ ඇගේ විශ්වාසයන් ගැන අන් අයට පැවසීමෙන් ලොකු ශක්තියක් ලබනවා.

අපි දෙන්නා විවාහ වෙලා දැනට අවුරුදු 30ක් වෙනවා. නමුත් පසු ගිය අවුරුදු තුන ගැන සිතද්දී නොරිකෝ කලින් කොයි තරම් වැඩ කන්දරාවක් කරලා තියෙනවාද කියලා මට දැනුයි තේරෙන්නේ. නොරිකෝ වගේ භාර්යාවක් ලැබීම ගැන මට ඇත්තටම සතුටුයි!

[25වන පිටුවේ කොටුව/පින්තූර]

කුඩා දරුවෙක් මිය ගිය විට

පැවසුවේ එක්සත් ජනපදයේ ෆර්නෑන්ඩෝ සහ ඩිල්මා ෆ්‍රීටස්

“සිඟිති දරුවෙකුගේ මරණය නිසා ඇති වන ශෝකය වචනයෙන් විස්තර කරන්න බැහැ. ඒ තරම් වේදනාවක් නම් තවත් නැහැ.”

අපේ සිඟිති දියණියගේ නම ප්‍රෙෂස්. ඇය 2006 අප්‍රියෙල් 16වෙනිදා මිය යන විට ඇයගේ වයස දවස් දහයයි. ඇය ලැබෙන්න මාස තුනකට කලින් ඇයට බරපතල හෘද රෝගයක් තිබෙන බව වෛද්‍යවරුන් පැවසුවා. නමුත් ඇයව ලැබෙන්න කිට්ටුව ඔවුන් පැවසුවේ ඇය ඉපදුනත් වැඩිකල් ජීවත් වන්නේ නැති බවයි. අපිට සෞඛ්‍ය සම්පන්න දරුවන් තුන්දෙනෙක් ඉන්න නිසා අපේ පුංචි දුවට මෙහෙම දෙයක් වෙයි කියලා අපි නම් කවදාවත් හිතුවේ නැහැ. ඒ නිසා ඒක දරාගන්න අපිට හුඟක් අමාරු වුණා.

ළදරුවන් 5,000කින් එක් කෙනෙකුට වැලඳෙන ඉතා දුර්ලභ රෝගයක් අපේ දුවට තිබෙන බව ඇය ඉපදුණාට පස්සේ විශේෂඥ වෛද්‍යවරයෙක් සොයාගත්තා. ඇය වැඩි කල් ජීවත් නොවන බව එයින් තහවුරු වුණා. ඒ ගැන අපිට කරන්න පුළුවන් කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා අපි හරිම අසරණයි කියලා අපිට දැනුණා. අපිට කරන්න පුළුවන් එකම දේ වුණේ ඒ කෙටි කාලය තුළ ඇයත් එක්ක ඉන්න එක විතරයි.

ඒකත් අපිට ලොකු දෙයක්. ඒ කාලය තුළ අපි දෙන්නත් අපේ දුවලා තුන්දෙනත් ඇයට ගොඩක් කිට්ටු වුණා. අපි ඇයව තුරුළු කරගත්තා, ඇයට කතා කෙරුවා, සිප ගත්තා, පුළුවන් තරම් ඇගේ ඡායාරූප ගත්තා. ඇය අපෙන් කවුරු වගේද කියලත් අපි කතා වුණා. ප්‍රෙෂස්ට ප්‍රතිකාර කළ ඒ වෛද්‍යවරයා හැමදාම අපිව බලන්න රෝහලට ආවා. ඔහුත් ඒ ගැන ගොඩක් දුක් වී අපිත් සමඟ කඳුළු සැලුවා. ඒ වෙලාවේ ඔහු අපිත් එක්ක කතා කරකර ඉන්න අතරතුර අපේ දියණියව බලාගෙන ඇයව චිත්‍රයට නැඟුවා. ඒ ඇයව මතක් වෙන්නයි. ඔහු අපිටත් ඉන් පිටපතක් දුන්නා.

යෙහෝවා දෙවි අනාගතයේදී මේ පොළොව පාරාදීසයක් බවට පත් කර, අපේ කුඩා දියණිය වැනි බිලිඳුන් ඇතුළු මිය ගිය අයව නැවත නැඟිටුවන බව බයිබලයේ සඳහන් වෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අපිට එම පොරොන්දුව ගැන කිසිම සැකයක් නැහැ. අපේ සිඟිති දියණියව නැවතත් ආදරයෙන් වැලඳගන්න ලැබෙන ඒ දවස එන තුරු අපි හරිම ආසාවෙන් බලන් ඉන්නවා. (යෝබ් 14:14, 15; යොහන් 5:28, 29) “පාරාදීසය” කියන වචනය ඇසෙන විට ඒ පොරොන්දුව නැවත නැවතත් අපිට මතක් වෙනවා. ඒ වෙන තෙක් ඇය කිසිම වේදනාවකින් පසු නොවන බව දැන සිටීමත් ඇය දෙවිගේ මතකයේ සිටින බව දැන සිටීමත් අපිට ඉමහත් සැනසීමක්.—දේශනාකාරයා 9:5, 10.