Skip to content

පටුනට යන්න

ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන අයගේ අද්දැකීම් පළමුවන කොටස

ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන අයගේ අද්දැකීම් පළමුවන කොටස

ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන අයගේ අද්දැකීම් පළමුවන කොටස

සතුටින් පිරි සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අය පවා ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන බව අප මෙම විශේෂ පිබිදෙව්! කලාපයේ සාකච්ඡා කළා. අප ජීවත් වන්නේ බයිබලයේ විස්තර කරන ‘කටයුතු කිරීමට අසීරු කාලවල’ නිසා එවන් ප්‍රශ්න ගැටලු ඇති වීම පුදුමයක් නොවෙයි.—2 තිමෝති 3:1.

බොහෝදෙනා සිතන්නේ සතුටින් පිරි ජීවිතයකට එකම මඟ ධන සම්පත් කියායි. නමුත් ඊට වෙනස්ව යේසුස් පැවසුවේ “තම ආත්මික අවශ්‍යතාව [දෙවිගේ මඟ පෙන්වීම්] ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්ය” කියායි. (මතෙව් 5:3) ඒ අනුව දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගැනීමට උත්සාහ දරන පවුල් යම් ප්‍රශ්න ගැටලු හමුවේ වුණත් ප්‍රීතියෙන් සිටින ආකාරය ඉගෙනගෙන තිබෙනවා. ඒ සඳහා මෙම අද්දැකීම් සලකා බලන්න.

ආබාධිත දරුවෙකුව රැකබලා ගැනීම. තම පවුලේ සාමාජිකයන්ව රැකබලා ගැනීම ඉතා වැදගත් දෙයක් බව බයිබලයේ සඳහන් වෙනවා. යම් අසනීපයකින් හෝ ආබාධිත තත්වයකින් පෙළෙන අයද ඊට ඇතුළත්. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “යමෙකු තමාගේම අය, විශේෂයෙන්ම තමාගේ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේ ලබා දෙන්නේ නැත්නම්, ඔහු ඇදහිල්ල නොසලකාහැර තිබේ. ඔහු නොඇදහිලිකරුවෙකුට වඩා නරකය.”—1 තිමෝති 5:8.

දකුණු අප්‍රිකාවේ ජීවත් වන වික්ටර් හා ඔහුගේ භාර්යාව තම ආබාධිත පුතාව අවුරුදු 40කට වඩා වැඩි කාලයක් පුරා බලාගත් ආකාරය 15වන පිටුවේ සඳහන් වෙනවා.

වෙනත් මවක් හා පියෙක් යටතේ හැදී වැඩීම. සමහර දෙමාපියන් තම දරුවන්ව කුඩා කාලයේදීම අත්හැර දමා යනවා. ඒ නිසා තමන් කිසි වටිනාකමක් නැති අය කියා එම දරුවන්ට සිතෙන්න පුළුවන්. නමුත් ඔවුන් ඉතා වටිනා පුද්ගලයන් බව තේරුම්ගැනීමට බයිබලයේ සඳහන් උපදෙස් ඔවුන්ට උපකාර කරනවා. යෙහෝවා දෙවි පියා නැති දරුවන්ට “උපකාර” කරන බව එහි සඳහන් වෙනවා.—ගීතාවලිය 10:14NW.

ඇමරිකාවේ ජීවත් වන කෙන්යාටා නමැති යෞවනියට ඇගේ දෙමාපියන්ව කෙදිනකවත් මුණ ගැසී නැහැ. ඒ නිසා ඇයට ඇති වන දුක්මුසු හැඟීම් සමඟ ජීවත් වන්න ඉගෙනගත් ආකාරය 16වන පිටුවේ සඳහන් වෙනවා.

වියෝ දුක දරාගැනීම. මවගේ හෝ පියාගේ වියෝව නිසා ඇති වන දුක දරාගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. නමුත් එවැනි අයට සහනය ලබා දෙන්න ‘සියලු සැනසිල්ලේ දෙවි’ වන යෙහෝවාට හැකියි.—2 කොරින්ති 1:3.

තම පියාගේ වියෝව දරාගැනීමට දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය තමන්ට උපකාරවත් වූ ආකාරය ගැන ඕස්ට්‍රේලියාවේ ඇන්ජලා නමැති යෞවනිය පවසන දේ 17වන පිටුවේ සඳහන් වෙනවා.

සෑම පවුලක්ම ඊට ආවේණික ගැටලුවලට මුහුණ දෙනවා. නමුත් ඊළඟ පිටුවල සඳහන් අද්දැකීම්වලින් තහවුරු වන්නේ බයිබලයේ සඳහන් උපදෙස් ක්‍රියාත්මක කරන අය එම ගැටලු සාර්ථකව විසඳාගැනීමට හැකි ක්‍රම ඉගෙනගෙන ඇති බවයි.

[15වන පිටුවේ කොටුව⁄පින්තූර]

ආබාධිත දරුවෙකුව රැකබලා ගැනීම

පැවසුවේ දකුණු අප්‍රිකාවේ වික්ටර් මෑන්ස්

“දැන් ඇන්ඩෘගේ වයස අවුරුදු 44යි. ඔහු උපන් දා ඉඳලා මේ වන තෙක් ඔහුගේ හැම වැඩක්ම වගේ කළේ අපියි. නාවන්න ඇඳුම් අන්දවන්න විතරක් නෙවෙයි සමහර අවස්ථාවලදී ඇන්ඩෘට කෑම කැව්වෙත් අපියි.”

ඇන්ඩෘට අවුරුද්දක් පිරුණත් ඔහු ඇවිදින්නේ නැති එක ගැන අපිට යම් සැකයක් මතු වුණා. ඒ කාලයේදීම තමයි ඔහුට වලිප්පුවත් හැදුණේ. අපි ඉක්මනින්ම ඇන්ඩෘව රෝහලට අරගෙන ගියා. එහිදී ඔහු අපස්මාර රෝගයෙන් පෙළෙන බව සොයාගත්තා. ඔහුට මොළයේ යම් ආබාධිත තත්වයක් තිබෙන බවත් පසුව කළ පරීක්ෂණවලින් හෙළි වුණා.

අපි නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම අත්හදා බැලුව නිසා වලිප්පුව යම් දුරකට පාලනය කරගැනීමට හැකි වුණා. කාලයක් යන තුරුම ඔහුට විවිධ ප්‍රතිකාර හතරක් දවසට තුන්වතාවක් බැගින් ගැනීමට සිදු වුණා. නමුත් ඔහුගේ මොළයේ තිබූ ආබාධිත තත්වයට එයින් සුවයක් ලැබුණේ නැහැ. දැන් ඇන්ඩෘට වයස අවුරුදු 44යි. ඒ වුණත් ඔහුගේ මොළය වර්ධනය වී තිබෙන්නේ වයස අවුරුදු පහක හෝ හයක දරුවෙකුගේ ප්‍රමාණයටයි.

ඇන්ඩෘව පුනරුත්ථාපන රෝහලක නතර කරන්න කියා වෛද්‍යවරුන් අපට පැවසුවා. නමුත් අපිට ඔහුව බලාගන්න පුළුවන්කම තිබුණු නිසා ඒ යෝජනාවට අපි කැමති වුණේ නැහැ. අපිට මොන තරම් අභියෝග ආවත් ඇන්ඩෘව බලාගන්න අපි තීරණය කළා.

අපිට තවත් පුතෙකුයි දුවලා දෙන්නෙකුයි ඉන්නවා. ඒ අයද ඇන්ඩෘව බලාගන්න අපිට ගොඩක් උදව් කරනවා. ඒ ගැන අපි ඔවුන්ට හුඟක් ස්තුතිවන්ත වෙනවා. ඒ විතරක් නෙමෙයි, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අපට අපගේ සෙසු සාමාජිකයන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඔවුන් අපට සමහර අවස්ථාවලදී කෑම බීමත් ගෙනත් දෙනවා. ඒ වගේම අපි ගෙයින් ගෙට ගොස් දෙවි ගැන මිනිසුන්ට කියා දෙන අවස්ථාවලදී මෙන්ම අපගේ වෙනත් වැඩකටයුතුවල යෙදෙන අවස්ථාවලදීත් ඔවුන් ඇන්ඩෘව බලාගන්නවා.

“කිසිවෙකුවත් මා ලෙඩින්” යයි පවසන්නේ නැති කාලයක් පැමිණෙන බව යෙහෝවා දෙවි බයිබලයේ පොරොන්දු කර තිබෙනවා. (යෙසායා 33:24NW) එම වදන් අපගේ හදවතේ නොමැකී තිබෙනවා. දෙවි ළඟදීම මේ පොළොවෙන් අසනීප සම්පූර්ණයෙන්ම තුරන් කරන ඒ ප්‍රීතිමත් කාලය ගැන අපට කිසිම සැකයක් නැහැ. (2 පේතෘස් 3:13) අපි බලාගෙන ඉන්නේ ඇන්ඩෘට සම්පූර්ණ සුවය ලැබෙන ඒ කාලය එන තුරුයි. එතෙක් අපි අපේ ජීවිතයේ මුල් තැන දෙන්නේ දෙවිට කරන සේවයටයි. අපි එසේ කරද්දී අපට ජීවත් වීමට අවශ්‍ය දේවල් දෙවි සපයනවා කියා යේසුස් පැවසු වදන් අපි විශ්වාස කරනවා. (මතෙව් 6:33) ඇත්තෙන්ම එය අපි හොඳින් අද්දැක තිබෙනවා.

අසනීපයෙන් පෙළෙන දරුවෙකුව නිවසේදීම රැකබලා ගැනීමට සෑම පවුලකටම නොහැකි බව ඇත්තයි. නමුත් එසේ කරමින් සිටින අයට මම කියන්නේ දෙවිගේ උපකාරය ඉල්ලා ඕනෑකමින් හා නොකඩවා යාච්ඤා කිරීම අවශ්‍ය බවයි. (1 පේතෘස් 5:6, 7) දෙවෙනි කරුණ නම් ඔබේ දරුවාට හොඳ අවධානයක් දී ආදරයෙන් රැකබලා ගන්න. යෙහෝවා දෙවිට ප්‍රේම කරන්න ඔහුට හෝ ඇයට බැහැයි කියා සිතන්න එපා. (එෆීස 6:4) තුන්වෙනුව, පවුලේ සියලුම සාමාජිකයන්ගෙන් උපකාර ලබාගන්න. සිව්වෙනුව, ඔබේ දරුවාට ප්‍රේමය ලබන්න පුළුවන් හොඳම තැන ඔබගේ නිවස බව මතක තබාගන්න. එක් එක් කෙනාගේ තත්වයන් විවිධ විය හැකියි. නමුත් අපිට නම් ඇන්ඩෘව බලාගන්න එක කවදාවත් කරදරයක් වෙලා නැහැ. ඔහු දැන් උස් මහත් වුණත් මට නම් ඔහු තාමත් මගේ පුංචි පුතාමයි.

[16වන පිටුවේ කොටුව⁄පින්තූර]

වෙනත් මවකගේ හා පියෙකුගේ රැකවරණය යටතේ

පැවසුවේ එක්සත් ජනපදයේ කෙන්යාටා යෙන්

සමහර ළමයින්ට එයාලගෙ දෙමාපියන්ගෙන් එක් කෙනෙක් හරි ඉන්නවා. මට එහෙමවත් නැහැ. මාව දරුකමට හදාගන්න අරගෙන තියෙන නිසා මම කාගේ කවුද කියලාවත් මම දන්නේ නැහැ.

මම ඉපදෙන්න ඉන්න කොට අම්මා මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කරලා තියෙනවා. මාව ලැබුණු ගමන්ම අනාථ නිවාසයකට භාර දීලා. වයස අවුරුදු දෙකේදී මාව දරුකමට හදාගන්න ගන්න කලින් ඒ වගේ අනාථ නිවාස කිහිපයකම මම ඉඳලා තියෙනවා. මගේ අම්මා තාත්තා කවුද කියලාවත් මම දන්නේ නැහැ.

මගේ අලුත් තාත්තා මට කිව්වා එයා මාව දැක්ක මුල්ම දවසේම මාව හදාගන්න ගන්න හිතුණා කියලා. ඒ වගේම මගේ අලුත් අම්මව දැක්ක ගමන් ඇයට ආදරේ හිතිලා මම කිව්වා ඔයා තමයි මගේ අම්මා, මම ඔයාත් එක්ක ගෙදර යන්න එනවා කියලා.

මාව ඒ දෙන්නා අරගෙන ගිය මුල් කාලයේ මම හිටියේ හරිම භයෙන්. මම වැරදි වැඩක් කළොත්, අනික් ළමයි වගේ අසනීප වුණොත්, දුකින් හිටියොත් මාව ආයෙත් අනාථ නිවාසයට යවයි කියලා මට හිතුණා. ඒ නිසා හෙම්බිරිස්සාවක්වත් හැදෙනවාට මම භයෙන් හිටියේ. නමුත් ඒ දෙන්නා මට ගොඩක් ආදරෙයි කියලත් මාව කවදාකවත් ගෙදරින් පිට කරන්නේ නැහැයි කියලත් මට කිව්වා.

මම දැන් වැඩිහිටියෙක් වුණත් තමාගේම දෙමාපියන් යටතේ හැදී වැඩුණු දරුවෙක් තරම් මම වටින්නේ නැහැයි කියලා සමහරවිට මට හිතෙනවා. අමාරුවෙන් හරි ඒ වගේ හැඟීම් මම යටපත් කරගන්න උත්සාහ කරද්දී කවුරු හරි මට ඇවිත් කියනවා ‘මොනවාවුණත් මේ දෙන්නා ඔයාව හොඳට බලාගත්තානේ. ඒක ඔයා ගොඩක් අගය කරන්න ඕනේ’ කියලා. ඇත්තෙන්ම මම ඒක අගය කරනවා. හැබැයි එහෙම කියද්දී මගේ හිත රිදෙනවා. මාව හදාගත්ත අම්මා තාත්තා මාව බාරගත්තේ ආදරේ නිසාද නැත්නම් නිකම්ම අනුකම්පාවක් නිසාද කියලා ඒ වගේ වෙලාවට මට හිතෙනවා.

මගේම තාත්තා කවුද කියලා මට කවදාවත් දැනගන්න ලැබෙන එකක් නැහැයි කියන හැඟීම දරාගන්න හරිම අමාරුයි. එක වෙලාවකට මට අම්මා ගැන හිතන කොට කේන්තිත් යනවා. මත්ද්‍රව්‍ය නතර කරලා මාව බලාගන්න තිබුණේ නැද්ද, මම ඒ තරම් වටින්නේ නැද්ද කියලා මට හිතෙනවා. වෙලාවකට මට අම්මා ගැන දුකත් හිතෙනවා. මට අම්මව කවදා හරි හම්බවුණොත් මම හොඳින් ජීවත් වෙනවා කියලත් මාව දාලා ගිය එක ගැන දුක් වෙන්න එපා කියලාත් මම කියනවා.

මගේ අලුත් අම්මයි තාත්තයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. ඒ දෙන්නා මගේ ජීවිතයට ලැබුණු වටිනාම තෑගිවලින් එකක්. මට යෙහෝවා දෙවි ගැන දැනගන්න ලැබුණේත් ඔවුන් නිසයි. බයිබලයේ, යෙහෝවා දෙවි මෙවැනි පොරොන්දුවක් දීලා තිබෙනවා. “මාගේ පියා හෝ මව හෝ මාව අත්හැරියත් යෙහෝවා දෙවි වන ඔබ මාව භාරගනු ඇත.” (ගීතාවලිය 27:10NW) ඒක මට ලොකු සහනයක් වගේම මගේ ජීවිතයේ සැබෑවක් වෙලා තියෙනවා. මාව හදාගන්න ගත්ත දරුවෙක් වුණත් මම ගොඩක් ආශීර්වාද ලබලා තියෙනවා. අනික් අය ගැන දැනගන්න මම හරිම ආසයි. ඒකට හේතුව මගේ පසුබිම ගැන මම හරිහැටි නොදන්නා නිසා වෙන්න ඇති. මට අනික් අය ගැන ලොකු ආදරයක් තියෙනවා. ඒක මගේ දේවසේවයට ලොකු උපකාරයක්. මමත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් හැටියට අනික් අයට බයිබලයේ තියෙන ශුභාරංචිය කතා කිරීම නිසා මම වටිනා කෙනෙක් බවත් මගේ ජීවිතයට අරමුණක් තියෙන බවත් තේරුම්ගෙන තියෙනවා. මට කලකිරීමක් ඇති වන අවස්ථාවලදී මම අන් අයත් සමඟ ශුභාරංචිය ගැන කතා කරනවා. ඒ තුළින් ඔවුන් සමඟ හොඳ බැඳීමක් ඇති කරගැනීමට මට හැකි වී තිබෙනවා. මට හිතෙන්නේ හැම කෙනෙකුගේම ජීවිතයේ මේ වගේ කතාවක් ඇති කියලයි.

[17වන පිටුවේ කොටුව⁄පින්තූර]

මවගේ හෝ පියාගේ වියෝව දරාගැනීම

පැවසුවේ ඕස්ට්‍රේලියාවේ ඇන්ජලා රට්ගර්ස්

“මගේ තාත්තා මිය ගිය වෙලාවේ මට දැනුණේ හරියට මට තිබුණ ආරක්ෂාව නැති වුණා වගේයි. මං ගැන හැමදෙයක්ම දන්න, හැම දෙයකදීම මගේ ළඟින්ම හිටිය මගේ තාත්තා දැන් මට නැහැ.”

මීට අවුරුදු දහයකට කලින් මගේ තාත්තා මිය ගියා. එතකොට මගේ වයස අවුරුදු 17ක් විතර ඇති. තාත්තා මිය යන්න මාස හයකට කලින් ශල්‍යකර්මයක් කළත් ඔහුගේ තත්වය සුව අතට පත් නොවන බව වෛද්‍යවරුන් පැවසුවා. ඒ වෙලාවේ අම්මා හොඳටම කලබල වුණා. මගේ අයියට සිහිය නැතුව ගියා. මේ දේවල් නිසා මගේ ඔළුව හොඳටම අවුල් වුණා. ඊට මාස හයකට පස්සේ තාත්තා අපෙන් සමුගත්තා.

කාලයක් පුරා මට ඒ දුක තදින් බලපෑවා. මට ඕනෑ වුණේ මගේ යාලුවෝ මම ඉන්න තත්වය තේරුම්ගන්නවාටයි. ඒ වුණත් අනික් අයගේ අනුකම්පාව ලබන්න මම කැමති වුණේ නැහැ. ඒ නිසා මම මගේ වේදනාව යටපත් කරගෙන හිටියා. අනික් අතට මගේ යාලුවොත් එක්ක විනෝද වුණොත් මගේ දුක තුනී වෙලා කියා ඔවුන්ට හැඟෙයි කියා මට සිතුණා. ඒ වුණත් මගේ දුක නම් තුනී වුණේ නැහැ. ඒ කාලය අතරතුරේදී මගේ යාලුවෝ මාත් එක්ක කොයි තරම් ඉවසීමෙන් කටයුතු කරන්න ඇද්ද කියලා දැන් මට හිතෙනවා.

තාත්තගේ මරණය ගැන මගේ හිත මට දොස් කියනවා. තාත්තා ජීවතුන් අතර ඉන්න කොට “තාත්තේ මම ඔයාට ආදරෙයි” කියලා කිව්වා නම් තාත්තව ආදරයෙන් වැළඳගත්තා නම් ටිකක් කතා කරකර හිටියා නම් කියලා දැන් මට හිතෙනවා. ‘මම දන්නවා තාත්තා හිටියා නම් මම මේ වගේ දුක් වෙනවාට තාත්තා කැමති නැති බව.’ ඒ වුණත් මගේ හිතට ඒක තාම වද දෙනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් හැටියට බයිබලයේ තියෙන නැවත නැඟිටීමේ බලාපොරොත්තුව මට ලොකු සහනයක්. (යොහන් 5:28, 29) මම හැමතිස්සේම හිතන්න උත්සාහ කරන්නේ තාත්තා විදෙස් රටක සංචාරයකට ගිහිල්ලා කියලයි. තාත්තා එන දවස මම දන්නේ නැති වුණත් කවදා හරි දවසක තාත්තා එනවා කියලා මම දන්නවා. තාත්තා නැති වුණ මුල්ම දවස්වල සමහර අය කිව්වා “ඔයාගේ තාත්තා නැවත නැඟිටින කොට ඔයාට එයාව දකින්න පුළුවන්” කියලා. ඒත් ඒක මට සැනසීමක් වුණේ නැහැ. ‘මට ඕනෑ වුණේ මගේ තාත්තව ඉක්මනින්ම දකින්නයි.’ තාත්තා මැරුණා කියලා හිතනවා වෙනුවට විදෙස් රටක සංචාරයකට ගියා කියලා හිතලා මම හිත හදාගන්නවා. ඒ නිසා නැවත නැඟිටීමේ බලාපොරොත්තුව සැබෑ එකක් බව මට තවත් තහවුරු වුණා. මම මගේ දුක තුනී කරගත්තේ එහෙම හිතලයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද අපට ගොඩක් උපකාර කළා. විශේෂයෙන්ම එක් කෙනෙක් මට කිව්වා තාත්තගේ මරණය ගැන මතක් කරලා ඒ ගැන නැවත නැවත කතා කරන්න එයා කැමති නැති වුණත් මං ගැනත් මගේ පවුලේ අය ගැනත් එයා හැමතිස්සේම හිතනවා කියලා. මම තනියම ඉන්න කොට ඒ ගැන කල්පනා කළා. ඒක මට ලොකු ශක්තියක් වුණා. ගොඩක් අය තාත්තගේ මරණය ගැන කතා නොකෙරුවත් ඒ අය මං ගැනත් මගේ පවුලේ අය ගැනත් සැලකිලිමත් වෙන බව මට තේරුණා. ඒක මට ලොකු සැනසීමක් වුණා.

තාත්තගේ මරණයෙන් මාස හතරකට පස්සේ අම්මා යෙහෝවා දෙවි ගැන අනික් අයට උගන්වන්න වැඩි වැඩියෙන් හවුල් වුණා. ඇය ඒකෙන් ලොකු සතුටක් ලබනවා දැක්ක නිසා මමත් අම්මත් එක්ක ඒ සේවයේ හවුල් වෙන්න තීරණය කළා. අපේ දුක තුනී කරගන්න ඒ සේවය පුදුමාකාර උපකාරයක් වුණා. යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ පොරොන්දු ගැනත් මගේ විශ්වාසය තවත් වැඩි වුණා. ඒ වගේම දුකින් යටපත් නොවී ඉන්නත් ඒක මට උපකාර කළා.