Skip to content

පටුනට යන්න

විවාහ වීමට පෙර එකට ජීවත් වීම සුදුසුද?

විවාහ වීමට පෙර එකට ජීවත් වීම සුදුසුද?

බයිබලයෙන් පිළිතුරක්

විවාහ වීමට පෙර එකට ජීවත් වීම සුදුසුද?

ඔබ ඇඳුමක් මිල දී ගන්න පෙර එය ඔබට ගැළපෙනවාද නැද්ද කියා ඇඳලා බලන්නේ නැද්ද? ඔව්. බොහෝදෙනා කරන්නේ එයයි. එසේ නොවුණොත් සමහරවිට ඔබ ඊට වැය කළ මුදල් සහ කාලය නාස්ති වී යයි.

බොහෝදෙනා විවාහ වීම සලකන්නෙත් ඒ ආකාරයටමයි. ඔවුන් සිතන්නේ නීත්‍යානුකූලව විවාහ වීමට පෙර දෙදෙනා එකට ජීවත් වීම හොඳම ක්‍රමය බවයි. දෙන්නට දෙන්නා ගැළපෙන්නේ නැත්නම් දික්කසාද වීම සඳහා නඩුහබවලට පැටලෙන්නේ නැතිව පහසුවෙන්ම වෙන්වෙලා යන්න පුළුවන් බව ඔවුන්ගේ මතයයි.

සමහර අය එවැනි නිගමනයකට පැමිණ ඇත්තේ ඔවුන්ගේ මිතුරෙකුගේ විවාහය තුළ දැක ඇති යම් ගැටලුකාරී තත්වයක් නිසා හෝ දෙදෙනා අතර ආදරයක් නැති බව ඔවුන් දැක ඇති නිසා විය හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස විවාහ වීමට පෙර එකට ජීවත් වීම හොඳම ක්‍රමය බව ඔවුන් නිගමනය කළ හැකියි.

ඒ සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් වී ඇත්තේ කුමක්ද? ඊට පිළිතුරු දැනගැනීමට පෙර, විවාහය සම්බන්ධයෙන් යෙහෝවා දෙවි පවසා ඇති දේ දැන් අපි සලකා බලමු.

“එක් කෙනෙකු මෙන්”

විවාහය නමැති සැලැස්ම ආරම්භ කළේ යෙහෝවා දෙවි විසින්මයි. එය ඉතාමත් ගෞරවනීය දෙයක් බව බයිබලයේ සඳහන් වී තිබෙන්නේ ඒ නිසයි. (උත්පත්ති 2:21-24) යෙහෝවා දෙවි මුල්ම විවාහය සිදු කළ අවස්ථාවේදී පැවසුවේ පුරුෂයා හා ස්ත්‍රිය යන දෙදෙනා “එක් කෙනෙකු මෙන්” වන බවයි. (උත්පත්ති 2:24, නව ලොව පරිවර්තනය, NW) එය උපුටා දක්වමින් පසු කාලයකදී යේසුස් මෙවැනි දෙයක්ද පැවසුවා. “එහෙයින් දෙවි එක් කළ දෙය කිසිවෙක් වෙන් නොකෙරේවා!”—මතෙව් 19:6.

ඒ වුණත් සමහරුන් දික්කසාද වෙනවා. * ඊට හේතුව විවාහය නමැති සැලැස්මේ වරදක් නොව විවාහ සහකරුවන් එක් කෙනෙකු හෝ දෙදෙනාම තම විවාහ පොරොන්දුවට එකඟව ජීවත් නොවීමයි.

එය අපි මෙසේ නිදර්ශනය කරමු. යුවළකට මෝටර් රථයක් තිබෙනවා කියා සිතන්න. නමුත් ඔවුන් එය නිසි පරිදි නඩත්තු කරන්නේ නැහැ. ඒ නිසා එය අබලන් වී ඇනහිටියොත් වරද කාගේද? එය නිෂ්පාදනය කළ තැනැත්තාගේද? නැත්නම් එය නිසි පරිදි නඩත්තු නොකළ අයගේද?

එය විවාහයටද අදාළයි. ස්වාමිපුරුෂයා හා භාර්යාව තමන් අතර ඇති බැඳීම දිගටම පවත්වාගෙන යෑමට වෑයම් කළ යුතුයි. ප්‍රශ්න ගැටලු මතු වන විට බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ඒවා විසඳාගැනීමට ඔවුන් උත්සාහ කරනවා නම් දික්කසාදය ගැන සිතන්නවත් අවශ්‍ය නැහැ. එකිනෙකාට තිබෙන ආදරය නිසා විවාහයෙන් එකට බැඳෙන්න ඔවුන් කැමතියි. එවිට විවාහය ඒ දෙදෙනාටම ආරක්ෂාවක් වෙයි. ඒ බැඳීම නිසා දෙදෙනා අතර ඇති ආදරය තවත් වැඩි කරගැනීමට හැකි වෙනවා.

‘වේශ්‍යාකමින් වැළකී සිටින්න’

ඒ වුණත් සමහරුන් මෙසේ තර්ක කළ හැකියි. විවාහයට පෙර එකට ජීවත් වීමෙන් දෙදෙනා ගැළපෙනවාද කියා තහවුරු කරගෙන විවාහ වීම විවාහයට ගරු කිරීමක් නොවෙයිද?

ඊට බයිබලයේ දෙන පැහැදිලි පිළිතුර වන්නේ “වේශ්‍යාකමින් වැළකී සිටිය යුතු” බවයි. (1 තෙසලෝනික 4:3) විවාහක යුවළක් අතර පවතින ලිංගික සම්බන්ධකම් හැර අනිකුත් සෑම ලිංගික සම්බන්ධකමක්ම ‘වේශ්‍යාකමට’ ඇතුළත්. එමනිසා විවාහ වීමේ අරමුණින් හෝ එසේ නොමැතිව ලිංගික සම්බන්ධකම් පැවැත්වීමත් ඊට ඇතුළත්. බයිබලයේ පැහැදිලිවම පවසන්නේ විවාහ වීමේ අරමුණින් වුවත් එකට ජීවත් වීම වැරදි බවයි.

බයිබලයේ සඳහන් එම අදහස යල්පැන ගිය එකක්ද? සමහරුන් එසේ සිතිය හැකියි. බොහෝ රටවල විවාහ නොවී එකට ජීවත් වීම සලකන්නේ සාමාන්‍ය දෙයක් ලෙසයි. නමුත් ඉන් ඇති වී තිබෙන අනිසි ප්‍රතිඵල ගැන සිතන්න. එවැනි අය සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට ඉගෙනගෙන තිබෙනවාද? විවාහක යුවළයන්ට වඩා ඔවුන් සිටින්නේ සතුටින්ද? විවාහ වීමට පෙර එකට ජීවත් වන අය විවාහ වීමෙන් පසු එම බැඳීමට විශ්වාසවන්තව සිටියි කියා පැවසිය හැකිද? අධ්‍යනයන්ගෙන් හෙළි වී තිබෙන්නේ එසේ නොවන බවයි. මුලින් එකට ජීවත් වී පසුව විවාහ වන අය බොහෝ ගැටලුවලට මුහුණ දෙනවා වගේම පසුව දික්කසාද වෙන බව වාර්තා වෙනවා.

සමහර විද්වතුන් පවසන්නේ එම වාර්තා දෝෂ සහිත බවයි. මානසික වෛද්‍යවරියක් මෙසේ පැවසුවා. “විවාහ වීමට පෙර එකට ජීවත් වීමට කැමති අය වගේම විවාහයෙන් පසුව එකට ජීවත් වීමට කැමති පිරිසක්ද සිටිනවා.” ඒ ගැන ඇයගේ අදහස මෙයයි. ‘මෙතන තියෙන ගැටලුව එකට ජීවත් වීම නොවෙයි. නමුත් මෙවැනි අය විවාහ වෙන්න කැමති නැත්තේ ඔවුන් විවාහ වීමෙන් ඇති වන බැඳීම හා වගකීම් භාරගැනීමට කැමති නැති නිසයි.’

එය සත්‍යයක්. අනික් අතට ඉන් පැහැදිලි වන්නේ “විවාහය සියල්ලන් අතර ගෞරවනීයව” තිබිය යුතුයි කියා දෙවි දී ඇති උපදෙස ක්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්කමයි. (හෙබ්‍රෙව් 13:4) ස්ත්‍රියක් හා පුරුෂයෙක් එක් කෙනෙකු මෙන් ජීවත් වීමට පොරොන්දු වී විවාහ සැලැස්මට ගරු කරන විට ඔවුන් අතර නොබිඳෙන බැඳීමක් ඇති වෙනවා.—දේශනාකාරයා 4:12.

මෙම ලිපියේ මුලින්ම සඳහන් කළ උදාහරණය ගැන සිතන්න. ඇඳුමක් මිල දී ගැනීමට පෙර එය ගැලපෙනවාද කියා ඇඳලා බැලීම සුදුසු බව ඇත්තයි. විවාහවීමේදීත් ඔහු හෝ ඇය තමන්ට ගැලපෙනවාද කියා සොයා බැලීම සුදුසුයි. ඒ සඳහා හොඳම ක්‍රමය විවාහයට පෙර එකට ජීවත් වීම නොව නමුත් ප්‍රමාණවත් කාලයක් ගෙන ඔහුව හෝ ඇයව දැන හඳුනා ගැනීමයි. බොහෝදෙනා නොසලකා හරින නමුත් සාර්ථක විවාහ ජීවිතයක් සඳහා එය වැදගත් පියවරක්.

[පාදසටහන]

^ 9 ඡේ. දික්කසාද වී වෙනත් විවාහයක් කරගත හැකි එකම හේතුව ලෙස බයිබලයේ සඳහන් වන්නේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව වෙනත් කෙනෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමයි.—මතෙව් 19:9.

මේ ගැන ඔබ සිතුවාද?

▪ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම විවාහක යුවළක් අතර පමණක් සිදු විය යුතු දෙයක් බව බයිබලයේ සඳහන් වන්නේ ඇයි?—ගීතාවලිය 84:11; 1 කොරින්ති 6:18.

▪ ඔබ විවාහ වීමට බලාපොරොත්තු වන පුද්ගලයාගෙන් අපේක්ෂා කරන ගුණාංග මොනවාද?—රූත් 1:16, 17; හිතෝපදේශ 31:10-31.

[29වන පිටුවේ කොටුව]

‘තමාගේම ශරීරයට විරුද්ධව පව් කිරීම’

“වේශ්‍යාකමෙහි නියැලී සිටින්නා තමාගේම ශරීරයට විරුද්ධව පව් කරන්නේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරින්ති 6:18) එම වදන් මොන තරම් සත්‍යයද කියා පසුගිය දශක කිහිපය තුළ ඒඩ්ස් හා ලිංගිකව බෝවන රෝගවලින් මිය ගිය මිලියන ගණන් දෙනාගෙන් ඔප්පු වෙනවා. ඒ විතරක් නොවෙයි විවාහ වීමට පෙර ලිංගික සම්බන්ධකම් පවත්වන යෞවනයන් මානසික අවපීඩනයෙන් පෙළෙන අතර ජීවිත හානි කරගැනීමටද නැඹුරු වන බව වාර්තාවලින් පැහැදිලියි. අනවශ්‍ය ගැබ්ගැනීම් නිසා සමහරුන් ගබ්සා කිරීමට පවා පෙලඹී තිබෙනවා. එම සියලු තොරතුරුවලින්ද පැහැදිලි වන්නේ විවාහය සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් උපදෙස් කොහෙත්ම යල්පැන ගිය අදහසක් නොවන බවයි.