Skip to content

පටුනට යන්න

සිව්වැන්න: එකිනෙකාට ගෞරව කරන්න

සිව්වැන්න: එකිනෙකාට ගෞරව කරන්න

සිව්වැන්න: එකිනෙකාට ගෞරව කරන්න

‘සියලු ආකාර කෑගැසීම් හා නිග්‍රහ කිරීම් ඔබෙන් ඉවත් කර දමන්න.’—එෆීස 4:31.

ඉන් අදහස් කරන දේ. ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කරන දෙදෙනෙක් අතර පවා එකඟ නොවීම් ඇති වෙනවා. නමුත් ඔවුන් එවන් අවස්ථාවලදී එකිනෙකාට ඇණුම් පද කියන්නේවත්, අසභ්‍ය වචන භාවිත කරමින් අපහාසාත්මක ලෙස බැණ වදින්නේවත් නැහැ. ඒ වෙනුවට ඔවුන් සාකච්ඡා මාර්ගයෙන් ඒවා විසඳාගන්නවා. පවුලේ සියලු සාමාජිකයන් උත්සාහ කරන්නේ අන් අය තමාට සලකනවාට කැමති ලෙසම ඔවුන්ටත් සැලකීමටයි.—මතෙව් 7:12.

එය වැදගත් වීමට හේතුව. අපගේ සමහර වචන විනාශකාරී අයුධවලට සමානයි. බයිබලයේ ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. “බැණ වදින, දබරකාරි බිරිඳක සමඟ විසීමට වඩා මරු කතරක තනියම විසීම හොඳය.” (හිතෝපදේශ 21:19, නව අනුවාදය) එය පුරුෂයෙකුටද අදාළයි. දරුවන්ව පුහුණු කිරීමේදීද දෙමාපියන් සැලකිලිමත් විය යුතු දෙයක් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔබේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන්ට හිරිහැර නොකරන්න.” (කොලොස්සි 3:21) දෙමාපියන් තම දරුවන්ව කලකිරෙන වචන භාවිත කරමින් විවේචනය කරනවා නම් ඔවුන්ව සතුටු කිරීම ඉතා අපහසුයි කියා දරුවන්ට සිතිය හැකියි. එමනිසා ඔවුන් දෙමාපියන්ව සතුටු කිරීමට දරන වෑයම සම්පූර්ණයෙන්ම අත්හැර දැමිය හැකියි.

මෙය අත්හදා බලන්න. පහත සඳහන් ප්‍රශ්න සැලකිල්ලට ගනිමින් පවුලේ එක් එක් කෙනාට ඔබ කොතරම් ගෞරවයක් දක්වනවාද කියා කල්පනා කර බලන්න.

මගේ පවුලේ යම් මත ගැටීමක් ඇති වන විට එය අවසන් වන්නේ එක් කෙනෙක් කෝපයෙන් එතැනින් පිට වී යෑමෙන්ද?

මම මගේ භාර්යාවට (හෝ ස්වාමිපුරුෂයාට) හෝ දරුවන්ට එවන් අවස්ථාවලදී කතා කරන්නේ මෝඩයාහෝ වෙනත් එවැනි වචනවලින්ද?

මම හැදී වැඩුණේ එවන් පහත් වචන නිතර භාවිත කරන පරිසරයකද?

ස්ථිර අධිෂ්ඨානයක් ගන්න. ඔබගේ වචනවලින් පවුලේ අයට ගෞරවය පෙන්විය හැකි ක්‍රම එකක් හෝ දෙකක් ගැන සිතන්න. ඒ සඳහා යෝජනාවක් මෙන්න: “ඔයා” යන වචනය භාවිත කරමින් “ඔයා හැම තිස්සෙම . . . ” කියා චෝදනා කරනවා වෙනුවට “මම” යන වචනය භාවිත කරමින් ඔබට හැඟෙන දේ පවසන්න. උදාහරණයකට “මට ගොඩක් දුක හිතුණා ඔයා එහෙම කියද්දී.”

ඔබ ගෙන ඇති අධිෂ්ඨානය ගැන ඔබේ සහකරුට හෝ සහකාරියට පවසන්න. මාස තුනකට පසුව ඒ පිළිබඳව ඔබ කොතරම් දියුණුවක් අත් කරගෙන තිබෙනවාද කියා විමසන්න.

දරුවන් සමඟ අදහස් හුවමාරු කරන විට අගෞරවනීය වචන භාවිතයෙන් වැළකීම සඳහා ඔබට කළ හැකි දේවල් ගැන සිතන්න.

ඔබ දරුවන්ට අගෞරවනීය ලෙස කතා කළා නම් ඔවුන්ගෙන් සමාවගැනීමට පියවර නොගන්නේ ඇයි?

[6වන පිටුවේ පින්තූරය]

මුහුදු රළ නිසා ශක්තිමත් ගල් ඛාදනයට ලක් වෙනවා වගේ සිත් රිදෙන වචන භාවිතය නිසා පවුල් බැඳීමද ඛාදනයට ලක් විය හැකියි