නවීන තාක්ෂණයේ ව්‍යාප්තිය
නවීන තාක්ෂණයේ ව්‍යාප්තිය
වයසක පුද්ගලයෙක් තම ජංගම දුරකථනයෙන් කතා කරමින් බූරුවෙකු පිට නැඟී යෑම ඇල්බේනියාවේ සුලබ දසුනක්. ඒ වගේම ඉන්දියාවේද සිඟමන් යදිමින් සිටින කෙනෙක් එය මදකට නවතා තම ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගැනීමද අසාමාන්‍ය දෙයක් නොවෙයි. ඔව්, ජංගම දුරකථනය, පරිගණකය හා රූපවාහිනිය වැනි නවීන තාක්ෂණයෙන් බිහි වී ඇති උපකරණ නිසා ලෝකයේ සෑම තැනකම සිටින ජනයාට දුප්පත් පොහොසත් භේදයකින් තොරව ඒවායෙහි පහසුකම් භුක්ති විඳින්න හැකි වී තිබෙනවා.
උදාහරණයකට ජංගම දුරකථනය ගැන සිතන්න. එය තවදුරටත් දුරකථනයක් පමණක්ම නොවෙයි. අන්තර්ජාලයේ සැරිසැරීමට, ඊ-මේල් හා කෙටි පණිවිඩ යැවීමට මෙන්ම රූපවාහිනිය නැරඹීමට, සංගීතයට සවන් දීමට, ඡායාරූප ගැනීමට පමණක් නොව තමන් සිටින ප්‍රදේශය හඳුනාගැනීමටද (GPS) එහි පහසුකම් තිබෙනවා.
ඒ ගැන එක් පුවත්පතක මෙසේ සඳහන් වුණා. “අද තිබෙන නවීන පන්නයේ ජංගම දුරකථන 1965දී උතුරු ඇමරිකාවේ ගුවන් හමුදාව සතුව තිබූ පරිගණකවලට වඩා ප්‍රබලයි.” ඒ වගේම “ලෝකයේ සිටින සෑම මිනිසුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට ජංගම දුරකථනයක් තිබෙනවා.” අඩුම තරමින් රටවල් 30ක, එහි සිටින ජනගහනයට වඩා ජංගම දුරකථන තිබෙනවා. ඇත්තෙන්ම අප ජීවත් වන්නේ “ඉතිහාසයේ පෙර කවරදාකටත් වඩා තාක්ෂණය ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින යුගයකයි.”—එම පුවත්පත Washington Post.
වෙන කිසිම නවීන උපකරණයකට වඩා ජංගම දුරකථන භාවිත කරන්නන්ගෙන් සියයට 60ක්ම සිටින්නේ දියුණු වෙමින් පවතින රටවලයි. උදාහරණයකට ඇෆ්ගනිස්ථානයේ 2008දී එක් මාසයකදී පමණක් ජංගම දුරකථන පාරිභෝගිකයන් 1,40,000ක් අලුතින් එකතු වුණා. ඒ වගේම අප්‍රිකාවේද පසුගිය අවුරුදුවල ජංගම දුරකථන භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව සියයට 50කින් වැඩි වී තිබෙන බව වාර්තා වෙනවා.
සංනිවේදන තාක්ෂණයේ දියුණුව තුළින් යම් ගැටලුද මතු වී තිබෙනවා. උදාහරණයකට ජංගම දුරකථන, ජංගම පරිගණක හෝ පේජර් භාවිත කරන පුද්ගලයන් ගැන සිතන්න. ඔවුන් කොහේ සිටියත් කුමන අවස්ථාවකදී වුණත් ඔවුන්ව සම්බන්ධ කරගැනීම අන් අයට ඉතා පහසුයි. ඒ මගින් ඔවුන්ගේ නිදහස ඇහිරී ඇති බවක් ඔවුන්ට හැඟෙනවා. එහි ඇති තවත් භයානක පැත්තක් වන්නේ සමහරුන් එවන් නවීන උපකරණ භාවිතයට “ඇබ්බැහි වී” තිබීමයි.
නමුත් එම තාක්ෂණික උපකරණම අපගේ ප්‍රයෝජනයටද යොදාගත හැකියි. * අප ඊළඟ ලිපිවලින් සාකච්ඡා කරන්නේ එම උපකරණ ඥානවන්තව, සැලකිලිමත්ව හා පාලනයකින් යුතුව භාවිත කරන ආකාරය ගැනයි.
[පාදසටහන]
^ 7 ඡේ. මෙම ලිපි මාලාවෙහි විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ ජංගම දුරකථනය, පරිගණකය හා රූපවාහිනිය වැනි උපකරණ ගැනයි. එමෙන්ම මෙහි “තාක්ෂණය” කියා යොමු දක්වන්නේද එම උපකරණවලටමයි.