Skip to content

පටුනට යන්න

ඊයම් විෂ සහිතයි පරිස්සම් වන්න!

ඊයම් විෂ සහිතයි පරිස්සම් වන්න!

ඊයම් විෂ සහිතයි පරිස්සම් වන්න!

මෑත වර්ෂවලදී සමහර රටවල් විසින් යම් යම් සෙල්ලම් බඩු සහ ආභරණ අලෙවිය තහනම් කළා. ඊට හේතුව ඒවායෙහි අධික ඊයම් ප්‍රමාණයක් අඩංගු වීමයි. කුඩා දරුවන් සෙල්ලම් කරන විට ඒවා කටේ දමා හපන නිසා එහි ඇති ඊයම් ඔවුන්ගේ ශරීරගත විය හැකියි. විශේෂයෙන්ම එය අවුරුදු හයට අඩු දරුවන්ගේ මධ්‍යම ස්නායු පද්ධතියේ වර්ධනයට බලපායි.

එක් මහජන සෞඛ්‍ය ආයතනයක් සඳහන් කළේ ඊයම් මගින් මොළයේ වර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් සැපයීම අඩාල කරනවා කියායි. අධ්‍යයනයන්ගෙන් හෙළි වී තිබෙන්නේ වැඩිහිටියන්ගේ ශරීරගත වන ඊයම් ප්‍රමාණයෙන් ඔවුන්ගේ රුධිරයට උරාගන්නේ සියයට 10ත් 15ත් අතර ප්‍රමාණයක් පමණ වුණත් කුඩා දරුවන්ගේ රුධිරයට සියයට 50ක් දක්වා ප්‍රමාණයක් උරාගන්නා බවයි.

ඉන්ධන හා සමහර භාණ්ඩවලට යම් ඊයම් ප්‍රමාණයක් භාවිත කිරීමට සමහර ආණ්ඩු විසින් අවසර දී තිබෙනවා. නමුත් මෑතකදී කරන ලද අධ්‍යයනයන්වලින් හෙළි වී තිබෙන්නේ ඒ ප්‍රමාණය පවා හානිකර බවයි. ඒ වගේම ඇමරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳව කවුන්සිලය වාර්තා කරන්නේ ඊයම් ශරීරගත වීම නිසා දරුවන්ට “ඉගෙනගැනීමේ හා හොඳින් අවධානය දීමේ දුර්වලතා, ඇසීමේ දුර්වලතා, හැසිරීමේ යම් ගැටලු, ශරීර වර්ධනය බාල වීම මෙන්ම වකුගඩු ආබාධ” ඇති වන බවයි. ගැබිනි මව්වරුන්ද ඒ ගැන වැඩි අවධානයක් දිය යුත්තේ ඒ තුළින් කලලයට හානි සිදු විය හැකි නිසයි. *

ඊයම් මිශ්‍රිත ආලේපන යෙදූ මැටි භාජනවල ආහාර පාන සකස් කිරීමෙන්ද ඊයම් ශරීරගත විය හැකියි. එවන් භාජන භාවිත කිරීම ආසියාවේ හා ලතින් ඇමරිකාවේ සමහර ප්‍රදේශවල පුරුද්දක් වී තිබෙනවා. ජලය සිසිල්ව තබාගැනීම සඳහා එවන් භාජනවල ජලය පුරවා තබන අතර උණුසුම් බීම පානය කරන්නේ ඊයම් මිශ්‍රිත ආලේපන යෙදූ කෝප්පවලයි. මෙක්සිකෝ නගරයේ අවුරුදු පහට අඩු ළමයි සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකින් හෙළි වුණේ මාස 18ට වැඩි දරුවන්ගෙන් අඩකගේ රුධිරයේ වැඩි ඊයම් ප්‍රතිශතයක් අඩංගු වී තිබූ බවයි. ඊට හේතුව ඊයම් මිශ්‍රිත ආලේපන යෙදූ බඳුන්වල ආහාර පිළියෙල කිරීම බව වාර්තා වෙනවා. මැටි බඳුන්වලට දිලිසෙන හා සුමට නිමාවක් ලබා දීම සඳහා ඊයම් යොදාගන්නවා. නමුත් එම බඳුන් රත් කරන විට හෝ ඒවායෙහි යම් පලතුරු සහ එළවළු දමා තිබෙන විට ඉන් සිදු වන ප්‍රතික්‍රියාව නිසා ඊයම් කාන්දු විය හැකියි.

ඒවා ශරීරගත වන තවත් ක්‍රම

දියුණු රටවල් විසින් තම ඉන්ධනවල ඇති ඊයම් ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු කර තිබුණත් රටවල් සියයකට ආසන්න සංඛ්‍යාවක් තවමත් ඊයම් මිශ්‍රිත ඉන්ධන භාවිත කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඊයම් දැවී යන්නේ හෝ විනාශ වන්නේ නැති නිසා වාහනවලින් පිට වන ඊයම් අංශු පසට එකතු වීමෙන් පස දූෂණය වෙයි. ආශ්වාස කිරීම මගින් ඊයම් සහිත එම දූවිලි අංශු ශරීරගත වෙයි. නැත්නම් පාවහන්වල දැවටීමෙන් නිවසට ඇතුල් විය හැකියි.

ඊයම් භාවිතය ගැන යම් නීති පැනවීමට පෙර බොහෝ නිවෙස්වල ආලේප කළ තීන්තවලද ඊයම් මිශ්‍ර කර තිබුණා. ගණන් බලා ඇති ආකාරයට ඇමරිකාවේ නිවාස මිලියන 38ක් තිබෙන අතර ඉන් නිවාස සියයට 40කම ආලේප කර තිබෙන්නේ ඊයම් මිශ්‍රිත තීන්තයි. පසු කාලයකදී තීන්ත පතුරු ගැලවී යෑමෙන් හෝ අලුත්වැඩියා කිරීමේදී ඇති වන දූවිල්ල මගින් එම ඊයම් අංශු ශරීරගත විය හැකියි. එය ඉතා අහිතකරයි.

පැරණි නගරවල හා නිවෙස් බොහොමයක ඊයම් හා තඹ මිශ්‍රිත ජල නළ දැකගත හැකියි. සිසිල් ජලය ලබාගැනීම සඳහා එම නළ භාවිත කිරීමේදී මුලින්ම තත්පර 30ත් 60ත් අතර කාලයක් ජලය ගලා යෑමට ඉඩහැරීමෙන් පසුව භාවිතයට ගන්න කියා ඇමරිකාවේ වෛද්‍ය ආයතනයක් නිර්දේශ කරනවා. නමුත් බීමට හෝ ආහාර පිසීමේදී විශේෂයෙන්ම දරුවන්ගේ ආහාර පාන පිළියෙල කිරීමේදී එම නළවලින් උණුසුම් ජලය කොහෙත්ම ලබා නොගන්න කියා එම ආයතනය පවසනවා.

ඊයම් ශරීරගත වන දේවල්වලින් ඈත් වී සිටීමෙන් කෙනෙකුගේ රුධිරයට ඇතුල් වී ඇති ඊයම් ප්‍රමාණය ක්‍රමානුකූලව පහත බසියි. රුධිර පරීක්ෂණයක් කිරීමෙන් රුධිරයේ ඇති ඊයම් ප්‍රමාණය දැනගත හැකියි. එහිදී වැඩි ඊයම් ප්‍රතිශතයක් ඇති බව තහවුරු වුණොත් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සුදුසුයි.

සැමගේ අවධානය පිණිසයි!

පුද්ගලයෙකුගේ රුධිරයේ කාලයක් පුරා ඊයම් එකතු වීමෙන් ඔහුට එය විෂ විය හැකියි. එකවර විශාල ඊයම් ප්‍රමාණයක් ශරීරගත වීම මරණය පවා ගෙන දීමට ඉඩ තිබේ. ඊයම් අධික ප්‍රමාණයක් අඩංගු වූ ආභරණයක් ගිලීම හේතුවෙන් අවුරුදු හතරක දරුවෙකු මිය ගිය බව 2006දී ඇමරිකාවෙන් වාර්තා වුණා.

ඒ පිළිබඳව මහජනයා දැනුවත් වීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් එක් වෛද්‍ය විශ්වකෝෂයක මෙවැනි අදහසක් සඳහන් වුණා. ‘ඇමරිකාවේ සෑම කුඩා දරුවන් විසිදෙනෙකුගෙන් එක් කෙනෙකුගේ රුධිරයේ අධික ඊයම් ප්‍රතිශතයක් අඩංගු වෙනවා.’ ඊයම් භාවිතය සම්බන්ධයෙන් සීමා පනවා ඇති රටවල තත්වය එය නම් එවන් සීමාවන් කොහෙත්ම පනවා නැති රටවල් ගැන කුමක් කිව හැකිද? එමනිසා අප සියලුදෙනාම ඒ ගැන වැඩි අවධානයක් දිය යුතු නැද්ද!

[පාදසටහන]

^ 4 ඡේ. ඊයම් විෂ වීම නිසා වැඩිහිටියන්ද ස්නායු ආබාධ, මාංශ පේශී හා හන්දිපත් වේදනාව, යම් දෙයකට අවධානය දීමට නොහැකි වීම මෙන්ම මතක ශක්තිය හීන වීම වැනි ගැටලුවලටද මුහුණ දිය හැකියි.

[29වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඊයම් විෂ වීම නිසා දරුවන් තුළ දක්නට ලැබෙන රෝග ලක්ෂණ

දරාගත නොහැකි වේදනාව, කෝපාවිෂ්ට බව, රක්තහීනතාවය, යමකට අවධානය යොමු කිරීමේ ගැටලුව, මලබද්ධය, වෙහෙසකර බව, නුරුස්නා ගතිය, හැකියාවන් හා දක්ෂතා නොපෙන්වීම, කෑම අරුචිය, ශක්තිය හීන වීම සහ වර්ධනය බාල වීම.—MEDLINE PLUS MEDICAL ENCYCLOPEDIA.