Skip to content

පටුනට යන්න

ජීවිතයට සැබෑ මඟ පෙන්වීම් ලබාගත හැක්කේ කෙසේද?

ජීවිතයට සැබෑ මඟ පෙන්වීම් ලබාගත හැක්කේ කෙසේද?

බයිබලයෙන් පිළිතුරක්

ජීවිතයට සැබෑ මඟ පෙන්වීම් ලබාගත හැක්කේ කෙසේද?

ආහාර මිනිසුන්ගේ ප්‍රධාන අවශ්‍යතාවක්. එය සපුරාගැනීමට පෝෂ්‍යදායී ආහාර වර්ග බොහොමයක් තිබෙනවා. ඉන් තමන්ට කැමති ආහාරයක් තෝරාගෙන තෘප්තියක් ලැබීමට මිනිසුන්ට හැකියි. නමුත් ඊටත් වඩා වැඩි අවශ්‍යතාවක් මිනිසුන්ට තිබෙනවා. එය නම් ජීවිතයට සැබෑ සහනය හා මඟ පෙන්වීම් ලබාගැනීමේ අවශ්‍යතාවයි. එම අවශ්‍යතාව ඉටු කරගැනීම සඳහා මිනිසුන් විවිධ ආගම් අදහමින් සිටිනවා. මිනිසුන්ට කැමති ආහාර වර්ගයක් තෝරාගෙන තෘප්තිය ලැබිය හැකි සේම තමන් කැමති ආගමක් තෝරාගැනීමෙන් සහනය හා මඟ පෙන්වීම් ලබාගත හැකිද?

එවන් ඕනෑම ආගමක් ඇදහීමෙන් එම අවශ්‍යතාව සපුරාගත හැකි බව බොහෝදෙනාගේ මතයයි. ඒ සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්ද? ඒ ගැන ශුද්ධ බයිබලයේ සඳහන් වන දේ දැන් අපි සලකා බලමු.

බයිබලයේ පවසන දේ

බයිබලයේ උත්පත්ති 1:27හි මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “දෙවි මනුෂ්‍යයාව සෑදුවේය. දෙවි මනුෂ්‍යයාව සෑදුවේ ඔහුගේම ගතිලක්ෂණ ඇතුවයි. පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව සෑදුවේය.” (නව ලොව පරිවර්තනය) දෙවි පළමු මිනිසා වූ ආදම්ව නිර්මාණය කරද්දී ප්‍රේමය, කරුණාව, අනුකම්පාව, යුක්තිය හා තමන්ව පාලනය කරගැනීම වැනි ගතිලක්ෂණ විදහාපෙන්වීමේ හැකියාව ඔහුට ලබා දුන්නා. දෙවි මෙන් සිතා බලා හරි වැරැද්ද තේරුම්ගෙන තීරණ ගැනීමේ හැකියාවත් දෙවි ඔහුට ලබා දුන්නා. ඉන් පැහැදිලි වන්නේ මිනිසාව නිර්මාණය කර තිබෙන්නේ දෙවි කැමති දේ අවබෝධ කරගෙන සාර්ථකව ජීවත් වීමේ හැකියාව ඇතුවයි. ඒ අනුව බලද්දී මිනිසා, සහජයෙන් කටයුතු කරන සතුන්ට වඩා බොහෝ සෙයින් වෙනස්.—උත්පත්ති 1:28; රෝම 2:14.

දෙවි කැමති දේ අවබෝධ කරගැනීමට නම් මිනිසාට දෙවිගේ මඟ පෙන්වීම් අත්‍යවශ්‍යයි. එසේ දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව කටයුතු කරන කෙනෙක් ගැන බයිබලයේ පළමුවන කොරින්ති 2:12-15හි සඳහන් වෙනවා. එහි පැහැදිලි කර තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම් සොයන පුද්ගලයෙකුට දෙවිගේ අරමුණු සහ ඔහු මිනිසුන්ගෙන් බලාපොරොත්තු වන දේවල් තේරුම්ගත හැකි බවයි. ඊට වෙනස්ව දෙවිගේ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කරන පුද්ගලයෙක් කටයුතු කරන්නේ තමාගේම ආශාවන්ට අනුවයි. ඒ නිසා ඔහු දෙවිගේ මඟ පෙන්වීම් සලකන්නේ මෝඩ දෙයක් ලෙසයි. ඔහු ගන්නා සෑම තීරණයක්ම පදනම් වන්නේ පටු මිනිස් මතිමතාන්තර මතයි.

එමනිසා ජීවිතයට සැබෑ සහනය හා මඟ පෙන්වීම් මිනිස් ප්‍රඥාවෙන් නම් ලබාගත නොහැකියි. මිනිසා කොතරම් සිත දියුණු කළත් ඔහුට සාර්ථක විය නොහැකියි. ඔහුට දෙවිගේ මඟ පෙන්වීම් අත්‍යවශ්‍යයි. එය ප්‍රතික්ෂේප කරන අය ඔවුන්ගේම ආශාවන් තෘප්තිමත් කරගැනීමට පෙලඹෙන අතර වැරදි දේවල් පවා කිරීමට නැඹුරු වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට ඔවුන්ගේ කතාබහ, සිතුවිලි හා ක්‍රියා පාලනය කරගැනීමට නොහැකි වන අතර බොහෝවිට ඔවුන් හැසිරෙන්නේ තිරිසනුන් හා සමානවයි.—1 කොරින්ති 2:14; යූද් 18, 19.

දෙවිගේ මඟ පෙන්වීම් ලැබීමට නම් . . .

දෙවිගේ මඟ පෙන්වීම් ලබාගෙන අර්ථවත් ජීවිතයක් ගත කිරීමට නම් අප මුලින්ම යෙහෝවා දෙවිව අපේ නිර්මාතෘ ලෙස පිළිගැනීමත් අපගේ ජීවිත ගැන අප දෙවිට ණය ගැති බව තේරුම්ගැනීමත් අවශ්‍යයි. (එළිදරව් 4:11) අපගේ ජීවිතවලට සැබෑ අරමුණක් ලැබෙන්නේ දෙවි අපෙන් බලාපොරොත්තු වන දේ අප කරනවා නම් පමණයි. (ගීතාවලිය 115:1) එපමණක්ද නොව අපට සැබෑ තෘප්තියක්ද ඉන් ලැබෙනවා. දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් හොඳම ආදර්ශකයා වන්නේ යේසුස්. එසේ කටයුතු කිරීම කොතරම් වැදගත්ද කියා ඔහු පැවසූ මේ වදන්වලින් පැහැදිලියි. “මාගේ කෑම නම්, මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කර, ඔහුගේ කාර්යය සම්පූර්ණ කිරීමය.” (යොහන් 4:34) දෙවි දුන් මඟ පෙන්වීම්වලට යටත්ව කටයුතු කිරීමෙන් යේසුස් විශාල සහනයක් මෙන්ම ප්‍රීතියක්ද ලැබුවා.

දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වීම සම්බන්ධයෙන් හොඳම ආදර්ශය වන්නේ යේසුස්. ඒ නිසා අප ඔහුගේ ගතිලක්ෂණවලට අනුව අපගේ පෞද්ගලිකත්වය සකස් කරගත යුතුයි. (කොලොස්සි 3:10) අප එසේ කරනවා නම් අන් අය සමඟ අපට තිබෙන මිත්‍රත්වයට හානි පැමිණිය හැකි නින්දිත පහත් දේවල් කිරීමෙන් අපි වැළකී සිටිනවා. (එෆීස 4:24-32) අප දෙවිගේ ප්‍රතිපත්තිවලට ගරු කරමින් ජීවත් වන විට අපගේ සිත අපට දෝෂාරෝපණය නොකරන නිසා සැබෑ තෘප්තියක් අද්දකින්න අපට පුළුවන්.—රෝම 2:15.

යෙහෝවා දෙවිගෙන් මඟ පෙන්වීම් ලැබීමේ ඇති වැදගත්කම ගැන යේසුස් නැවතත් අවධාරණය කළා. ඒ ගැන ඔහු පැවසුවේ මෙසේයි. “මිනිසා ජීවත් විය යුත්තේ රොටි පමණකින් නොව, යෙහෝවා දෙවිගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකිනි.” (මතෙව් 4:4) අපට නිතිපතා ආහාර අවශ්‍ය වන්නා සේම නිතිපතා දෙවිගේ මඟ පෙන්වීම්ද අවශ්‍යයි. ඒ සඳහා දෙවි අපට ඔහුගේ වචනය වන ශුද්ධ බයිබලය දී තිබෙනවා. ඒ තුළින් යෙහෝවා දෙවි, අප සියලුදෙනාගේම සිත්වල ඇති වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු සපයනවා.—2 තිමෝති 3:16, 17.

සැබෑ ප්‍රීතියට මඟ

රසවත් නමුත් පෝෂ්‍යදායී නොවන කඩචෝරුවලින් කෙනෙකුට තම කුසගින්න නිවාගත හැකියි. එලෙසම විවිධාකාර ආගම් ඇදහීමෙන් හෝ දර්ශනවාදී මතිමතාන්තරවලට ඇහුම්කන් දීමෙන් ජීවිතයට යම් සහනය හා මඟ පෙන්වීම් ලබාගත හැකි බව කෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් පෝෂ්‍යදායී නොවන ආහාර අනුභව කිරීම මන්දපෝෂණයට හෝ ඊටත් වඩා භයානක තත්වයන්ට හේතු වන්නා සේම ජීවිතයට නිවැරදි මඟ පෙන්වීම් ලබාගැනීමට අපොහොසත් වීමද ඊටත් වඩා භයානක ප්‍රතිඵල අත් කර දෙයි.

කෙසේනමුත් අපි යෙහෝවා දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගෙන ඔහු කැමති දේවල් කරමින් ඔහුගේ මඟ පෙන්වීම් අනුගමනය කරනවා නම් අපට සැබෑ ‘සන්තෝෂය’ අත් වන බව බයිබලයේ සහතික කර තිබෙනවා.—මතෙව් 5:3.

මේ ගැන ඔබ සිතුවාද?

අපගේ ජීවිතයට සැබෑ මඟ පෙන්වීම් ලබාගැනීම සඳහා අපි දෙවි වෙත හැරිය යුත්තේ ඇයි?—උත්පත්ති 1:27.

▪ එම අවශ්‍යතාව සපුරාගන්න අපගේම හැකියාවෙන් පුළුවන්ද?—1 කොරින්ති 2:12-15.

▪ එම අවශ්‍යතාව සපුරාගන්න අපි කළ යුත්තේ කුමක්ද?—මතෙව් 4:4; යොහන් 4:34; කොලොස්සි 3:10.

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ජීවිතයට නිවැරදි මඟ පෙන්වීම් ලබාගැනීමට අපොහොසත් වීම භයානක ප්‍රතිඵල අත් කර දෙයි