Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

“බ්‍රිතාන්‍ය ජාතිකයන් දසදෙනෙකුගෙන් හයදෙනෙකුගේම අදහස වන්නේ ආගම මිනිසුන් අතර භේද ඇති කරන දෙයක් බවට පත් වී ඇති බවයි.”—THE CATHOLIC HERALD, BRITAIN.

▪ සූර්ය ශක්තිය මගින් විදුලිය නිපදවීම සඳහා ඉදි කළ විශාලතම කෝෂ පද්දතිය පෘතුගාලයේ දැක ගත හැකියි. එය අක්කර 600ක ප්‍රදේශයක් පුරා විහිදී තිබෙන අතර එමගින් නිවාස 30,000කට පමණ අවශ්‍ය විදුලි බලය සැපයීමට හැකියි.—EL PAÍS, SPAIN.

▪ ලොව පුරා සෑම වසරකම යෞවනයන් 9,00,000ක් පමණ හදිසි අනතුරුවලින් මිය යනවා. දිනකට එසේ මිය යන සංඛ්‍යාව 2,000කටත් වඩා වැඩියි. ඊට ප්‍රධාන ලෙස හේතු වී ඇත්තේ මහා මාර්ග අනතුරු, දියේ ගිලීම් හා පිලිස්සීමයි.—DIE WELT, GERMANY.

▪ සමස්තයක් ලෙස ගත් කල වනාන්තර විනාශ වීමේ යම් අඩුවක් පසුගිය වර්ෂ කිහිපය තුළ දැක ගත හැකි වුණත් තවමත් දිනකට වනාන්තර වර්ග කිලෝමීටර් 200ක් පමණ අපට අහිමි වෙමින් තිබෙනවා.—FOOD AND AGRICULTURE ORGANIZATION OF THE UNITED NATIONS, ITALY.

▪ වර්ෂ 2009 ජනවාරි මාසයේදී මුහුදු කොල්ලකරුවන් කණ්ඩායමක් විසින් සවුදි අරාබි තෙල් නෞකාවක් කොල්ල කා ඇමරිකානු ඩොලර් 30,00,000ක් ඉල්ලා තිබෙනවා. නමුත් එය ඔවුන්ට ලැබීමත් සමඟම ඔවුන්ගෙන් පස්දෙනෙකු දියේ ගිලීමෙන් මිය ගොස් තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙකු වෙරළට ගොඩ ගසා තිබෙන අතර ඔහුගේ සාක්කුවේ තිබී පොලිතින් බෑගයක අසුරන ලද ඇමරිකානු ඩොලර් 1,53,000 හමු වී තිබෙනවා.—ASSOCIATED PRESS, SOMALIA.

යෞවනයන්ට සෙසු අය ගැන සිතෙන දේ

නෙදර්ලන්තයේ යෞවනයන් ඔවුන්ගේ සම වයසේ පසු වන අය ගැන මෙවැනි අදහසක් පළ කළා. “ඔවුන් සිතන්නේ ඔවුන් කරන දේවල් හරි කියලයි. ඒ නිසා ඔවුන් අන් අය ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ.” වයස අවුරුදු 16ත් 24ත් අතර පසුවන සෑම යෞවනයන් තුන්දෙනෙකුගෙන් දෙදෙනෙකුම පවසන්නේ යෞවනයන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් හා වගකීම් සමබර කරගැනීමට නොහැකි වී තිබෙනවා කියායි. ඒ නිසා ඔවුන් ගැන පොදු මතය වී ඇත්තේ මෙයයි. “යෞවනයන් ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කළත් තමන්ගෙන් විය යුතු දේවල් ගැන කතා කරන්නේ කලාතුරකින්.”

දිවා ආහාරය පිසින සිසුන්

දරුවන් හා දෙමාපියන් වැඩිපුර කාලයක් එකට ගත කිරීම සඳහා ජපානයේ විදුහල්පතිවරයෙකුට හොඳ අදහසක් පහළ වුණා. එය නම් ශිෂ්‍යයන් මාසයකට එක් දවසක් තම පාසැල් දිවා ආහාරය තමන්ම පිළියෙල කරගැනීමයි. එම යෝජනාව දැන් ජපානයේ පාසැල් සිය ගණනක ක්‍රියාත්මක වෙනවා. “ආහාර පිළියෙල කරන මුල් වතාවේදී දරුවන්ට තම දෙමාපියන්ගේ සහයෝගයද ලබාගත හැකියි. එක් එක් පන්තියේ සිසුන්ට ලැබෙන පැවරුම එකිනෙකට වෙනස්. පහළ පන්තිවල සිටින ළමුන් තම දෙමාපියන්ගේද සහය ඇතිව ආහාර වට්ටෝරුවක් පිළියෙල කිරීම හා ඒ සඳහා අවශ්‍ය කලමනා මිල දී ගැනීම කළ යුතුයි. එමෙන්ම ඉහළ පන්තිවල සිසුන්ගේ පැවරුම වන්නේ සමබර ආහාර වට්ටෝරුවක් සකස් කිරීමයි” කියා ජපානයේ එක් පුවත්පතක වාර්තා වුණා. එම සැලැස්මේ ප්‍රතිඵලය වී තිබෙන්නේ කුමක්ද? ‘දරුවන්ගේ ඉවුම් පිහුම් කුසලතාවන් දියුණු වී තිබෙන අතර ආහාර අපතේ යෑමත් අවම වී තිබෙනවා. එමෙන්ම පවුලක් හැටියට සාකච්ඡා කිරීම සඳහා අලුත් විෂයක්ද ඔවුන්ට තිබෙනවා. දරුවන්ද තම දෙමාපියන් තමන් වෙනුවෙන් කරන දේවල් අගය කරන්න ඉගෙනගෙන තිබෙනවා.’—එම පුවත්පත IHT Asahi Shimbun.

දක්ෂිණ ධෘවය රැකගනිමු

විශේෂ පාරිසරික වැඩසටහනක් යටතේ පසුගිය වසරේදී රුසියානු විශේෂඥයන් පිරිසක් විසින් කළ පිරිසිදු කිරීමකදී ඇන්ටාක්ටිකා ප්‍රදේශයෙන් අපද්‍රව්‍ය ටොන් 360ක් ඉවත් කළා. දක්ෂිණ ධෘවයේ තිබෙන පර්යේෂණ මධ්‍යස්ථාන අසල දමා ගොස් තිබෙන අපද්‍රව්‍ය අතර භාවිත නොකරන ලද ගොඩනැඟිලි ද්‍රව්‍ය, කැඩුණු යන්ත්‍රෝපකරණ හා හිස් තෙල් බැරල්ද දැකගත හැකියි. “දක්ෂිණ ධෘවය ආරක්ෂා කරගැනීමේ ගිවිසුමට අනුව සෑම රටක්ම තමන්ගේ රටේ අපද්‍රව්‍ය එතැනින් ඉවත් කරගත යුතුයි” කියා එක් රුසියානු සඟරාවක පළ වුණා. “ඒ සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන්ම කටයුතු කරන රට වන්නේ ජපානයයි” කියාද එහි සඳහන් වුණා.—එම සඟරාව Itogi.