Skip to content

පටුනට යන්න

දෙමාපියන්ට මගේ ප්‍රශ්න ගැන කියන්නේ කොහොමද?

දෙමාපියන්ට මගේ ප්‍රශ්න ගැන කියන්නේ කොහොමද?

යෞවන අය අසති

දෙමාපියන්ට මගේ ප්‍රශ්න ගැන කියන්නේ කොහොමද?

“සමහර දේවල් ගැන මට හිතෙන විදිහ අම්මටයි තාත්තටයි කියන්න මම ගොඩක් උත්සාහ කළා. ඒත් ඒ අය මගේ කතාවට බාධා කරපු නිසා මට කියන්න ඕනෑ වුණ දේ හරියටම කියාගන්න බැරි වුණා.”—රෝසා. *

කුඩා කාලයේදී නම් ඔබ හැම දේකටම වගේ මුලින්ම ගියේ ඔබේ දෙමාපියන් වෙත බව කිසිම සැකයක් නැහැ. ඔබ දැනගත් සෑම දෙයක් වගේම ඔබේ සිතුවිලි හා ඔබට හැඟෙන ආකාරයත් ඔබ ඔවුන්ට නොසඟවා පවසන්න ඇති. එමෙන්ම ඔවුන් දුන් උපදෙස් හා මඟ පෙන්වීම්ද ඔබ විශ්වාස කළ බව නොඅනුමානයි.

නමුත් දැන් තත්වය වෙනස් බවත් ඔබේ දෙමාපියන්ට ඔබව තේරුම්ගන්න බැහැයි කියාත් ඔබට සිතෙනවා ඇති. එඩී නමැති යෞවනිය ඒ ගැන මෙසේ පවසනවා. “දවසක් රෑ අපි කෑම කන කොට මගේ හිතේ තිබුණු හැම දෙයක්ම මම අම්මටයි තාත්තටයි අඬඅඬා කිව්වා. ඔවුන් මං කියන දේ අහගෙන හිටියත් ඒක තේරුම්ගත්තේ නැහැ. අන්තිමේදී මම ඇඳට ගිහින් ආයෙත් ඇඬුවා.”

ඔබේ හැඟීම් ගැන දෙමාපියන්ට නොපවසන එක හොඳයි කියාද සමහරවිට ඔබට සිතෙන්න පුළුවන්. ඒ ගැන ක්‍රිස්ටෆර් නමැති යෞවනයා මෙසේ පවසනවා. “මම ගොඩක් දේවල් ගැන අම්මටයි තාත්තටයි කියනවා. ඒත් සමහර දේවල් නම් මං ඒ අයට කියන්නේ නැහැ.”

ඔබේ සමහර තොරතුරු දෙමාපියන්ට නොපැවසීම වරදක්ද? ඔබ අවංකව කටයුතු කරනවා නම් එසේ කිරීමේ වරදක් නැහැ. (හිතෝපදේශ 3:32) සමහරවිට ඔබ පවසන දේ ඔවුන් තේරුම් නොගන්නවා විය හැකියි. නැත්නම් ඔවුන්ට කතා කිරීමට ඔබ අදිමදි කරනවා විය හැකියි. තත්වය කුමක් වුණත් ඔවුන් සමඟ කතා කිරීම ඉතා වැදගත්.

උත්සාහය අත්හරින්න එපා!

දෙමාපියන් සමඟ කතා කිරීම වාහනයක් පදවාගෙන යනවාට සමාන කළ හැකියි. ඔබ වාහනයකින් ගමන් කරද්දී ඉදිරියෙන් පාර වසා තිබෙනවා කියා සිතන්න. එවිට ඔබ යන ගමන අතරමඟ නතර කරනවාද? ඒ වෙනුවට ඔබ වෙනත් මාර්ගයක් ඒ සඳහා සොයාගන්නේ නැද්ද! දෙමාපියන් සමඟ කතා කිරීමත් ඒ හා සමාන දෙයක්. ඒ සඳහා යෝජනා කිහිපයක් අපි සලකා බලමු.

ඇති විය හැකි බාධා අංක 1: දෙමාපියන් ඔබට ඇහුම්කන් නොදෙන බවක් පෙන්වීම. ලෙයා නමැති යෞවනිය මෙසේ පවසනවා. “මම තාත්තට මොනවා හරි කියද්දී තාත්තා ඒකට හරියට ඇහුම්කන් දෙන්නේ නැහැ. සමහර දේවල් තාත්තට කියාගෙන යද්දී තාත්තා මගෙන් මෙහෙම අහනවා. ‘දුව, ඔයා මට මොනවා හරි කිව්වාද?’”

ප්‍රශ්නය: ලෙයාට තිබූ ප්‍රශ්නයක් ගැන ඇගේ පියා සමඟ කතා කිරීමට ඇයට අවශ්‍ය වුණා නම් තත්වය කුමක්ද? ඒ සඳහා ඇයට ගත හැකි ක්‍රියාමාර්ග තුනක් තිබෙනවා.

පළමුවැන්න

කෑ ගසා ඒ ගැන පියාට පැවසීම. සමහරවිට ලෙයා තම පියාට මෙසේ කෑ ගැසිය හැකියි. “තාත්තේ, මම කියන්න හදන දේ පොඩ්ඩක් අහන්නකෝ!”

දෙවැන්න

කිසිවක් නොපවසා සිටීම. ලෙයා, ඇයට ඇති ගැටලුව ගැන පියා සමඟ කතා කිරීම නතර කළ හැකියි.

තුන්වැන්න

සුදුසු වෙලාවක් තෝරාගෙන එම ගැටලුව ගැන නැවත කතා කිරීම. ලෙයාට ඇති ගැටලුව ගැන පියා සමඟ මුහුණට මුහුණ කතා කළ හැකියි. එසේත් නැත්නම් ඒ ගැන ලිපියකින් දැනුම් දිය හැකියි.

ඔබ සිතන්නේ ලෙයා තෝරාගත යුත්තේ ඉන් කුමන ක්‍රමය කියාද? ․․

එම එක් එක් යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල ගැන දැන් අපි සලකා බලමු. ලෙයා නමැති යෞවනිය තම ගැටලුව ගැන පියාට පවසයි. නමුත් ඔහු ඊට හොඳ අවධානයක් නොදෙන නිසා ඇය සිටින තත්වය අවබෝධ කරගන්න ඔහුට බැහැ. ඒ ගැන ඇය බොහෝ සේ කලකිරීමට පත් වෙනවා. මේ තත්වය යටතේ ලෙයාට ගත හැකි ක්‍රියාමාර්ග තුනක් තිබෙනවා. පළමුවැන්න. කෝපයෙන් කෑගසමින් පියාට කාරණා තේරුම් කර දීමට උත්සාහ කිරීම. ඉන් සිදු වන්නේ ඇය පවසන දේට පියා කොහෙත්ම සවන් නොදීමයි. එමෙන්ම ඇය දෙමාපියන්ට ගරු නොකරන බවද ඉන් ඇඟවෙයි. (එෆීස 6:2) ඒ අනුව එම ක්‍රමය සාර්ථක නොවන බව පැහැදිලියි.

දෙවැන්න. තම ගැටලුව ගැන දෙමාපියන්ට කිසිවක් නොපැවසීම. මෙම ක්‍රමය හොඳම ක්‍රමය කියා ඔබට සිතිය හැකියි. නමුත් එසේ කිරීම ඥානවන්ත දෙයක් නොවෙයි. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි. නමුත් උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි.” (හිතෝපදේශ 15:22, නව ලොව පරිවර්තනය) එම උපදෙසට අනුව ලෙයා ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය නම් ඇගේ ගැටලුව ගැන දෙමාපියන්ට පැවසීමයි. දෙමාපියන්ගේ පැත්තෙන් කිසියම් හෝ උපකාරයක් ඇයට ලැබෙන්නේ ඔවුන් ඒ ගැන දැනගතහොත් පමණයි. කිසිවක් නොපවසා සිටීමෙන් කිසිම යහපතක් සිදු වන්නේ නැහැ.

තුන්වැන්න. සුදුසු වේලාවක කතා කිරීමට පියවර ගැනීම. තම පියා සමඟ කතා කිරීමට ලෙයාට බාධාවක් ඇති වුණත් ඇය එම උත්සාහය සම්පූර්ණයෙන්ම අත්හැර දමන්නේ නැහැ. ඒ වෙනුවට තම පියා සමඟ කතා කිරීම සඳහා වෙනත් සුදුසු වේලාවක් ඇය තෝරාගන්නවා. සමහරවිට ලිපියක් ලිවීම හොඳම ක්‍රමය විය හැකියි. ඊට හේතුව ඇයට හැඟෙන දේ නිසි ලෙස ගලපා ලිවීමට හැකි වීමයි. එවිට පියා එය කියවද්දී ඇය පැවසීමට උත්සාහ කරන දේත් ඇය මුහුණ දෙන තත්වයත් හොඳින් තේරුම්ගැනීමට ඔහුට හැකි වෙයි. මෙම ක්‍රමය දෙදෙනාටම ප්‍රයෝජනවත්.

ලෙයාට ගත හැකි වෙනත් ක්‍රියාමාර්ග තිබෙනවා කියා ඔබට සිතෙනවා නම් ඒවා පහත සඳහන් කරන්න. ඒවා ක්‍රියාත්මක කිරීමෙන් අත් විය හැකි ප්‍රයෝජන ගැනද සඳහන් කරන්න.

․․

ඇති විය හැකි බාධා අංක 2: දෙමාපියන්ට ඔබ සමඟ කතා කිරීමට අවශ්‍ය නමුත් ඔබ එසේ කිරීමට අකමැති වීම. සාරා නමැති යෞවනිය අද්දකින දේ මෙසේ විස්තර කරනවා. “ඉස්කෝලේ ගිහින් ආපු හැටියේම මගෙන් එක දිගට ප්‍රශ්න අහන එක තරම් අමාරු දෙයක් තවත් නැහැ. මට ඕනේ ගෙදර ඇවිල්ලා ටිකක් නිදහසේ ඉන්නයි. ඒ වුණාට අම්මයි තාත්තයි මම ආපු හැටියේම අහනවා ‘කොහොමද අද ඉස්කෝලේ වැඩ? මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණාද’ කියලා.” ඇත්තෙන්ම සාරාගේ දෙමාපියන් එසේ අසන්නේ ඇය ගැන ඔවුන් ගොඩක් සැලකිලිමත් නිසයි. ඒ වුණත් ඒ ගැන සාරාට හැඟෙන්නේ මෙසේයි. “මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්නේ හරිම මහන්සියෙන් වගේම ලොකු පීඩනයකින්. ඒ වෙලාවට ප්‍රශ්න අහන එක හරිම කරදරයක්.”

ප්‍රශ්නය: මෙවැනි තත්වයක් ඇති වූ විට සාරාට කළ හැක්කේ කුමක්ද? කලින් සඳහන් කළාක් මෙන් සාරාටද ගත හැකි ක්‍රියාමාර්ග තුනක් තිබෙනවා.

පළමුවැන්න

කතා කිරීමට අකමැති වීම. සාරා මෙසේ පැවසිය හැකියි. “මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. මම ඒ ගැන පස්සේ කියන්නම්!”

දෙවැන්න

අකමැත්තෙන් කතා කිරීම. ඇය වෙහෙසට පත් වී සිටින නිසා ඕනෑවට එපාවට පිළිතුරු දිය හැකියි.

තුන්වැන්න

පාසැලේ තොරතුරු පසුව පවසන්නම් කියා වෙනත් විෂයක් ගැන ඔවුන් සමඟ කතා කිරීම. පාසැලේ තොරතුරු වෙනත් වේලාවකදී අසන්න කියා යෝජනා කිරීමට සාරාට හැකියි. ඉන්පසුව ඇයට දෙමාපියන්ගෙන් මෙසේ ඇසිය හැකියි. “ඔයාලාට කොහොමද?”

ඔබ සිතන්නේ සාරා තෝරාගත යුත්තේ ඉන් කුමන ක්‍රියාමාර්ගය කියාද? ․․

අප මෙතෙක් සාකච්ඡා කළ ක්‍රියාමාර්ග ගැනත් ඉන් අත් විය හැකි ප්‍රතිඵල ගැනත් නැවත සලකා බලමු.

පළමුවැනි ක්‍රියාමාර්ගය ගැනීමට පෙරද සාරා සිටියේ දැඩි මානසික පීඩනයක මෙන්ම දෙමාපියන් සමඟ කතා කිරීමට අකමැතිවයි. නමුත් ඇය එම ක්‍රියාමාර්ගය ගැනීමෙන් පසුව පවා සිටින්නේ එම මානසික තත්වයෙන්මයි. ඒ විතරක් නොව දෙමාපියන්ට කෑ ගසා බැන වැදීම නිසා ඇය පසු වන්නේ ඉමහත් දුකකිනුයි.—හිතෝපදේශ 29:11.

මේ අතර දෙමාපියන්ද ඒ ගැන වේදනාවෙන් පසු වෙනවා. ඒ නිසා ඔවුන් අතර සිත් අමනාපයක් ඇති වෙයි. ඒ වගේම සාරා යම් කාරණා වසන් කරනවා කියා දෙමාපියන්ට සිතෙන්න පුළුවන්. එම තොරතුරු දැනගැනීමට ඔවුන් දැඩි උත්සාහයක් දරන නිසා සාරා තවත් කලකිරීමට පත් විය හැකියි. අවසානයේදී එම ක්‍රමය තුළින් කිසිවෙකුටවත් යහපතක් සිදු වන්නේ නැහැ.

ඇත්තෙන්ම පළමුවැනි ක්‍රියාමාර්ගයට වඩා දෙවැනි ක්‍රියාමාර්ගය හොඳයි. අඩුම තරමින් ඔවුන් එකිනෙකා සමඟ සාමාන්‍ය පරිදි කතාබහ කරනවා. නමුත් සාරා සහ ඇගේ දෙමාපියන් එම ගැටලුව ගැන අවංකව අදහස් හුවමාරු නොකරන නිසා එම ක්‍රමයද අසාර්ථකයි.

සාරා තුන්වැනි ක්‍රියාමාර්ගය ගැනීම නිසා ඇයට විශාල සහනයක් දැනෙනවා. එමෙන්ම ඇය තම හැඟීම් නොසඟවා පළ කිරීම ගැන ඇගේ දෙමාපියන් ඇයව අගය කරන අතර ඒ ගැන ඔවුන් සතුටට පත් වෙනවා. තුන්වැනි ක්‍රමය සාර්ථක වීමට හේතුව වන්නේ ඔවුන් බයිබලයේ සඳහන් මෙම ප්‍රතිපත්තිය අදාළ කරගැනීමයි. එහි මෙසේ සඳහන් වෙනවා. “ඔබේම කාරණා ගැන පමණක් නොව, අනුන්ගේ කාරණා ගැනත් පෞද්ගලිකව සැලකිල්ලක් දක්වන්න.”—ෆිලිප්පි 2:4.

[පාදසටහන]

^ 3 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

සිතා බලන්න

▪ අදහස් හුවමාරුව සඳහා සුදුසු වේලාවක් තෝරාගැනීමේ ඇති ප්‍රයෝජන මොනවාද?—හිතෝපදේශ 25:11.

▪ දෙමාපියන් සමඟ කතා කිරීමට ඔබ දරන වෑයම වටින්නේ ඇයි?—යෝබ් 12:12.

[18වන පිටුවේ කොටුව⁄පින්තූරය]

වරදවා වටහාගැනීමක්ද?

දෙමාපියන් සමඟ අදහස් හුවමාරු කරගැනීමේදී ඔබට යම් ගැටලු ඇති වී තිබෙනවාද? සමහරවිට ඊට හේතුව විය හැක්කේ ඔබ පවසන දේ ඔවුන් වරදවා තේරුම්ගැනීමයි.

ඔබ සමහරවිට මෙසේ කියයි.

“මම ඒ ගැන කතා කරන්න කැමති නැහැ.”

ඔබ ඉන් අදහස් කළේ මෙවැනි දෙයක් කියා දෙමාපියන්ට සිතෙයි.

“මගේ ජීවිතයේ හැම දෙයක් ගැනම මගේ අම්මයි තාත්තයි එක්ක කතා කරනවාට වඩා මගේ යාළුවෝ එක්ක කතා කරන එක මට ලෙහෙසියි. අම්මටයි තාත්තටයි වඩා මට ඒ අය වැදගත්.”

ඔබ සමහරවිට මෙසේ කියයි.

“අම්මටයි තාත්තටයි මාව තේරුම්ගන්න බැහැ.”

ඔබ ඉන් අදහස් කළේ මෙවැනි දෙයක් කියා දෙමාපියන්ට සිතෙයි.

“අම්මයි තාත්තයි කොහොමද මාව තේරුම්ගන්නේ? එහෙම කරන්න උත්සාහ කරන එකත් බොරු වැඩක්.”

[21වන පිටුවේ කොටුව⁄පින්තූර]

යෞවනයන් පවසන දේ

“ඉස්කෝලේ වුණ ප්‍රශ්නයක් ගැන මම අම්මටයි තාත්තටයි කිව්වා. ඔවුන් ඒක අහගෙන හිටිය විදිහ ගැන මට පුදුම හිතුණා. ඔවුන්ගේ උපකාරය නිසා මගේ ප්‍රශ්නය පහසුවෙන්ම විසඳාගන්න මට පුළුවන් වුණා.”—නටාලි.

දෙමාපියන් එක්ක කතා කරන එක සමහර වෙලාවට අමාරු වෙන්න පුළුවන්. නමුත් අපි විවෘතව ඔවුන් එක්ක කතා කළොත් ලොකු බරකින් නිදහස් වුණා කියා අපිට දැනෙයි.”—ඩෙවනි.

[21වන පිටුවේ කොටුව]

දෙමාපියෙනි මේ ඔබටයි

ඔබ සමඟ කතා කිරීම ඔබේ දරුවන්ට එතරම්ම අපහසුද කියා දෙමාපියන් හැටියට ඔබ කල්පනා කරනවා විය හැකියි. දෙමාපියන් සමඟ කතා කිරීම දුෂ්කර කරවන හේතු සමහරක් ගැන යෞවනයන් කිහිපදෙනෙක් පිබිදෙව්! සඟරාවට දැක්වූ අදහස් කිහිපයක් සලකා බලන්න. ඉන්පසු පහත සඳහන් ප්‍රශ්න ඔබෙන්ම අසාගෙන සඳහන් කර ඇති බයිබල් වගන්ති ගැන සිතා බලන්න.

“තාත්තා කොයි වෙලාවේ බැලුවත් එක්කෝ සභාවේ වැඩක් නැත්නම් වෙන වැඩක්! ඒ නිසා තාත්තා එක්ක කතා කරන එක හරිම අමාරුයි. තාත්තත් එක්ක නිදහසේ කතා කරන්න වෙලාවක් නැති තරම්.”—ඇන්ඩෘ.

‘දරුවන් එක්ක කතා කරන්න වෙලාවක් නැහැයි කියා මම අඟවනවාද? ඔවුන්ට බාධාවකින් තොරව මාත් එක්ක කතා කරන්න අවස්ථාව ලබා දෙන්න පුළුවන් කොහොමද? දරුවන් සමඟ නිතිපතා කතා කිරීමට මට වෙන් කළ හැක්කේ මොන වගේ වෙලාවන්ද?’—ද්විතීය කතාව 6:7.

“ඉස්කෝලේ ඇති වුණු ප්‍රශ්නයක් ගැන මම අම්මට අඬඅඬා කිව්වා. මම හිතුවේ ඒ ප්‍රශ්නයෙන් ගොඩ එන්න අම්මා මට උදව් කරයි කියලයි. ඒත් ඒ වෙනුවට අම්මා මට තවත් බැන්නා. ඊට පස්සේ මම අම්මට කිසිම දෙයක් කිව්වේ නැහැ.”—කෙන්ජි.

‘ප්‍රශ්නයක් ගැන දරුවන් මට කියද්දී මම ඊට ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද? එකවරම ඔවුන්ව නිවැරදි කර උපදෙස් දෙනවා වෙනුවට මුලින්ම ඊට හොඳින් සවන් දෙන්න මට පුළුවන්ද?’—යාකොබ් 1:19.

“කේන්ති ගන්නේ නැහැ කියලා දෙමාපියන් කොච්චර කිව්වත් අපි ප්‍රශ්නයක් ගැන කියපු ගමන්ම ඔවුන් කලබල වෙනවා. එතකොට අපිට හිතෙන්නේ අපි ඔවුන් කෙරෙහි තැබූ විශ්වාසය ඔවුන් කඩ කෙරුවා කියලයි.”—රාකෙල්.

‘මගේ දුව හෝ පුතා යම් ප්‍රශ්නයක් ගැන මට පැවසුවහොත් කලබල නොවී සන්සුන්ව ඊට සවන් දෙන්න මට පුළුවන් කොහොමද?’—හිතෝපදේශ 10:19.

මගේ පෞද්ගලික දෙයක් අම්මට කිව්ව හැටියේම අම්මා ඒ ගැන අම්මගේ යාළුවන්ට කියනවා. ඒ නිසා කාලයක් යන තුරුම මට අම්මා ගැන විශ්වාසයක් තිබුණේ නැහැ.”—චන්ටෙල්.

‘මගේ දුව හෝ පුතා මට පවසන පෞද්ගලික දේවල් රහසිගතව තබාගැනීමෙන් මම ඔහුගේ හෝ ඇයගේ හැඟීම් ගැන සැලකිලිමත් බව පෙන්වනවාද?’—හිතෝපදේශ 25:9.

“අම්මටයි තාත්තටයි කියන්න මට ගොඩක් දේවල් තියෙනවා. ඒත් ඒ අය එක්ක අදහස් හුවමාරුව පටන්ගන්න ඒ අයගෙත් උපකාර ඕනේ.”—කොට්නි.

‘මගේ දරුවා සමඟ කතා කරන්න මුල් පියවර ගන්න මට පුළුවන්ද? ඒ සඳහා සුදුසු අවස්ථා මොනවාද?’—දේශනාකාරයා 3:7.

[19වන පිටුවේ පින්තූරය]

දෙමාපියන් සමඟ කතා කරද්දී බාධා ඇති වන විට ඒ සඳහා වෙනත් මාර්ගයක් සොයාගැනීමට ඔබට හැකියි