Skip to content

පටුනට යන්න

යුද්ධ කරන්න තිබූ මගේ ආශාව නැති වූ ආකාරය

යුද්ධ කරන්න තිබූ මගේ ආශාව නැති වූ ආකාරය

යුද්ධ කරන්න තිබූ මගේ ආශාව නැති වූ ආකාරය

පැවසුවේ තෝමස් ස්ටබෙන්වොල්

මම ඉපදුණේ 1944 නොවැම්බර් 8වෙනිදා නිව් යෝර්ක් නගරයේයි. මම හැදි වැඩුණේ දකුණු බ්‍රොන්ක්ස් නමැති ප්‍රදේශයේයි. එහි විවිධ ජාතීන්ට අයත් අය සිටි නිසා ඔවුන් අතර බෙදීම් තිබුණා. පුංචි අවදියේ ඉඳන්ම මම වැඩි කාලයක් ගත කළේ පාරවල්වලයි. අපේ ප්‍රදේශයේ විවිධ කල්ලි හිටිය නිසා අපිට අයත් සීමා මොනවාද කියලා වැඩි කල් යන්න කලින් මම තේරුම්ගත්තා. බොහෝ කල්ලි අපරාධවලට හා සැහැසික ක්‍රියාවලට ප්‍රසිද්ධ වෙලා හිටිය නිසා ගොඩක් අය ඔවුන්ට භයයි.

මට අවුරුදු 12ක් විතර වෙද්දී මමත් කල්ලියකට සම්බන්ධ වුණා. අපේ කල්ලිය හැඳින්නුවේ ස්කල්ස් (මිනී ඔළු) යන නමිනුයි. අපේ කල්ලිය එකතු වෙලා බඩු කෝච්චිවලට පැනලා පීනට් බටර් පෙට්ටි වගේම තවත් කෑම ජාති හොරකම් කරනවා. අපිට වඩා වයසින් ටිකක් වැඩි අය ඉන්න කල්ලි ඊටත් වඩා භයානක දේවල් කෙරුවා. ඒ කල්ලි අතර නිතර නිතර දරුණු ගැටුම් ඇති වුණා. එක දවසක් මගේ හොඳම යාළුවෙක්වත් මගේ ඇස් ඉදිරිපිටම පිහියෙන් ඇනලා මැරුවා.

යුද්ධ කරන්න තිබූ ආශාව

කොහොමවුණත් දිගටම කල්ලියක සාමාජිකයෙක් වෙලා ඉන්න මට එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ ප්‍රදේශයෙන් පිට වෙලා යන්න මට ඕන වුණා. ඒ කාලයේදී මගේ මාමා ඇමරිකාවේ නාවික හමුදාවේ භටයෙකු ලෙස කොරියානු යුද්ධයට සහභාගි වෙමින් සිටියා. නාවිකයෙකුගේ ජීවිතය ගැන බොහෝ දේ ඔහු මට පැවසුවා. සෑම නාවික භටයෙකුටම, නායකත්වයක් දැරීමටත් නිර්භීතව සටන් වැදීමටත් හික්මවීමෙන් කටයුතු කිරීමටත් හොඳ පුහුණුවක් ලැබෙන බව ඔහු පැවසූ දේවලින් මට වැටහුණා. ඔවුන්ගේ සටන් පාඨය වුණේ “හැමවිටම පක්ෂපාතයි” යන්නයි. ඉන් අදහස් කළේ ඔවුන් නිතරම විශ්වාසවන්තව හා කැපවීමෙන් කටයුතු කළ යුතු බවයි. එදා සිට මගේ එකම සිහිනය වුණේ දක්ෂ නාවික භටයෙකු වීමයි.

වර්ෂ 1961 නොවැම්බර් 8වෙනිදා එනම් මගේ උපන් දිනය දවසේ මම නාවික හමුදාවට බැඳුණා. එතකොට මගේ වයස හරියටම අවුරුදු 17යි. ඊට මාස හතරකටත් අඩු කාලයකදී මම එහි මූලික පාඨමාලාවෙන් සමත් වුණා. අවුරුදු 11ක මගේ නාවික ජීවිතයේ ආරම්භය එයයි.

මම හමුදාවට බැඳෙන කාලයේ ඇමරිකාවේ සාමකාමී වාතාවරණයක් පැවතුණා. ඒත් පුහුණුවීම් කටයුතුවල නම් අවසානයක් දකින්න තිබුණේ නැහැ. පුහුණුව සඳහා මාව මුලින්ම යැව්වේ හවායි රටේ ඔආහුවලටයි. එහිදී මම පාබල හමුදා යුධ උපක්‍රම හා ගරිල්ලා සටන් පිළිබඳව අවුරුදු දෙකක පුහුණුවක් ලැබුවා. ඒ වගේම ඉලක්කයට වෙඩි තැබීමේ හැකියාවද ප්‍රගුණ කළා. මීටර් 450කටත් වැඩි දුරක තියෙන ඉලක්කයකට වුණත් හරියටම වෙඩි තියන්න මට පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි මම කරාටේ සටන් ක්‍රම පිළිබඳව, පුපුරන ද්‍රව්‍ය පිළිබඳව මෙන්ම සිතියම් කියවීම හා සංඥා හුවමාරුව පිළිබඳවත් හොඳ පුහුණුවක් ලැබුවා. ඒ හැම දෙයකින්ම මම ලැබුවේ විශාල තෘප්තියක්.

ඒ පුහුණුවීම්වලින් පසුව මාව මාස හයකට ජපානයට යැව්වා. එහිදී අපේ කණ්ඩායමේ පැවරුම වුණේ අට්සුගි ප්‍රදේශයේ මුහුදේ ගබඩා කර තිබූ ආයුධවලට ආරක්ෂාව සැපයීමයි. මම එහි ගොස් වැඩි කල් යන්න පෙර ඇමරිකාව හා උතුරු වියට්නාමය අතර ගැටුම් හටගත්තා. ඒ නිසා මාව යූ. එස්. එස්. රේන්ජර් නමැති ප්‍රහාරක යානා ගෙන යන යුධ නෞකාවේ සේවය සඳහා පත් කළා. පසුව අපි ටොන්කින් නමැති මුහුදු තීරයේ සිට වියට්නාමයට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ කාර්යයට ගුවන් යානාවලට සහය දුන්නා. දීර්ඝ කාලීන පුහුණුවකින් පසුව මම ඇත්තටම යුද්ධ කරන්න පටන්ගත්තේ ඒ අවස්ථාවේදීයි. ඒ වුණත් නෞකාවේ සිට සටන් කිරීම ගොඩබිමේ සිට සටන් කරනවා වගේ තෘප්තියක් ගෙන දුන්නේ නැහැ.

යුද්ධයේ තිත්ත ඇත්ත

වර්ෂ 1966දී මම රේන්ජර් නෞකාවේ සේවය කරමින් සිටිද්දී කැමති අයට හමුදා සේවයෙන් ඉවත් වෙන්න හැකි බව ප්‍රකාශ කළා. මා හා සමාන නිලධාරීන් බොහෝදෙනෙක් සතුටින් එම සේවයෙන් ඉවත් වූ අතර ඉදිරියේදී සිදු වීමට තිබූ විශාල මිනිස් ඝාතනයකට හවුල් නොවී සිටින්න ඔවුන්ට හැකි වුණා. ඒ වන විට මම නාවික හමුදාවේ අවුරුදු හතරක් සේවය කර තිබුණා. කැපවීමෙන් සේවය කළ හමුදා භටයෙක් වූ මට නම් අවශ්‍ය වුණේ තවදුරටත් නාවික සේවයේ රැඳී සිටින්නයි.

හොඳ පුහුණුවක් ලැබූ භටයෙකු ලෙස මට ඕනෑ කළේ යුද්ධ කරන්නයි. ඒ නිසා මම කැමැත්තෙන්ම නාවික හමුදාවේ පාබල සේනාංකයේ සේවය කිරීමට ඉදිරිපත් වුණා. කුමන ස්ථානයකට යැව්වත් මගේ එකම ආශාව වුණේ එම සේනාංකයේ සේවය කිරීමටයි. මම යුද්ධය සැලකුවේ මගේ දෙවි හැටියටයි. ඒ වගේම මගේ එකම පරමාර්ථය වුණේ දක්ෂ නාවික භටයෙකු වීමයි.

වර්ෂ 1967දී මාව වියට්නාමයට යැව්වා. එහි ක්වං ට්‍රි ප්‍රාන්තයේ මට සටන් කිරීමට සිදු වුණේ ඉදිරියෙන්ම තිබූ ආරක්ෂක වළල්ලේයි. ඒ ගැන මට ටිකක් භයක් මෙන්ම චකිතයක්ද දැනුණා. මම එහි ගිය දවසේම දරුණු සටන් ඇති වුණා. මා අවට සිටි සෙබළුන් තුවාල ලබනවාත් සමහරුන් මිය යනවාත් මගේ ඇස් දෙකින්ම මම දැක්කා. ඒ වගේම සතුරු හමුදාවෙන් එල්ල වූ වෙඩි උණ්ඩ වරුසාව දූවිලි අවුස්සමින් මා අසලම පතිත වුණා. පඳුරු කිහිපයක් ඇරෙන්න ඒවායින් ආරක්ෂා වෙන්න වෙන කිසිම තැනක් තිබුණේ නැහැ. මමත් පෙරළා වෙඩි තියන්න පටන්ගත්තා. ඒ සිද්ධිය ගැන මට කියන්න වචන නැහැ. මම නම් හිතුවේ සටන් බිමට ගිය දවසේම මම මැරෙයි කියලයි. ඒ සටනින් මගේ ජීවිතය ආරක්ෂා වුණත් මාත් එක්ක හිටිය බොහෝදෙනෙකුට අත් වුණේ ඉතා කනගාටුදායක තත්වයක්.

එතැන් සිට මාස 20ක් පුරාම වියට්නාම යුද්ධය එන්න එන්නම දරුණු අතට හැරුණා. සතියේ දවස් හතේම රෑ එළිවෙනකම් සතුරාට ප්‍රහාර එල්ල කිරීමටත් ඔවුන්ගෙන් පැමිණි ප්‍රහාරවලින් ආරක්ෂා වීමටත් අපට සිදු වුණා. මම බොහෝ වෙලාවට සතුරාට ප්‍රහාර එල්ල කළේ වළවල්වල බැහැගෙනයි. වැස්සක් ආව ගමන්ම ඒවා මඩ වෙනවා. සමහර වෙලාවට ඒ වළවල් ඇතුළේ හරිම සීතලයි. ඒ වගේම හරිම අප්‍රසන්නයි. නමුත් අපිට කන්නත් නිදියන්නත් සිදු වුණේ ඒවා ඇතුළෙමයි.

ඝන වනාන්තර පීරා ගොස් සතුරාට පහර දීම අපේ කාර්යයට ඇතුළත් වුණා. ඒ අතරතුරේදී සතුරා කුමන මොහොතකදී අපට ප්‍රහාර එල්ල කරයිද කියා දැන සිටියේ නැති නිසා අපේ ජීවිත හැමවිටම තිබුණේ අවදානම් තත්වයකයි. සමහර අවස්ථාවලදී පැය ගණනාවක් එක දිගටම මා අවට බෝම්බ පතිත වුණා. දිනක් කෙහ් සැන් අසල පැවති සටනකදී මා සමඟ සිටි සේනාංකයෙන් හතරෙන් තුනක්ම ජීවිතක්ෂයට පත් වුණා. ඉතුරු වුණේ 13දෙනෙක් පමණයි.

ඒ සටන්වලින් පසුව 1968 ජනවාරි 30වෙනිදා මට හමුදා කඳවුරක නවාතැන් ගන්න අවස්ථාව ලැබුණා. අවුරුද්දකට විතර පස්සේ වහලයක් යට ටිකක් නිදාගන්න ලැබුණේ එදා තමයි. ඒත් වැඩි වෙලාවකට නම් නෙවෙයි. අපේ කඳවුරට එල්ල වූ මෝටාර් බෝම්බ ප්‍රහාරයකින් මාව උඩගිහින් ඇහැරුණා. එදා උදෙන්ම සතුරු හමුදාව දැවැන්ත ප්‍රහාරයක් දියත් කර තිබුණා. ඒ ප්‍රහාරයෙන් විසි වුණු යකඩ කැබලි මගේ පිටයි උරහිසයි පසාරු කරගෙන ගියා.

ප්‍රහාරයෙන් මට තුවාල සිදු වුණත් සටන් පෙරමුණට යෑමෙන් මාව වළක්වන්න ඒවාට හැකි වුණේ නැහැ. පසුව වෛද්‍යවරු මගේ ඇඟේ තිබූ යකඩ කැබලි ඉවතට ගත්තා. ඒ ප්‍රහාරයට ලක් වූ මට ගෞරව පදක්කමක් හිමි වුණා. ඉන්පසුව මම ගියේ දරුණු සටන් ඇවිලෙමින් තිබූ හුයි නගරයටයි. එහිදී මම බර අවි යොදාගෙන සතුරාට ප්‍රහාර එල්ල කළ අතර ඔවුන්ව මරා දැමීම මට සාමාන්‍ය දෙයක් වුණා. ඒ ආකාරයෙන් මමත් සෙසු සොල්දාදුවනුත් දින 32ක් පුරා සෑම නිවසක්ම සෝදිසි කරමින් සතුරන්ව මරා දැමුවා.

එසේ මිනිස් ජීවිත විනාශ කිරීම ගැන මගේ හෘදය සාක්ෂිය මට වධ දුන්නේ නැහැ. ඒ ගැන මම හිතුවේ මෙහෙමයි. ‘මේ සතුරන් නගරයේ ඉන්න අහිංසක මිනිසුන්ව අමු අමුවේ මරා දානවා. මහ පාරවල්වල, වීථිවල වගේම බලන බලන හැම තැනම දහස් ගණන් මළ මිනී. ඒ වගේම මර උගුල් නැති තැනක් නැහැ. මළ මිනී යට පවා ඒවා අටවලා තියෙනවා. අපි නිතරම තුවක්කුකරුවන්ගේ ඉලක්කයක් වෙලා.’ ඒ වුණත් මම ඒ කිසි දෙයකට සැලුණේ නැහැ. මට ඕනෑ වුණේ අපේ සතුරන්ව මරලා දාන්නයි. කරන්න තියෙන හොඳම දේ මේක තමයි කියලා මට හිතුණා.

අසාමාන්‍ය ආශාවක්

හුයි නගරයේ සටනින් ටික කලකට පසුව, මාස 13කට මට ලැබී තිබුණු පැවරුම මම සම්පූර්ණ කළා. නමුත් යුද්ධය නම් අවසන් වී තිබුණේ නැහැ. මට තවත් යුද්ධ කරන්න අවශ්‍ය වුණා. ඒ නිසා මට ඕනෑ වුණේ තවදුරටත් වියට්නාමයේ රැඳී ඉන්නයි. එහිදී මට උසස්වීමක් ලැබුණු අතර විශේෂ මෙහෙයුමක් සඳහා මාව පත් කළා. මගේ කාර්යය වුණේ රට අභ්‍යන්තරයේ තිබූ කුඩා ගම්මානවලට හමුදාවට මඟ පෙන්වීමයි. සතුරු ප්‍රහාරවලට මුහුණ දීම සඳහා ගම්වාසීන්ව පුහුණු කිරීමද අපගේ කාර්යයට අයත් වුණා. නමුත් ගම්මුන් අතරද සතුරන් සිටිය හැකි නිසා අපිට නිතරම හොඳ සෝදිසියෙන් සිටින්න සිදු වුණා. රාත්‍රී කාලයේදී ඉතා රහසිගතව කළ මෙහෙයුම්වලදී සැඟවී සිටි සතුරන්ව අපි මරා දැමුවා. ඒ මෙහෙයුමේදී මම මොන තරම් පීඩනයකට පත් වුණත් ඉන් සිදු වුණේ යුද්ධ කිරීමට තිබූ මගේ ආශාව තව තවත් වර්ධනය වීම පමණයි.

වියට්නාමයේ මට ලැබුණු දෙවැනි පැවරුමත් ඉතා ඉක්මනින්ම අවසන් වුණා. ඒ නිසා එහි තවත් පැවරුමක් මම ඉල්ලා සිටියා. නමුත් එය ඉහළ බලධාරීන් ප්‍රතික්ෂේප කළා. යුද්ධ කිරීමට මට තිබෙන අසාමාන්‍ය ආශාව ඔවුන්ගේ අවධානයට ලක් වීම ඊට හේතු වන්න ඇති. නමුත් ඉන් මගේ නාවික හමුදා සේවය අවසන් වුණේ නැහැ. මාව නැවතත් ඇමරිකාවට යැවූ අතර පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට පැවරුමක් ලැබුණා. අවුරුදු තුනහමාරක කාලයක් පුරා මම ඒ පැවරුම හොඳින් ඉටු කළ අතර මගේ අද්දැකීම්ද ඔවුන් සමඟ බෙදාගත්තා. එමෙන්ම මා වැනි කැපවීමෙන් සේවය කරන හමුදා භටයන් බිහි කිරීමට මම වෙහෙස මහන්සි වී කටයුතු කළා.

ජීවිතයට වඩාත් හොඳ අරමුණක්

මම වගේම තවත් පුහුණුකරුවෙකුව මට එහිදී හමු වුණා. ඊට පස්සේ අපි හොඳ මිතුරන් වුණා. ඔහුගේ භාර්යාව ඔහුවත් දරුවන් දෙදෙනාත් අත්හැර ගොස් තිබුණු නිසා මෑතකදී ඔහුගේ නංගි ක්‍රිස්ටීන් ඇන්ටිස්ඩෙල්, ඔහුගේ දරුවන්ව බලාගන්න ගෙදර ඇවිත් තිබුණා. ඇය යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් බව ඔහු මට පැවසුවා. සාක්ෂිකරුවන් ගැන මම ඇසූ මුල්ම අවස්ථාව එයයි.

මම උපතින්ම කතෝලිකයෙක්. අවුරුදු අටක්ම කතෝලික පාසැලක අධ්‍යාපනය ලැබූ මම, පල්ලියේ මෙහෙයන්වලටත් උදව් වුණා. නමුත් මම බයිබලය ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. මම නොදැන සිටි බොහෝ දේවල් ක්‍රිස්ටීන්, මට බයිබලයෙන් ඉගැන්නුවා. එයින් බයිබලයේ සඳහන් සත්‍යයන් ගැන මට හොඳින් වැටහුණා වගේම බොරු ඉගැන්වීම් ගැනත් අවබෝධයක් ලැබුණා.

වැරදි කරන අයව දෙවි නිරයක දමා සදහටම වධ දෙනවා යන ඉගැන්වීම බොරුවක් බව මට වැටහුණා. (දේශනාකාරයා 9:5, 10) ඒ වගේම ත්‍රිත්වය නමැති ඉගැන්වීම බයිබලයට පටහැනි බවත් මම ඉගෙනගත්තා. (යොහන් 14:28) දෙවි ළඟදීම දුෂ්ටයන්වත් දුක, වේදනාව හා මරණය සම්පූර්ණයෙන්ම මේ පොළොවෙන් ඉවත් කර කීකරු මිනිසුන්ට පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව උරුම කර දෙන බවත් මම දැනගත්තා. (ගීතාවලිය 37:9-11; එළිදරව් 21:3, 4) දෙවි දී තිබෙන උසස් සදාචාර ප්‍රමිති ගැනත් මට වැටහීමක් ලැබුණා. (1 කොරින්ති 6:9, 10) එමෙන්ම දෙවිට, යෙහෝවා කියා නමක් තිබෙන බවත් මම බයිබලයෙන් ඉගෙනගත්තා. (ගීතාවලිය 83:17) ඒ සෑම දෙයක්ම දැනගැනීමෙන් මම ලැබුවේ විශාල ප්‍රීතියක්!

වර්ෂ 1972 නොවැම්බර් මාසයේදී, යුධ උපක්‍රම පිළිබඳව නිලධාරීන්ව පුහුණු කිරීම සඳහා මාව වෙනත් කඳවුරකට යැව්වා. මම ඒ ප්‍රදේශයේදීත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය ගැන ඉගෙනගත්තා. ඔවුන් පැවැත්වූ රැස්වීම්වලටත් සහභාගි වුණා. එහි සිටි අය අතර තිබූ සාමකාමී වාතාවරණය හා සහෝදරත්වය දැකලා මට පුදුම හිතුණා.

බයිබලයේ සඳහන් දේවල් දැනගන්න දැනගන්න මගේ හෘදය සාක්ෂිය මට වධ දෙන්න පටන්ගත්තා. ඊට හේතුව වුණේ මගේ ජීවිත රටාව බයිබලයේ ඉගැන්වීම්වලට පටහැනි වූ නිසයි. මම මගේ මුළු ජීවිතයම කැප කර තිබුණේ දෙවි හෙළාදකින දෙයක හවුල් වීමටයි. එනම් ජාතිවාදයට දිරි දෙන සැහැසික යුද්ධයක නිරත වීමටයි.

යුද්ධ කරන අතරම යෙහෝවා දෙවිට නමස්කාර කරන්න බැරි බව මම තේරුම්ගත්තා. ඒ ගැන මගේ හෘදය සාක්ෂිය මට වධ දෙන්න පටන්ගත්තා. යුද්ධ කිරීමට මා තුළ තිබූ ඒ අසාමාන්‍ය ආශාව ටිකෙන් ටික නැති වී ගියා. පසුව මම මගේ වෘත්තියෙන් සමුගන්න තීරණය කළා. ඒ සඳහා යම් සම්මුඛ සාකච්ඡාවලට හා පරීක්ෂණවලට වගේම මනෝ වෛද්‍යය පරීක්ෂණයකටත් මුහුණ දීමට සිදු වුණා. අවසානයේදී ලියකියවිලි සකස් කිරීමෙන් පසු මාස කිහිපයක් ඇතුළත ගෞරවණීය ලෙස වෘත්තියෙන් ඉවත් වීමට මට අවසර ලැබුණා. අවුරුදු 11ක මාගේ නාවික ජීවිතයට මම සමුදුන්නේ එලෙසයි.

පසුව බයිබලයේ යෙසායා 6:8හි සඳහන් මේ දේ යෙහෝවා දෙවිට පවසන්න මට හැකි වුණා. “මම යන්න කැමතියි. මාව යවන්න.” (නව ලොව පරිවර්තනය) ඇත්තටම මගේ මුළු ශක්තියෙන් හා කැප වීමෙන් සැබෑ දෙවිට සේවය කරන්න මම සූදානම් වුණා. ඒ නිසා 1973 ජූලි 27වෙනිදා මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකු ලෙස බව්තීස්ම වුණා. එදා මට හමු වූ ඒ මුල්ම සාක්ෂිකාරිය වන ක්‍රිස්ටීන් ඇන්ටිස්ඩෙල් සමඟ ඊට මාස පහකට පසුව මම විවාහ වුණා.

අප දෙදෙනා විවාහ වී දැනට අවුරුදු 36ක් ගත වී ඇති අතර ඒ කාලය අප කැප කළේ දෙවි පිළිබඳව ඉගෙනගැනීමට හා ඔහුට ළං වීමට බොහෝදෙනෙකුට උපකාර කිරීමටයි. අපි ඩොමිනිකන් ජනරජයේ අවුරුදු අටක් සේවය කළ අතර පසුගිය අවුරුදු 18 පුරාම සංචාරක දේවසේවයේ හවුල් වුණා. ඇමරිකාවේ තිබෙන ස්පාඤ්ඤ භාෂාව කතා කරන සභා සියගණනකට ගොස් ඔවුන්ව දිරිගැන්වීමටද අපට අවස්ථාව ලැබුණා.

මම කාලයක් තිස්සේ බිහිසුණු යුද්ධයකට හවුල් වී සිටියත් නින්දෙන් තිගැස්සී අවදි වීම, නින්ද නොයෑම වැනි මානසික ගැටලුවලට මුහුණ දෙන්නේ නැහැ. ඒත් යුද්ධවලදී මා අතින් විනාශ වූ ජීවිත ගැන මතක් වෙද්දී මට දැනෙන්නේ විශාල කනගාටුවක්.

ජීවිතයේ ලොකු වෙනස්කමක් කිරීමට මට සිදු වුණත් ඒ ගැන මට ඇත්තටම සතුටුයි. අතීතයේදී මගේ අතින් සිදු වූ පව්වලට දෙවි සමාව දී ඇති බව මට දැන් දැනෙනවා. මම දැන් මිනිස් ජීවිත විනාශ කරනවා වෙනුවට, පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ගැන මිනිසුන්ට ප්‍රකාශ කිරීමේ කාර්යයක නිරත වී සිටිනවා. කලින් මා කටයුතු කළේ නොදැනුවත්කමින් සහ නිවැරදි මඟ පෙන්වීමක් නොමැතිවයි. නමුත් කළ යුතු නිවැරදි දේ කුමක්ද කියා දැන් මම බයිබලයෙන් ඉගෙනගෙන තිබෙනවා. ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකු ලෙස දැන් මම කටයුතු කරන්නේ සැබෑ මෙන්ම ප්‍රේමණීය දෙවි යෙහෝවා ගැන ස්ථිර විශ්වාසයක් ඇතුවයි. ඔහුට ප්‍රේම කරන හා කීකරු වන සියලුදෙනාටම කිසිම අනතුරක් සිදු වන්නේ නැති බවත් ඔවුන්ට අත් වන්නේ යහපත පමණක් බවත් මට හොඳටම විශ්වාසයි.

[25වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සතියේ දවස් හතේම රෑ එළිවෙනකම් සතුරාට ප්‍රහාර එල්ල කිරීමටත් ඔවුන්ගෙන් පැමිණි ප්‍රහාරවලින් ආරක්ෂා වීමටත් අපට සිදු වුණා

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මා අතින් විනාශ වූ ජීවිත ගැන මතක් වෙද්දී මට දැනෙන්නේ විශාල කනගාටුවක්

[24වන පිටුවේ පින්තූර]

පුහුණුකරුවෙකු ලෙස සේවය කරමින් (ඉහළ) වියට්නාමයේ පාබල හමුදාවේ (පහළ)

[25වන පිටුවේ පින්තූරය]

තුවාල සිදු වූ මට ගෞරව පදක්කමක් හිමි වුණා. සටන් පෙරමුණට යෑමෙන් මාව වළක්වන්න ඒ තුවාලවලට හැකි වුණේ නැහැ

[26වන පිටුවේ පින්තූරය]

මමයි ක්‍රිස්ටීනුයි දැනට විවාහ වී අවුරුදු 36ක් වන අතර ඒ කාලය අප කැප කළේ දෙවිට ළං වීමට අන් අයට උපකාර කිරීමටයි