Skip to content

පටුනට යන්න

යේසුස්ව බලන්න පැමිණි පිරිසට මඟ පෙන්වූ තාරකාව කුමක්ද?

යේසුස්ව බලන්න පැමිණි පිරිසට මඟ පෙන්වූ තාරකාව කුමක්ද?

යේසුස්ව බලන්න පැමිණි පිරිසට මඟ පෙන්වූ තාරකාව කුමක්ද?

නත්තල හා බැඳුණු කතන්දරවල එම තාරකාව ගැන සඳහන් වන්නේ අහසේ දිස් වූ ශුභ ලකුණක් ලෙසයි. එය ඇත්තටම එසේද?

▪ නැඟෙනහිර දිශාවේ සිට පැමිණි පිරිසක් අසාමාන්‍ය තාරකාවක් දුටු බවත් එය ළදරු යේසුස් සිටි ස්ථානය වෙත ඔවුන්ට මඟ පෙන්වූ බවත් බයිබලයේ මතෙව් පොතේ සඳහන් වෙනවා. (මතෙව් 2:1-12) ජනප්‍රිය නත්තල් කතන්දරවලද එම තාරකාව විස්තර කර තිබෙන්නේ අහසේ දිස් වූ ශුභ ලකුණක් ලෙසයි. එමෙන්ම එක් පොතක එම තාරකාව විස්තර කර තිබෙන්නේ “යේසුස්ව ගෞරවයට පත් කිරීමට හා තම පුත්‍රයා ලෙස ඔහුව පිළිගැනීමට දෙවි විසින් කලින්ම සැලසුම් කළ දෙයක් ලෙසයි.” නත්තල් ගීතිකාවල පවා එම තාරකාව ගැන ගායනා කරනවා. ඇත්තටම එම තාරකාව කුමක්ද?

සමහරුන් පවසන්නේ එය අහසේ දිස් වූ සාමාන්‍ය වස්තුවක් කියායි. එමෙන්ම විශාරදයන් ගණනාවක් පවසන්නේ එය ග්‍රහලෝක කිහිපයක් එක ළඟින් ගමන් කිරීමෙන් ඇති වූ ආලෝකයක් කියායි. කෙසේනමුත් එක් බයිබල් ශබ්දකෝෂයක් පෙන්වා දෙන්නේ “එම ආලෝකය ‘තාරකාවක්’ ලෙස හැඳින්විය නොහැකි බවයි.” ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ග්‍රහලෝක කිහිපයක් එකිනෙකට ළඟින් ගමන් කළා නම් එක් ආලෝකයක් පමණක් නොව එවන් ආලෝක කිහිපයක් එක විට දිස් විය යුතු බවයි. තවත් අය පවසන්නේ එදා අහසේ දිස් වූයේ වල්ගා තරුවක් හෝ තාරකාවක් පිපිරී යෑමෙන් ඇති වූ ආලෝකයක් විය හැකි බවයි. නමුත් පුද්ගලයෙකුව යම් නිශ්චිත නගරයක ඇති නිවසකට මඟ පෙන්වීම සඳහා එම නිවසට ඉහළින් නතර වීමට ඉහත කී සිද්ධීන් කිසිවකට නොහැකියි.

එය නිකම්ම ස්වභාවික සිද්ධියක්ද නැත්නම් දෙවි විසින් මඟ පෙන්වූ දෙයක්ද? ඊට පිළිතුරු සඳහා මෙම තොරතුරු සලකා බලන්න. යේසුස්ව බලන්න පැමිණි අය විද්වතුන්වත් රජවරුන්වත් නොවෙයි. ඒ වෙනුවට ඔවුන්ව බයිබලයේ හඳුන්වන්නේ “ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්” ලෙසයි. ජ්‍යෝතිඃ ශාස්ත්‍රය හදාරන අයව දෙවිට ඉතා පිළිකුල්. (ද්විතීය කතාව 18:10-12) එම තාරකාව “දැක” තිබුණේ ඔවුන් පමණයි යන කාරණයද සැලකිල්ලට ගන්න. එය සැබෑ තාරකාවක් වූවා නම් එය සියලුදෙනාටම දැකගන්න තිබුණා. හෙරෝද් රජු පවා තාරකාව ගැන ඔවුන්ගෙන් විමසුවේ එය ඔහුද නොදුටු නිසයි. මෙම තාරකාව මුලින්ම ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ව මඟ පෙන්වූයේ යෙරුසලමටයි. එනම් ගැලවුම්කරු වූ යේසුස්ව ඝාතනය කිරීමට මාන බලා සිටි හෙරෝද් රජු වෙතටයි. ඉන්පසුව යේසුස්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල කරමින් එම තාරකාව ඔවුන්ව යේසුස් සිටි බෙත්ලෙහෙමට මඟ පෙන්නුවා.

ඉහත තොරතුරුවලින් පැහැදිලි වන්නේ එම තාරකාවට මඟ පෙන්වූයේ දුෂ්ට බලවේගයක් වන සාතන් නමැති යක්ෂයා බවයි. ඔහු “බොරු ලකුණු සහ පෙර නිමිති” පෙන්වන බව බයිබලයේ සඳහන් වෙනවා. (2 තෙසලෝනික 2:9) සාතන්ට අවශ්‍ය වුණේ දෙවිගේ පුත්‍රයාව විනාශ කිරීමටයි. ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට පමණක් “තාරකාවක්” බඳු යමක් පෙනෙන්න සලස්වා එය යේසුස් සිටින ස්ථානයට මෙහෙය වන්න ඔහුට හැකි බව සැබෑ ක්‍රිස්තියානීන් දන්නවා. යෙහෝවා දෙවිගේ අරමුණු වෙනස් කිරීමට කිසිවෙකුට බැහැ. ළදරු යේසුස්ව ඝාතනය කිරීමට වූ සාතන්ගේ මිනී මරු වෑයම අසාර්ථක වුණේ ඒ නිසයි.

දෙවි ආශ්චර්යවත් ලෙස තම පුත්‍රයාගේ උපත දැනුම් දුන් බවද සැලකිල්ලට ගන්න. යේසුස් උපත ලැබූ රාත්‍රියේදීම දේවදූතයෙක් එඬේරුන් පිරිසකට පෙනී “ගැලවුම්කරුවෙක්” ගැන ඔවුන්ට දැනුම් දුන් අතර ඒ ස්ථානයට ඔවුන්ව මඟ පෙන්නුවා. ඉන්පසුව ඔහු සමඟ තවත් දේවදූතයන් විශාල පිරිසක් පෙනී සිට දෙවිට ප්‍රශංසා කරන්න පටන්ගත්තා. (ලූක් 2:8-14) යෙහෝවා දෙවි තම පුත්‍රයාගේ උපත දැනුම් දීමට යොදාගත්තේ එම තරුව නොව දේවදූතයන්වයි.