“කිසිවිටක කනස්සලු නොවන්න”
“කිසිවිටක කනස්සලු නොවන්න”
“මාස ගණනක් යනතුරුම අපිට කිසිම ආදායමක් තිබුණේ නැහැ. ඒ නිසා අපේ දරුවෝ දෙන්නා වෙනුවෙන් බැංකුවේ ඉතුරු කරලා තිබුණ හැම සතයක්ම අපිට වියදම් වුණා.”
● මම කාලයක් ඉන්දියාවේ ඈත පිටිසර ප්‍රදේශයක පාසැලක් පවත්වාගෙන ගියා. ඒ කාලේ ළමයි 500ක් විතර ඉගෙනගත්තා. මට හොඳ ආදායමකුත් ලැබුණා. නගරයේ නම ගිය පාසැලකට ළමයින්ව ඇතුළත් කරගන්න පටන්ගත්තෙත් ඒ කාලෙදිම තමයි. අපේ ගමේ ළමයින්ට ඒ පාසැලට ඇතුල් වෙන්න අවස්ථාව ලැබුණා විතරක් නෙවෙයි ප්‍රවාහණ පහසුකම්ද ඔවුන් ලබා දුන්නා. ඒ නිසා අපේ පාසැලෙනුත් ළමයින් වැඩි පිරිසක් ඒ පාසැලට යන්න පටන්ගත්තා. අන්තිමට ඉතුරු වුණේ ළමයින් 60ක් වගේ සංඛ්‍යාවක්. ඒ තත්වය තවත් නරක අතට හැරුණේ පාසැලේ නිලධාරියෙක් මට මුදල් වංචාවක් කළ නිසයි. ඔහු මට තාමත් ණයයි. ඒ ප්‍රශ්නත් එක්ක පාසැලේ කාර්යය මණ්ඩලයට වැටුප් ගෙවන්නත් තිබුණ නිසා මම ලොකු ආර්ථික ගැටලුවකට මුහුණ දුන්නා.
ඒ නිසා පවුලේ අයත් එක්ක එකතු වෙලා මම ඒ ගැන කතා කළා. ඉන්පසුව අපි හැමදෙනාම යේසුස්ගේ උපදෙසට අනුව අපේ ‘ඇස වෙනතකට යොමු නොකිරීමට’ දැඩි වෑයමක් දැරුවා. (මතෙව් 6:22, 25) ඒ කියන්නේ අපි සමහර දේවල් පරිත්‍යාග කරමින් අපේ ජීවිතය සරල කරගන්න උත්සාහ කළා. ඉන්ධන හා නඩත්තු ගාස්තු වැඩි නිසා අපි ටික කාලයකට කාර් එකේ ගමන් බිමන් යන එක නතර කළා. කෑමවලට යන වියදම අඩු කරගන්න ඕනේ නිසා අපි හවස් වෙලා පොළට ගියා. සාමාන්‍යයෙන් ඒ වෙලාවට එළවළුවල ගාන අඩුයි. ඒ විතරක් නෙවෙයි, අපේ දිනපතා ආහාර වේලේ ව්‍යාංජන ගණන පවා අපි අඩු කළා.
අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. ඒ නිසා අපි අපේ සෙසු සාමාජිකයන් සමඟ යෙහෝවා දෙවි ගැන උගන්වන රැස්වීම්වලට සහභාගි වෙනවා. (හෙබ්‍රෙව් 10:25) එය අපේ ජීවිතයේ වැදගත් අංගයක්. අපිට කොයි තරම් ආර්ථික අමාරුකම් තිබුණත් දුර ගෙවාගෙන එවැනි රැස්වීම්වලට සහ සමුළුවලට යන එක අතපසු නොකරන්න අපි දැඩි අධිෂ්ඨානයක් ගත්තා. අන් අයට බයිබලය ගැන උගන්වන්න අපිට දුර ඈත පවා යන්න සිදු වෙනවා. එතකොට අපි කාර් එක වෙනුවට අපේ ස්කූටරය පාවිච්චි කරනවා. හැබැයි ඒකෙන් එක පාරට යන්න පුළුවන් දෙන්නෙකුට විතරයි.
ඒ වුණත් අපි දෙවිට කරන ඒ සේවය අඩු කරන්න ඒක හේතුවක් කරගත්තේ නැහැ. මගේ භාර්යාවත් දුවත් පෙරට වඩා වැඩියෙන් ඒ සේවයේ හවුල් වෙන්න පටන්ගත්තා. සමහර දවස්වලදී දෙවි ගැන ඉගෙනගන්න කැමති අයව හමු වෙන්න කිලෝමීටර හත අටක් විතර දුර ඇවිදගෙන යන්න ඒ දෙන්නට සිද්ධ වෙනවා. මමත් පුතා එක්ක ඒ සේවයේ වැඩියෙන් හවුල් වෙන්න පටන්ගත්තා.
මේ වෙද්දී නම් අපේ ආර්ථික තත්වය ටිකක් විතර හොඳ අතට හැරිලා තියෙනවා. නමුත් අපි මුහුණ දුන් ඒ කටුක අද්දැකීමෙන් වැදගත් පාඩමක් ඉගෙනගත්තා. එනම් අපිට තියෙන ධන සම්පත් කෙරෙහි අනවශ්‍ය අවධානයක් නොදෙන්න අපි ඉගෙනගත්තා. ඒ වගේම අද තිබී හෙට නැති වෙන ධන සම්පත් ගැන කනස්සලු නොවෙන්නත් අපි ඉගෙනගත්තා. ඒ දුෂ්කර කාලයේදී විශේෂයෙන්ම බයිබලයේ ගීතාවලිය 55:22හි සඳහන් පොරොන්දුව අපිට විශාල දිරිගැන්වීමක් වුණා. එහි පවසන්නේ මෙසේයි. “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය. ඔහු කිසිදාක ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ නොදෙන්නේය.” බයිබලයේ සඳහන් එම වචන මොන තරම් ඇත්තද කියා අපි මුහුණ දුන් ඒ දුෂ්කර කාලයේදී අපිට හොඳින්ම වැටහුණා.—සපයන ලද්දක්.