එදා හිට්ලර්ගේ ආරක්ෂක භටයෙක් වූ මා . . .
එදා හිට්ලර්ගේ ආරක්ෂක භටයෙක් වූ මා . . .
පැවසුවේ ගෝට්ලීප් බර්න්හාර්ඩ්ට්
මම සේවය කළේ වෙවෙල්ස්බර්ග් මාලිගාවේ හිට්ලර්ගේ උසස් ආරක්ෂක නිලධාරියෙක් ලෙසයි. ඒ කාලයේදී එනම් 1945 අප්‍රියෙල් මාසයේදී ගාල් කඳවුරක සිටි සිරකරුවන් පිරිසක්ව මරා දමන්න කියා මට අණක් ලැබුණා. ඒ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්වයි. ලැබුණු අණක් නොසලකා හරින්න මා වැනි නිලධාරියෙකුට කොහෙත්ම බැහැ. නමුත් එම අණට කීකරු වෙනවාද නැද්ද කියා තීරණයක් ගන්න මට සිද්ධ වුණා. ඒ ඇයි කියා මම පැහැදිලි කරන්නම්.
මම ඉපදුනේ 1922 ජර්මනියේ රයින් ගංඟාව අසල කුඩා ගම්මානයකයි. ඒ ගමේ හැමෝම වගේ රෝමානු කතෝලික භක්තිකයන් වුණත් අපි අයිති වුණේ 17වන සියවසේ පිහිටුවනු ලැබූ එක්තරා ආගමික කණ්ඩායමකටයි. මට වයස අවුරුදු 11දී එනම් 1933දී හිට්ලර් බලයට පත් වුණා. ඊට වසර කිහිපයකට පසු මම අධ්‍යාපන කටයුතුවලට හා ක්‍රීඩාවට දක්ෂතා පෙන්වූ නිසා සැතපුම් සිය ගණනක් දුරින් පිහිටි පෝලන්තයේ උසස් පාසැලකට මාව තෝරාගත්තා. එහිදී මට නාට්සි මූලධර්ම ගැන තදින්ම කා වැද්දුවා. එමෙන්ම ගෞරවය, උද්‍යෝගය, පක්ෂපාතකම, කීකරුකම, වගකීමේ හැඟීමෙන් කටයුතු කිරීම හා ජර්මනියේ උරුමයට ගරු කිරීම යන කාරණාද අපට ඉගැන්නුවා.
දෙවන ලෝක මහා යුද්ධය
දෙවන ලෝක මහා යුද්ධය පටන්ගත් කාලයේදී එනම් 1939දී මාව හිට්ලර් යටතේ සිටි විශේෂ නිලධාරීන්ගේ ඒකකයට ඇතුළත් කළා. එම ඒකකය මගින් ආණ්ඩුවේ නිලධාරීන්ට පෞද්ගලික ආරක්ෂක භටයන්ව සැපයුවා. එමෙන්ම වෙනත් විශේෂ මෙහෙයුම් සඳහාද ඔවුන්ව යොදාගත්තා. ඒ කාලේදී මම බෙල්ජියම, ප්‍රංශය, නෙදර්ලන්තය, රුමේනියාව, බල්ගේරියාව හා ග්‍රීසිය යන රටවල සිදු වූ සටන් සියැසින් දැක්කා. දිනක් මම බල්ගේරියාවේ ඉන්න කාලේ හමුදාවට අයත් පූජකයෙක් මෙහෙය වූ පූජාවකට සහභාගි වුණා. එදා මට මෙහෙම හිතුණා. ‘සතුරු හමුදා භටයනුත් මේ වගේම මෙහෙයන් පවත්වනවා නේද?’ ඒ නිසා ‘දෙවි යුද්ධයට ආශීර්වාද කරනවාද?’ ‘දෙවි යුද්ධවලදී පැති ගන්න කෙනෙක්ද?’
පසුව උසස් තනතුරු ලබාගැනීම සඳහා යෞවනයන්ව පුහුණු කරන පාසැලකට මාව තෝරාගත්තා. ඉන්පසුව මාව බර්ලින් නුවර තිබෙන මූලස්ථානයේ ආරක්ෂක කටයුතුවල යෙදෙව්වා. එහිදී දිනක් හිට්ලර් ඉහළ පෙළේ දේශපාලනඥයෙකුට ඉතාමත් පහත් විදියට ප්‍රසිද්ධියේ බැණවදිනවා මම දැක්කා. ‘ඒක නම් හරිම පහත් හැසිරීමක්’කියලා මට හිතුණත් ඒක කියන්න තරම් ධෛර්යයක් මට තිබුණේ නැහැ.
මට ඉන්ව මුණ ගැසුණෙත් බර්ලින්වලදීයි. ඇය සේවය කළෙත් එම මූලස්ථානයේමයි. අපි විවාහ වීමට ආසන්නව සිටියත් හදිස්සියේම මට රුසියාවට පැවරුමක් ලැබුණා. සීතලට අඳින ඇඳුම්වත් අපිට හරි හැටි තිබුණේ නැහැ. අපි පත් වුණ තත්වය ගැන අපිට පුදුම හිතුණා. වර්ෂ 1941/1942 අතර කාලයේ පැවති ශීත සෘතුව නිසා උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 30 දක්වා පහත බැස්සා. පළමු සහ දෙවන ලෝක මහා යුද්ධ කාලයේදී හමුදා භටයන්ට පිරිනමන උසස්ම පදක්කම මට දෙවරක්ම ලැබුණේ ඒ කාලයේදීයි. එම යුද්ධයේදී මට බරපතල තුවාල සිදු වූ නිසා මාව නැවතත්
ජර්මනියට එව්වා. ඉන්පසුව මම 1943දී ඉන් සමඟ විවාහ වුණා.මට ඊළඟ පැවරුම ලැබුණේ බැවේරියන් කඳුකරයේ පිහිටා තිබුණු ඔබසැල්ස්බර්ග් මූලස්ථානයටයි. එස්. එස්. නිලධාරීන්ගේත් උසස් නිලධාරියා වන හෙයින්රිච් හිම්ලර්ද සිටියේ එම ස්ථානයේයි. ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වන ෆේලික්ස් කර්ස්ටන්ගෙන් ප්‍රතිකාර ලබාගැනීමට ඔහු මට අවස්ථාව ලබා දුන්නා. කර්ස්ටන්ට බර්ලින් නුවර කිට්ටුවෙන් විශාල වතුයායක් තිබෙන බව මම පසුව දැනගත්තා. යුද්ධය අවසන් වෙමින් තිබූ කාලයේදී ළඟපාත තිබූ කඳවුරක සිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව එම වතුයායේ වැඩට එවන්න කියා කර්ස්ටන් හිම්ලර්ගෙන් ඉල්ලීමක් කළා. ඔහු ඊට එකඟ වූ අතර කර්ස්ටන් සාක්ෂිකරුවන්ට ඉතාම ගෞරවනීය ලෙස සැලකුවා. ස්වීඩනයේදී කර්ස්ටන් ළඟ සේවය කළ සාක්ෂිකරුවෙක් නිතරම වාගේ කර්ස්ටන්ගේ සූට්ස්කේස් එකේ මුරටැඹ කලාපයක් දැම්මා. ඔහු එසේ කළේ ජර්මනියේ සිටින සාක්ෂිකරුවන්ට එය ලබා දීමටයි. *
මට සාක්ෂිකරුවන්ව හමු වූ ආකාරය
වර්ෂ 1944දී හිම්ලර් විසින් මාව පැඩර්බෝන් නගරයේ වෙවෙල්ස්බර්ග් මාලිගාවේ අණ දෙන නිලධාරියාගේ සහයක හැටියට පත් කළා. එය අවුරුදු 400ක් පමණ පැරණි මාලිගාවක්. එම මාලිගාව රහස් සැලසුම් කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට හිම්ලර් සැලසුම් කළා. එය අසල නිඩර්හේගන් කියා කුඩා සිර කඳවුරක් තිබූ අතර එහි විශේෂ සිරකරුවන් පිරිසක් රඳවා තිබුණා. ඒ එදා බයිබල් ශිෂ්‍යයන් කියා හැඳින් වූ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්.
එහි සිටි සිරකරුවෙක් වන අර්න්ස්ට් ස්පෙක්ට් මට සාත්තු කිරීමට කිහිප වතාවක්ම පැමිණියා. ඔහු එන විට “සුභ උදෑසනක් මහත්මයා” කියා පවසනවා.
“ඔයා ‘හිට්ලර්ට ජය වේවා!’ කියලා කියන්නේ නැත්තේ ඇයි” කියලා දවසක් මම ඔහුගෙන් ඇහුවා.
ඔහු බොහොම කල්පනාකාරීව මෙහෙම කිව්වා. “ඔය මහත්මයා ක්‍රිස්තියානි පවුලක කෙනෙක්ද?”
මම කිව්වා “ඔව්, මම ක්‍රිස්තියානි කෙනෙක් තමයි” කියලා.
ඊටපස්සේ ඔහු මෙහෙම කිව්වා. “එහෙනම් මහත්මයා දන්නවා ඇති බයිබලයේ පොරොන්දු කරලා තියෙන විදිහට ගැලවීම ලැබෙන්නේ එකම එක කෙනෙක් තුළින් විතරයි කියලා. ඒ යේසුස් ක්‍රිස්තුස්ගෙන්. ‘හිට්ලර්ට ජය වේවා!’ කියලා අපි කියන්නේ නැත්තේ ඒ නිසයි.”
එහෙම කියලා අපි දෙන්නා මුහුණට මුහුණ බලාගත්තා. ඊටපස්සේ මම ඔහුගෙන් මෙහෙම ඇහුවා. “එතකොට ඇයි ඔයා හිරේ ඉන්නේ?”
“මම බයිබල් ශිෂ්‍යයෙක් නිසයි” කියලා ඔහු කිව්වා.
අර්න්ස්ට් එක්කයි අපේ කොන්ඩේ කපන්න ආපු එරික් නිකොලයිසිග් කියන සාක්ෂිකරුවා එක්කයි කරපු සාකච්ඡාවලට මගේ හිත ගියා. ඒ වගේ සාකච්ඡා අපිට තහනම් කරලයි තිබුණේ. මගේ අණ දෙන නිලධාරියාත් ඒ ගැන සාකච්ඡා කරන්න එපා කියා මට නියෝග කළා. නමුත් ජර්මනියේ සිටින ක්‍රිස්තියානි යයි කියා ගන්නා පල්ලි යන මිලියන ගණන් අය සාක්ෂිකරුවන් වගේ
කටයුතු කළා නම් යුද්ධ කොහෙත්ම ඇති වෙන්නේ නැහැයි කියලා මට හිතුණා. ‘සාක්ෂිකරුවන් කියන්නේ පීඩා කරන්න ඕන සෙනඟක් නෙවෙයි අගය කරන්න වටින සෙනඟක්.’ඒ කාලේදීම වගේ එක දවසක් අසරණ අම්මා කෙනෙක් දුරකථන ඇමතුමක් දීලා හදිස්සි ශල්‍යකර්මයක් සඳහා ඇගේ පුතාව ඉක්මනින්ම රෝහලට ගෙන යන්න කියා ඉල්ලා සිටියා. මම ඉක්මනින් ඒ සඳහා පියවර ගත්තත් අණ දෙන නිලධාරියා ඒක ප්‍රතික්ෂේප කළා. ඊට හේතුව වුණේ එම දරුවාගේ පියා 1944 ජූලි මාසයේදී හිට්ලර්ව ඝාතනය කිරීමට සම්බන්ධ අයෙක් බව සැක කිරීමයි. පසුව ඔහුව ඝාතනය කළා. එම ශල්‍යකර්මය නොකළ නිසා දරුවා මිය ගියා. ඒ ගැන මට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. නමුත් ඒ සිද්ධිය අදටත් මගේ හිතට වධ දෙනවා.
නාට්සි පාලනය තුළින් ජීවිතය ගැන වෙනම අදහසක් ලබා දුන්නත් ඒ වෙද්දී විසි ගණන්වල පසු වූ මම ජීවිතයේ සැබෑ අරුත තේරුම්ගත්තා. ඒ කාලය වෙද්දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැනත් ඔවුන්ගේ ඉගැන්වීම් ගැනත් මා තුළ විශාල අගයක් ඇති වෙන්න පටන්ගත්තා. මගේ ජීවිතයේ වැදගත්ම තීරණ ගැනීමට විශාල බලපෑමක් වුණේ එයයි.
වර්ෂ 1945 අප්‍රියෙල් මාසයේදී ජර්මනියට විරුද්ධව මිත්‍ර හමුදා පැමිණෙද්දී මගේ අණ දෙන නිලධාරියා වෙවෙල්ස්බර්ග්වලින් පලා ගියා. මාලිගාව විනාශ කරන්නත් එහි කඳවුරේ සිටි සිරකරුවන්ව මරා දමන්නත් හිම්ලර්ගේ අණ රැගත් හමුදා කණ්ඩායමක් එහි පැමිණියා. ඝාතනය කළ යුතු සියලුදෙනාගේ නම් ඇතුළත් ලැයිස්තුවක් ඒ අසල කඳවුරක සිටි නිලධාරියෙක් මට දුන්නා. ඒ සියලුදෙනාම සාක්ෂිකරුවන්. ඒ ඇයි? නාට්සිවරුන් විසින් කොල්ල කෑ කලා කෘතීන් සඟවා තිබෙන ගොඩනැඟිලි ගැන සාක්ෂිකරුවන් දන්නා බව පවසමින් ඔවුන් බොරු චෝදනා කළා. ඒ නිසා ඔවුන්ව මරා දමන්න කියා මට අණ ලැබුණා. මම කරන්න ඕනේ මොකක්ද කියලා මට හිතාගන්නවත් බැරි වුණා.
මම කඳවුරට ඇවිල්ලා එහි අණ දෙන නිලධාරියාට මෙහෙම කිව්වා. “ඇමරිකානු හමුදාව ළඟ ළඟම එනවා. ඒ නිසා ඔයත් අනික් නිලධාරිනුත් ඉක්මනින්ම මෙහෙන් පිට වෙන එක නුවණට හුරු නැද්ද?” එහෙම කියපුගමන් ඔවුන් එතැනින් පලා ගියා. ඊට පස්සේ එස්. එස්. භටයෙක් කරන්න හිතන්නේවත් නැති දෙයක් මම කළා. සාක්ෂිකරුවන්ව ඝාතනය කරන්න කියා මට ලැබුණු අණට මම අකීකරු වුණා!
ඔවුන්ගේ සහෝදරයෙක් වීම ගෞරවයක්
යුද්ධය අවසන් වුණාට පසුව මගේ බිරිඳ වන ඉන් හා මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ උනන්දුවෙන් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඔගස්ටේ නමැති සහෝදරිය ඇතුළු තවත් අය අපට දියුණු වෙන්න උදව් කළා. යුද්ධයෙන් මට සිදු වූ තුවාල හා යුද්ධය අතරතුර මා ලැබූ අමිහිරි අද්දැකීම් නිසා මට යම් අපහසුතාවන්ට මුහුණ දෙන්න සිදු වුණත් 1948දී මමත් 1949දී මගේ බිරිඳත් යෙහෝවා දෙවිට කැප වී බව්තීස්ම වුණා.
වර්ෂ 1950 ගණන්වල යුද්ධය පැවති කාලයේ වෙවෙල්ස්බර්ග්වල සිටි සමහර සාක්ෂිකරුවන්ට නිදහස ලැබුණා. ඒ අතර අර්න්ස්ට් ස්පෙක්ට්, එරික් නිකොලයිසිග් හා මැක්ස් හොල්වෙග් කියන සහෝදරයාත් සිටියා. තම ජීවිත ගැනවත් තකන්නේ නැතුව යෙහෝවා දෙවි ගැන මට සාක්ෂි දැරූ ඒ නිර්භීත මිනිසුන්ගේ සහෝදරයෙක් වීමට ලැබීම මම සලකන්නේ ගෞරවයක් ලෙසයි. වෙවෙල්ස්බර්ග්වල සේවය කළ ලේකම්වරියද සාක්ෂිකරුවන් කටයුතු කළ ආකාරය දැකීම නිසා ඇයද යෙහෝවා දෙවිට ඇගේ ජීවිතය කැප කළා.
මම නැවත හැරිලා බලද්දී ‘මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ [සාතන් නමැති යක්ෂයා] බලපෑමට යටත්ව තිබෙන බව’ තේරුම්ගන්න ඕනෑ තරම් සාක්ෂි තියෙනවා. (1 යොහන් 5:19) නමුත් මම ඒ කාලේ අද්දැකීම් අඩු, වෙනස් විදිහට හිතපු කෙනෙක් නිසා ඒක තේරුම්ගන්න බැරි වුණා. ඒ වගේම හිට්ලර් වැනි කෲර පාලකයෙකුට සේවය කිරීමත් යෙහෝවා දෙවිට සේවය කිරීමත් අතර මොන තරම් වෙනසක් තියෙනවාද කියලත් දැන් මට තේරෙනවා. මා කලින් සේවය කළ තැනැත්තාට ප්‍රශ්න කිරීමකින් තොරව කීකරු වීමට සිදු වුණා. නමුත් යෙහෝවා දෙවිට අවශ්‍ය ඔහු මොන වගේ කෙනෙක්ද ඔහුගේ අරමුණු මොනවාද කියා බයිබලයෙන් ඉගෙනගෙන ප්‍රේමයෙන් පෙලඹී ඔහුට සේවය කරනවාටයි. (ලූක් 10:27; යොහන් 17:3) ඒ නිසා මම මැරෙන තෙක්ම සේවය කරන්නේ යෙහෝවා දෙවිට විතරයි.
[පාදසටහන]
^ 9 ඡේ. වර්ෂ 1972 ජූලි 1 මුරටැඹ කලාපයේ 399වන පිටුව බලන්න. සිංහලෙන් නැත.
[19වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1943 පෙබරවාරි මාසයේ අපි විවාහ වූ දා
[19වන පිටුවේ පින්තූරය]
රහස් සැලසුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට සැලසුම් කළ වෙවෙල්ස්බර්ග් මාලිගාව
[20වන පිටුවේ පින්තූරය]
මගේ භාර්යාව වන ඉන් සමඟ