Skip to content

පටුනට යන්න

කුරුමානම නොවරදින වර්ණවත් පිළිහුඩුවා

කුරුමානම නොවරදින වර්ණවත් පිළිහුඩුවා

කුරුමානම නොවරදින වර්ණවත් පිළිහුඩුවා

නිල් පාටින් දිදුලන මේ පක්ෂියා ඊයක් මෙන් ජලය තුළට කඩාවැද නැවතත් ගුවනට ඉගිළෙන්නේ තම හොටෙහි මත්ස්‍යයෙකුවත් රඳවාගෙනයි. ශරීරයට සාපේක්ෂව විශාල හිසක් හා හොටක් ඇති වර්ණවත් පිළිහුඩුවාව අප කාගෙත් මතකයට එන්නේ එලෙසයි. සියලුම පිළිහුඩුවන් මසුන්ව ආහාරයට ගන්නා බව අප සිතුවත් එය එසේ නොවෙයි. සමහර වර්ග ප්‍රිය කරන්නේ කටුස්සන්, සර්පයන් හා කකුළුවන් වැනි සතුන්ටයි. එමෙන්ම ගුවනේ සිටින කෘමීන්ව ආහාරයට ගැනීමටද උන් කැමතියි. ලොව පුරා සිටින පිළිහුඩු විශේෂ අතරින් ජලාශ්‍රිතව ජීවත් වන්නේ උන්ගෙන් තුනෙන් එකක් වැනි සංඛ්‍යාවක් පමණයි. උන්ගේ වාසභූමි හැටියට නිවර්තන ඝන වනාන්තර, කොරල් දූපත් හා කාන්තාර සඳහන් කළ හැකියි. කාන්තාර ප්‍රදේශවල වෙසෙන පිට රතු පිළිහුඩු විශේෂය ඕස්ට්‍රේලියාවේ අභ්‍යන්තරයට වෙන්න දැකගත හැකියි.

පිළිහුඩුවන් මසුන් දඩයම් කිරීමට උපන් හපන්නු. සාමාන්‍යයෙන් මාළුවෙක් ජලයේ සිටින විට ඌ සිටින නිවැරදිම ස්ථානය ගොඩබිමේ සිට නිෂ්චය කරගැනීම අපහසුයි. නමුත් මෙම පක්ෂියාට නම් ඒ සඳහා සහජ හැකියාවක් තිබෙනවා. ඒ නිසා අසල අත්තක සිට ඉතා ඉවසිල්ලෙන් ගොදුර වෙත කුරුමානම් අල්ලන මේ පක්ෂියා එකවරම තටු ගසමින් තම වේගය වැඩි කරගෙන ගොදුර වෙත කඩාවදියි. මාළුවා සිටින්නේ ජලය මතුපිටට ආසන්නයේ නම් ක්ෂණිකව ඌව අල්ලාගනියි. එසේ නොවන විටදී තම අත්තටු පිටුපසට කරගෙන ඊයක් මෙන් වේගයෙන් ජලය තුළට කිමිදෙයි. එක් පොතක ඒ ගැන මෙසේ සඳහන් වුණා. “තම ඉලක්කය වෙතට නිවැරදිවම ගමන් කිරීමට උන්ට ඇති හැකියාව ඇත්තෙන්ම සුවිශේෂයි.” උන්ට එකවර එක් මාළුවෙකුට වඩා අල්ලාගැනීමේ හැකියාවක්ද තිබෙනවා! සමහර ශීත ප්‍රදේශවල ගංඟා මත තිබෙන තුනී අයිස් තට්ටු පවා පසාරු කරගෙන යමින් ගොදුරු සොයන පිළිහුඩුවන්ව සමහරුන් දැක තිබෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සිටින නිල් පිළිහුඩුවන්ද කුඩා ජලජ ජීවීන්ව ගොදුරු කරගන්නා බව වාර්තා වෙනවා.—The Life of Birds.

කැදලි තැනීම

සහකාරියක් සෙවීමේදී උන් හැසිරෙන ආකාරය ඇත්තෙන්ම සිත් ඇදගන්නාසුලුයි. සමහර විශේෂ ඒ සඳහා කරන්නේ ඇය පසුපස වේගයෙන් පියඹා යෑමයි. ඉන්පසු ඌ තම කූඩු තැනීමේ හැකියාව ඇයට විදහා පෙන්වනවා. එමෙන්ම තමන් ඇයට සුදුසුම සහකරු බව ඔප්පු කිරීම සඳහා කිරිල්ලියට රසවත් අහරක් කැවීමද එහි තවත් අංගයක්.

අනිකුත් කුරුල්ලන්ට වඩා පිළිහුඩුවන් සාදන කූඩු වෙනස්. සමහර විශේෂ ඒ සඳහා ගං ඉවුරක හෝ අගලක උමඟක් හාරාගන්නවා. එසේ නැත්නම් හාවන් විසින් හෑරූ බෙන හෝ ගස් බෙන තෝරාගන්නවා.

උන් ගං ඉවුරුවල කූඩු හැටියට ගුල් සාදාගන්නේ අඩි දෙකක් හෝ තුනක් දිග උමඟක් හෑරීමෙනුයි. ඒ සඳහා උන් වේගයෙන් පැමිණ ගං ඉවුරේ තම හොට හප්පමින් කුහරය සාදන්න පටන්ගනියි. ඒ නිසා ආරම්භයේදී නම් එය පහසු කාර්යයක් නොවෙයි. ඉන් උන්ට හානි සිදු විය හැකි අතර මරණයට පවා පත් විය හැකියි. නිව් ගිනියාවේ නිවර්තන වැසි වනාන්තරවල සහ ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ වෙසෙන පාරාදීස පිළිහුඩුවා බොහෝවිට වේ හුඹස් හාරා තම කූඩුව තනනවා. පෙනෙන විදිහට වේයන් ඒ ගැන කලබලයට පත් වන්නේ නැහැ. පිළිහුඩුවන් කූඩුව අත්හැර ගිය පසු නැවතත් උන් එහි අලුත්වැඩියා කටයුතු පටන්ගනියි.

පැටවුන් රැකබලා ගැනීමද උන්ට දුෂ්කර කාර්යයක්. එක් ජෝඩුවක් තමන්ගේ ආහාරවලට අමතරව තම පැටවුන් පස්දෙනා සඳහා දිනකට මාළුන් 60ත් 70ත් අතර සංඛ්‍යාවක් ගෙන ආ බව අප්‍රිකාවේ එක් පුද්ගලයෙක් නිරීක්ෂණය කළා. එක් අවස්ථාවකදී පැටවුන් එළියට එන්න දින හතරකට කලින් කුරුලු මව මිය ගියත් පියා උන්ව හොඳින් රැකබලා ගත් බව වාර්තා වෙනවා. තවත් සමහර පිළිහුඩු විශේෂයන්වල සිටින වැඩුණු පැටවුන් තම දෙමාපියන් නැවත බිත්තර දමන විට ඒවා රැකීමටත් පැටවුන් පැමිණි පසු උන්ව රැකබලා ගැනීමටත් උපකාර කරනවා.

අයර්ලන්තයේ සිට සොලමන් දූපත් දක්වා

මල් පිළිහුඩු විශේෂයට අයත් පක්ෂීන් අයර්ලන්තයේ සිට යුරෝපයේ වයඹ දෙසට වෙන්නත් රුසියාවේ සිට සොලමන් දූපත්වල ගිනිකොන ප්‍රදේශය දක්වාත් දැකගත හැකියි. උන් වෙසෙන ප්‍රදේශ සමහර ඍතුවලදී අධික ශීතලක් පවතිනවා. ඒ නිසා කිලෝමීටර් 3,000ක් පමණ ඈත ප්‍රදේශවලට මොවුන්ද සංක්‍රමණය කරනවා. මල් පිළිහුඩුවන්, ගෝමර පිළිහුඩුවන් හා ළය සුදු මැදි පිළිහුඩුවන්ව ගලීල මුහුද හා යොර්දාන් ගඟ ආශ්‍රිතව වැඩි වැඩියෙන් දැකගත හැකියි. යේසුස්ද උන්ව හොඳින් නිරීක්ෂණය කළා කියා අපට සිතන්න පුළුවන්.  “අහසේ කුරුල්ලන් දෙස හොඳින් බලන්න” යන කොටුව බලන්න.

පිළිහුඩුවන් අතර ඕස්ට්‍රේලියාවේ වෙසෙන කුකබුරා විශේෂය නොදන්නා කෙනෙක් නැති තරම්. ඌ කෑගසන විට ගැඹුරු හඬින් “සිනාසෙනවා” හා සමාන ශබ්දයක් නිකුත් කරයි. අඟල් 17ක් පමණ දිග දුඹුරු පැහැති මෙම පිළිහුඩුවාට අඟල් තුනක් පමණ දිගැති ශක්තිමත් හොටක් තිබෙනවා. උන්ව ඕස්ට්‍රේලියාවේ ගෙවතුවල නිතර දෙවේලේ දැකගත හැකියි. උන් ඉතාමත් නිර්භීත දඩයම්කරුවන් වන අතර අඩි තුනක් පමණ දිග සර්පයින්වත් ආහාරයට ගනියි. *

පිළිහුඩුවන්ගේ ජීවිතවලට තර්ජන එල්ලවන ස්වභාවික හේතු කිහිපයක් තිබෙන බව ඇත්තයි. නමුත් ගංඟා ඇළදොළ දූෂණය වීම හා කැලෑ එළි කිරීම උන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩු වී යෑමට හේතු වී තිබෙනවා. එමනිසා තර්ජනයකට මුහුණ දීමට ආසන්න හා දැනටමත් තර්ජනයට ලක් වී තිබෙන පිළිහුඩු විශේෂ 25ක් පමණ නම් කර තිබෙනවා. ඒ එසේ වුණත් උන්ව සංරක්ෂණය කිරීමට ගන්නා උත්සාහයන් මගින් මෙම අලංකාර කුරුල්ලන්ගේ ජීවිත ආරක්ෂා වේවි යන්න අපගේ බලාපොරොත්තුවයි.

[පාදසටහන]

^ 11 ඡේ. නමුත් උතුරු ඕස්ට්‍රේලියාවේ වෙසෙන කුකබුරා විශේෂයට අයත් නිල් අත්තටු ඇති පිළිහුඩුවා “සිනාසෙන හඬක්” නිකුත් නොකරයි.

[17වන පිටුවේ කොටුව⁄පින්තූරය]

 “අහසේ කුරුල්ලන් දෙස හොඳින් බලන්න”

අවට පරිසරය හා සතුන් ගැන යේසුස් ඉතා හොඳින් නිරීක්ෂණය කළා. ඒ නිසා දෙවි පිළිබඳව ජනයාට ඉගැන්වීමේදී ඒවා ඉතා කදිම උදාහරණ ලෙස භාවිත කිරීමට ඔහුට හැකි වුණා. උදාහරණයකට ඔහු පැවසූ මේ දේ බලන්න. “අහසේ කුරුල්ලන් දෙස හොඳින් බලන්න. උන් බීජ වපුරන්නේවත් කපන්නේවත් ගබඩාවලට රැස් කරන්නේවත් නැහැ. නමුත් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් උන්ව පෝෂණය කරනවා. ඔබ උන්ට වඩා වටින්නේ නැද්ද?” (මතෙව් 6:26) මිනිසුන් කෙරෙහි වූ දෙවිගේ ප්‍රේමය පිළිබඳ එය මොන තරම් කදිම පාඩමක්ද!

[16වන පිටුවේ පින්තූරය]