Skip to content

පටුනට යන්න

විවාහ වීමේ අරමුණින් ඇසුරු කිරීම

විවාහ වීමේ අරමුණින් ඇසුරු කිරීම

බයිබලයෙන් පිළිතුරක්

විවාහ වීමේ අරමුණින් ඇසුරු කිරීම

ජූලි සහ ලී විවාහ වීමේ අරමුණින් ඇසුරු කරන දෙදෙනෙක්. එම සම්බන්ධයට කැළැලක් නොවන ආකාරයට හැසිරෙන්න ඔවුන් අධිෂ්ඨාන කරගෙන තිබුණා. * නමුත් එක් සන්ද්‍යාවක ඔවුන් දෙදෙනා හුදෙකලා වූ අවස්ථාවකදී ඔවුන්ගේ ලිංගික හැඟීම් වැඩි වෙන්න පටන්ගත්තා. කෙසේනමුත් වැරදි හැසිරීමකට යොමු වීමට පෙර ඔවුන් පියවි සිහියට පැමිණියා.

තමන්ට ආගමක් තිබෙන බව බොහෝදෙනා පවසනවා. එමෙන්ම සතිපතා හෝ මාස්පතා පවත්වන ආගමික රැස්වීම්වලට සහභාගි වීමෙන් ඔවුන් සෑහීමට පත් වෙනවා. නමුත් සැබෑ දෙවි, ඔහුට නමස්කාර කරන අයගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. එනම් තමන්ගේ ප්‍රතිපත්තිවලට එකඟව ඔවුන් ජීවත් වීමයි. ඒ ගැන යේසුස්ද පැවසුවේ දෙවිගේ අනුමැතිය තිබෙන්නේ ඔහුගේ ‘කැමැත්ත කරන්නන්ට’ පමණක් බවයි. (මතෙව් 7:21) ඒ අනුව විවාහ වීමේ අරමුණින් ඇසුරු කරන දෙදෙනෙකුද දෙවිට ප්‍රසන්න අයුරින් එම සම්බන්ධය පවත්වා ගෙන යෑම සුදුසුයි.

නමුත් වැරදි ආශාවන්ට ඉඩ නොදී දෙවිට ප්‍රසන්න අයුරින් ඔබගේ සම්බන්ධය පවත්වා ගෙන යෑමට ඔබට හැක්කේ කෙසේද? ඒ සඳහා පහත සඳහන් කරුණු හතර හොඳින් තේරුම්ගැනීම වැදගත්. (1) දෙවි තම ප්‍රතිපත්ති අපට දී ඇත්තේ අපගේම ප්‍රයෝජනය සඳහා බව තේරුම්ගැනීම. (2) මිනිසුන් හැටියට අපගේ ස්වභාවය තේරුම්ගැනීම. (3) ඔබ කරන ආශ්‍රයේදී නොවෙනස් වන සීමාවන් තබාගැනීම. (4) පෞද්ගලිකව දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීම. එම එක් එක් කරුණු ගැන අපි වෙන වෙනම සලකා බලමු.

අපගේම යහපත සඳහා වූ ප්‍රතිපත්ති

බයිබලයේ යෙසායා 48:17, 18හි මෙසේ සඳහන් වෙනවා. “මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නෙත් මමය. අනේ, ඔබ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම් ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළි මෙන්ද වන්නේය.”

ඇත්තෙන්ම දෙවි ඔහුගේ වචනය වන බයිබලය තුළින් ආඥාවන් හා ප්‍රතිපත්ති අපට දී ඇත්තේ අපගේම ප්‍රයෝජනය සඳහායි. (2 තිමෝති 3:16, 17) අපගේ නිර්මාතෘ අප ගැන සැලකිලිමත් වන බවටත් අපගේ ජීවිතයේ සෑම කාරණයකදීම අප ප්‍රීතිය හා සාර්ථකත්වය අද්දකිනවාට ඔහු කැමති බවටත් එය මනා සාක්ෂියක්. (ගීතාවලිය 19:7-10) ඇත්තටම ඔබ එම ප්‍රමිති පිළිපදිනවාද? එසේනම් ඔබ කටයුතු කරන්නේ ඥානවන්ත ආකාරයටයි.

ඔබේ ස්වභාවය තේරුම්ගන්න

අවංක මිතුරෙක් හා සමානව යෙහෝවා දෙවිද අපට අපගේ දුර්වලකම් පැහැදිලිව පෙන්වා දෙනවා. උදාහරණයකට දෙවි ඔහුගේ වචනය වන බයිබලයෙන් අපට අපගේ සිත ගැන මෙසේ අනතුරු අඟවා තිබෙනවා. “සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරය. එබැවින් ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටය. ඒ රැවටිලිකාර සිත තේරුම්ගත හැක්කේ කාටද?” (යෙරෙමියා 17:9) එමෙන්ම දෙවි මෙසේද පවසනවා. “තමාගේම සිත කෙරෙහි විශ්වාසය තබන්නා අඥානයෙකි. එහෙත් ප්‍රඥාවන්තව හැසිරෙන්නා අනතුරෙන් ගැලවෙන්නේය.”—හිතෝපදේශ 28:26.

එවන් ඇසුරක් පවත්වා ගෙන යන දෙදෙනෙක් තමන් ගැනම ඕනෑවට වඩා විශ්වාසය තබන බව හෙළි වන්නේ කුමකින්ද? එක් ක්‍රමයක් නම් මෙම ලිපියේ මුලින් සඳහන් කළ දෙදෙනා මෙන් ආශ්‍රය කිරීමට හුදෙකලා වීමයි. ඒ තුළින් වැරදි හැසිරීමක නියැලීමට ඔවුන් පෙලඹිය හැකියි. තවත් ක්‍රමයක් නම් දෙමාපියන් දෙන නැණවත් උපදෙස් නොසලකා හැරීමයි.

කෙසේනමුත් යෞවන කාලයේදී ලිංගික හැඟීම් ඉතා ප්‍රබලව පවතින නිසා ඒවා පාලනය කරගත යුතු බව දෙමාපියන් දන්නවා. එමනිසා ‘ප්‍රඥාවන්තව හැසිරෙන’ යෞවනයන් තම දෙමාපියන් ලබා දෙන නැණවත් උපදෙස් සුළු කරන්නේ නැහැ. තම දෙමාපියන් තමන්ට බොහෝ සෙයින් ආදරය කරන බව දරුවන් දන්නා නිසා ඔවුන් දෙන උපදෙස්වලට තමන් එතරම් ප්‍රිය නොකළත් ඒවාට කීකරු වෙයි. ඇත්තටම ඔබට වැඩියෙන්ම ප්‍රේම කරන්නේ ඔබේ දෙවි යෙහෝවායි. “ඔබේ ජීවිතයට අනවශ්‍ය ලෙස දුක් කරදර හා සිත්තැවුල් ඇති වීමට ඉඩ නොදෙන්න” කියා ඔහු පවසන්නේ ඒ නිසයි. (දේශනාකාරයා 11:9, 10) නමුත් එසේ කිරීමට ඔබට හැක්කේ කෙසේද? වැරදි ආශාවන්ට ඉඩ නොදී සිටීමෙනුයි.

නොවෙනස් වන සීමාවන් තබාගන්න

“එකිනෙකාගෙන් අදහස් විමසන විට ප්‍රඥාවන්තව කටයුතු කළ හැක” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 13:10) එම උපදෙසට අනුව ඥානවන්තව කටයුතු කරන යුවළක් තම ආශ්‍රය පටන්ගත් මුල් කාලයේදීම බයිබල් ප්‍රමිතිවලට අනුව එකිනෙකාට ආදරය පෙන්වීම සම්බන්ධයෙන් යම් එකඟතාවන්ට පැමිණ එම සීමාවන් තුළ කටයුතු කරයි. තමන්ට සුදුසුයි කියා හැඟෙන ආකාරයෙන් ආදරය ප්‍රකාශ කිරීම හෝ වැරදි ආශාවන් පාලනය කරගන්න තමන් දන්නවා කියා සිතා කටයුතු කිරීම අනාරක්ෂිත ලෙස රියපැදවීමකට සමානයි. අනතුරක් සිදු වූ පසු එය වළක්වා ගැනීමට ක්‍රම සෙවීම ප්‍රමාද වැඩියි.

“බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 22:3) එම උපදෙසට අනුව හොඳ මිතුරන් සමඟ ඇසුරු කරන අවස්ථාවකදී හෝ ඔවුන් සමඟ තව කෙනෙකු සිටින අවස්ථාවකදී එම ඇසුර භුක්ති විඳීමෙන් බොහෝ ගැටලු මඟහරවා ගැනීමට ඔවුන්ට හැකියි. නමුත් එසේ නොකළොත් වැරදි ආශාවන්ට ඉඩ දීම නිසා පලුදු වූ හෘදය සාක්ෂියක්ද ඔබ ගැන සහ අනික් තැනැත්තා ගැන අඩු ගෞරවයක්ද ඇති විය හැකියි. ඒ වගේම ඔබ ඇතුළු පවුලේ සාමාජිකයන්ටත් එය ලැජ්ජාවට හේතුවක් වෙයි. එමනිසා ඥානවන්තව බයිබල් ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කිරීමට අධිෂ්ඨාන කරගන්න!

යෙහෝවා දෙවිව සම්බන්ධ කරගන්න

විවාහය තුන්පට ලණුවකට සමාන වන අතර යෙහෝවා දෙවි එහි ප්‍රධාන තැනැත්තායි. ඒ නිසා විවාහය ඉතා ශක්තිමත් එකක් වන අතර “තුන්පට ලණුවක් පහසුවෙන් දෙකට කැඩිය නොහැක” කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි. (දේශනාකාරයා 4:12) එම ප්‍රතිපත්තියම විවාහ වීමේ බලාපොරොත්තුවෙන් ඇසුරු කරන දෙදෙනෙකුටද අදාළයි. ඔවුන්ට දෙවිගේ ආශීර්වාද ලැබෙන්නේ ඔවුන් පෞද්ගලිකව දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්නා විටයි. බයිබලයේ ගීතාවලිය 1:1-3හි එය මෙසේ තහවුරු කරනවා. ‘දුෂ්ටයන්ගේ අවවාද නොපිළිගත්තාවූ මනුෂ්‍යයා සන්තෝෂවත්ය. යෙහෝවා දෙවිගේ නීතිය කියවීමෙන් ඔහු මහත් ප්‍රීතියක් ලබන්නේය. ඔහු දිවා රෑ දෙවිගේ නීතිය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්නේය. ඔහු කරන සෑම දෙයක්ම සාර්ථක වන්නේය.’

යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තුවන ආකාරයට අප කටයුතු කරනවා නම් ජීවිතය සාර්ථක කරගත හැකියි. අපි යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟවම කටයුතු කළොත් විවාහ වීමේ අරමුණින් කරන ආශ්‍රයත් ඉන්පසු විවාහ බැඳීමත් ඇතුළු අපගේ ජීවිතයේ සෑම දෙයක්ම සාර්ථක වෙනවා ස්ථිරයි. දෙදෙනෙකු අතර ඇති වන ආදර බැඳීම හා විවාහය අපගේ ප්‍රේමණීය නිර්මාතෘගෙන් ලද ත්‍යාගයන්. ඒ නිසා අප ඒවා ගෞරවයෙන් සැලකිය යුතුයි.—යාකොබ් 1:17.

[පාදසටහන]

^ 3 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

මේ ගැන ඔබ සිතුවාද?

● අපගේ ජීවිත සාර්ථක වෙනවා දැකීම දෙවිගේ ආශාව බව අප දන්නේ කෙසේද?—යෙසායා 48:17, 18.

● අපි අපගේ ස්වභාවය පිළිබඳව තේරුම්ගත යුත්තේ කුමක්ද?—යෙරෙමියා 17:9.

● විවාහ වීමේ අරමුණින් කරන ආශ්‍රය සහ ඉන්පසු විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට මඟ කුමක්ද?—ගීතාවලිය 1:1-3.

[13වන පිටුවේ පින්තූරය]

ඥානවන්තව කටයුතු කරන යුවළක් තම ආශ්‍රය පටන්ගත් මුල් කාලයේදීම, එකිනෙකාට ආදරය පෙන්වීම සම්බන්ධයෙන් බයිබල් ප්‍රමිතිවලට අනුව සීමාවන් තබාගෙන ඒ අනුව කටයුතු කරයි