Skip to content

පටුනට යන්න

හිරු ගිනියම් වූ දා

හිරු ගිනියම් වූ දා

හිරු ගිනියම් වූ දා

වර්ෂ 1783 ග්‍රීෂ්ම ඍතුවේ මාස කිහිපයක් පුරා උතුරු අර්ධගෝලයේ විශාල ප්‍රදේශයක් ඉතා අමුතු අඳුරු වලාවකින් වැසී ගියා. ඒ කාලයේ ඒ අවට වෙනත් රටවල සිටි අයට හිරු දිස් වූයේ තද ලේ පාටිනුයි. එයින් වගාවන් මැලවී ගියා. අසංඛ්‍යාත පිරිසක් මිය ගියා. ප්‍රංශයේ හා එංගලන්තයේ පමණක් සිය දහස් ගණනක් මිනිසුන් මිය ගිය බව වාර්තා වෙනවා. සිදු වූ විපතින් කොතරම් පිරිසක් අසනීප වුණාද කියනවා නම් ගොවියන්ට තම ඉතුරු වූ අස්වැන්න රැස් කරගැනීමට සේවකයන් සොයාගැනීම පවා ඉතා දුෂ්කර දෙයක් වුණා.

එම අඳුරු වලාව හඳුන්වා ඇත්තේ “පසුගිය සහශ්‍රය තුළ කාලගුණයේ මෙන්ම පෘථිවි ගෝලයේ සිදු වූ අමුතුම සිදු වීමක් ලෙසයි.” එම සිදු වීම අයිස්ලන්තයට මොන තරම් දරුණු ලෙස බලපෑවාද කියනවා නම් එහි ජනගහනයෙන් සියයට 20ක් පමණ ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වූ බව ගණන් බලා තිබෙනවා. සිදු වූ එම සිද්ධිය හොඳින්ම දැන සිටියේ අයිස්ලන්තයේ ජනයා පමණයි. ඇත්තටම එය කුමක්ද? විශේෂඥයන් එය හඳුන්වන්නේ ශතවර්ෂ කිහිපයකට වරක් සිදු වන ගිනි කඳු පිපිරීමක් ලෙසයි.

ලාකි ගිනි කඳු පුපුරා යෑම

මුල්වරට එම භයානක සිද්ධියේ බියකරු සේයාවන් දුටුවේ දකුණු අයිස්ලන්තයේ සීතා ප්‍රදේශයේ වැසියනුයි. ඒ 1783 ජූනි 8වෙනිදායි. අවට රටවල ජනයා දුටු සිද්ධීන් එකට ගොනු කිරීමෙන් අඳුරු වලාවේ ආරම්භයේ සිට දේවල් සිදු වූ අනුපිළිවෙළ විස්තර කිරීමට සමීක්ෂකයන්ට හැකි වී තිබෙනවා. සිද්ධිය සියැසින් දුටු පුද්ගලයෙක් වන අයිස්ලන්ත ජාතික යෝන් ස්ටින්ග්‍රිම්සන් පවසන්නේ “කලු දුමාරයක්” උතුරු දෙසට ගමන් කරනවා තමන් දුටු බවයි. එමෙන්ම ඉහළ අහසේ දැඩි අඳුරක් පැවතුණු අතර බිම අළු තට්ටුවකින් වැසී ගිය බවත් ඉන්පසුව භූමිකම්පාව ආරම්භ වූ බවත් ඔහු පවසනවා. ඊට සතියකට පසුව “ස්කෆ්ටා ගංඟාව දිගේ ඉතා බිහිසුණු ගිනි ගංඟාවක් ගලා යන අයුරු” ඔහු දුටුවා. ඔහු එම සිද්ධිය ආරම්භයේ සිට මාස අටක් පුරා වාර්තා කළා.

භූමිකම්පාව නිසා ඇති වූ පිපිරීමෙන් භූමිය මත කිලෝමීටර් 27ක් දිග විශාල පැල්මක් ඇති වුණා. එමෙන්ම එයින් ලාවා ඝණ කිලෝමීටර් 15ක් පමණ ප්‍රමාණයක් පිටතට ගලා ආවා. එය මෙතෙක් සිදු වී ඇති විශාලතම ගිනි කඳු පිපිරීමයි. එම පිපිරීමෙන් අඩි දහස් ගණනක් ඉහළට ලාවා විසි වූ අතර කිලෝමීටර් 80ක් තරම් ඈතට එය විසිරී ගියා. එමෙන්ම වර්ග කිලෝමීටර් 580ක ප්‍රදේශයක් පුරා ලාවා පැතිරී ගිය අතර ස්කෆ්ටා ගංඟාවද සම්පූර්ණයෙන් ලාවාවලින් වැසී ගියා.

එම පිපිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඊළඟ අවුරුද්දේදී අළු සහ විෂ ද්‍රව්‍ය අයිස්ලන්තයේ තණ පිට්ටනි මත පතිත වුණා. එම තණකොළ ආහාරයට ගත් ගවයන්ගෙන් සියයට 50ක්ද අශ්වයන් හා බැටළුවන්ගෙන් සියයට 80ක්ද මිය ගියා. සාගතය දසත පැතිරුණා. පිපිරීමේ තවත් ප්‍රතිඵලයක් වුණේ සල්ෆර් ඩයොක්සයිඩ් ටොන් මිලියන 122ක් පමණ වායුගෝලයට එක් වීමයි. ඒවා වායුගෝලයේ ඇති ජල වාෂ්ප සමඟ ප්‍රතික්‍රියා කිරීම නිසා විෂ අම්ල ටොන් මිලියන 200ක් පමණ නිපද වී ඒවා වායුගෝලයේ පාවෙන්න පටන්ගත්තා. *

ප්‍රතිඵල දුර ඈත රටවලටත්

ග්‍රීෂ්ම ඍතුවේදී එම විෂ වායුව දුර ඈත ප්‍රදේශවලටත් ගසාගෙන ගියා. උදාහරණයකට බ්‍රිතාන්‍යයේ හා ප්‍රංශයේ ජනයා පැවසුවේ එවැනි “පුදුමාකාර අඳුරු වලාවක්” තමන් මීට පෙර කෙදිනකවත් දැක නැති බවයි. ගෙන්දගම් මිශ්‍රිත දුඟද වායුව නිසා බොහෝදෙනෙකු ශ්වසන ආබාධ, අතීසාරය, හිසරදය, ඇස් ලෙඩ, උගුරේ දැවිල්ල හා වෙනත් ආසාදනවලට ලක් වුණා. එපමණක්ද නොව සල්ෆර් ඩයොක්සයිඩ් සහ සල්ෆියුරික් අම්ලය සහිත එම ගන වලාව බාල මහලු සැමදෙනාටම මාරාන්තික ලෙස බලපෑවා.

එක් රාත්‍රියකදී එම විෂ වායුව නිසා ජර්මනියේ එම්ස් ගංඟාව දෙපස තිබූ ගස්වල කොළ මැරුණු බව වාර්තා වුණා. එංගලන්තයේද එළවළු වගාවන් වියළී ගොස් ඒවායේ කොළ පිලිස්සී ඇති ආකාරයක් දිස් වුණා. ඒ හා සමාන සිද්ධීන් හංගේරියාව, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, ස්කැන්ඩිනේවියාව, ස්ලෝවේකියාව, පෘතුගාලය, ටියුනීසියාව, සිරියාව, රුසියාව, බටහිර චීනය හා නිව්ෆවුන්ඩ්ලන්තය යන රටවලින්ද වාර්තා වුණා.

හිරු එළිය වැටීමට එම වලා පටලය බාධාවක් වු නිසා විවිධ රටවල උෂ්ණත්වයටද එය අහිතකර ලෙස බලපෑවා. උදාහරණයකට 1784දී යුරෝපා මහාද්වීපයේ උෂ්ණත්වය සාමාන්‍යට වඩා සෙල්සියස් අංශක දෙකකින් පහළ ගියා. එමෙන්ම අයිස්ලන්තයේ උෂ්ණත්වයද සෙල්සියස් අංශක පහකින් පහත ගිය බවත් වාර්තා වුණා. උතුරු ඇමරිකාවේ ශීත ඍතුවේදී (1783/1784) මොන තරම් ශීත වාතාවරණයක් පැවතුණාද කියනවා නම් අයිස් කුට්ටි ‘මිසිසිපි ගංඟාව දිගේ මෙක්සිකෝ බොක්ක දක්වා පාවී ආ බව’ වාර්තා වෙනවා.

සමහර විශාරදයන් විශ්වාස කරන්නේ එම ගිනි කඳු පිපිරීම නිසා ඇලස්කාවේ වයඹ දිග ප්‍රදේශයේ ජීවත් වන එස්කිමෝවරුන් සම්පූර්ණයෙන්ම විනාශ වී යෑමේ අවදානමකට ලක් වීමට ඉඩ තිබූ බවයි. එමෙන්ම ඒ ප්‍රදේශයේ ශාක කඳන්වල හරස්කඩ පරීක්ෂා කිරීමෙන්ද ඔප්පු වන්නේ අවුරුදු 400කට පසු ඇලස්කාවේ ඉහළම ශීත කාලගුණයක් වාර්තා වුණේ 1783 ග්‍රීෂ්ම ඍතුවේ බවයි. තමන්ගේ ග්‍රීෂ්ම ඍතුව එක්තරා අවුරුද්දක ජූනි මාසයේදී අධික ශීතලක් හා සාගතයක් සමඟ අවසන් වූ බව එස්කිමෝවරුන් අතර අදටත් පොදු මතයක් තිබෙනවා.

එදා සහ අද

වර්ෂ 1783දී සිදු වූ එම ස්වභාවික විපත මේවන විට බොහෝදෙනෙකුගේ මතකයෙන් ගිලිහී ගොසින්. ඊට හේතුව එය සිදු වුණේ මීට බොහෝ කාලයකට පෙර වීම සහ එවන් දෙයක් සිදු වීමට හේතුව සමහරුන් නොදැන සිටීමයි. නමුත් අයිස්ලන්තයේ ජනයා නම් ලාකි ගිනි කඳු පිපිරීම තවමත් සලකන්නේ එරට ඉතිහාසයේ සිදු වූ විශාලතම ස්වභාවික විපත ලෙසයි.

කෙසේනමුත් සමහරුන් එය දකින්නේ දෙවිගෙන් ලද දඬුවමක් ලෙසයි. නමුත් දෙවි එසේ කරන බවක් බයිබලයේ සඳහන් වන්නේ නැහැ. (යාකොබ් 1:13) දෙවි ‘සියල්ලේදී යුක්තිය ඉටු කරන’ නිසා කිසිම වගවිභාගයකින් තොරව හොඳ සහ නරක යන දෙපිරිසටම එරෙහිව පියවර ගන්නේ නැහැ. (ද්විතීය කතාව 32:4) නුදුරු අනාගතයේදී දෙවි මිනිසුන්ව විනිශ්චය කරන විට ඔහු තම යුක්තිය ඉතාමත් කැපීපෙනෙන අයුරින් ක්‍රියාත්මක කරයි. මිනිසුන් සම්බන්ධයෙන් ඔහුගේ අරමුණ වන්නේ ස්වභාවික විපත් ඇතුළු මිනිසාට වේදනාව හා මරණය ගෙන දෙන සෑම දෙයක්ම මෙලොවින් සම්පූර්ණයෙන්ම තුරන් කර දැමීමයි.—යෙසායා 25:8; එළිදරව් 21:3, 4.

[පාදසටහන]

^ 7 ඡේ. අම්ල වැසි ඇති වන්නේ එවන් අවස්ථාවලදියි. අද දිනත් සල්ෆර් ඩයොක්සයිඩ්, වාතය දූෂණය කරන දෙයක් බවට පත් වී තිබෙනවා. එසේ වන්නේ ස්වභාවික ඉන්ධන වන ගල් අඟුරු, ගෑස් සහ පෙට්‍රෝලියම් වැනි දෑ දහනය වීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

[14, 15වන පිටුවේ පින්තූරය]

ලාකි ගිනි කඳු පිපිරීමෙන් සිදු වූ පැල්ම, ඉහළින් ගත් ඡායාරූපයක්

[14, 15වන පිටුවේ පින්තූරය]

ගිනියම් වූ ලාවා ගුවනට විසි වන අයුරු

[15වන පිටුවේ පින්තූරය]

චන්ද්‍රිකාවක් මගින් ගත් අයිස්ලන්තයේ ඡායාරූපයක්

[14වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Lava fountain: © Tom Pfeiffer; aerial photo: U.S. Geological Survey; satellite photo: Jacques Descloitres, MODIS Rapid Response Team, NASA/​GSFC