Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

ජල අර්බුදය (2009 ජනවාරි) එම ලිපිය අවසන් කර තිබෙන ආකාරය ගැන මම එතරම් සතුටු වෙන්නේ නැහැ. ළිං හෑරීමට, තිබෙන ජලය ආරක්ෂා කරගැනීමට හා ජල අර්බුදයට හේතුව ගැන තව තවත් සොයා බැලීමට දිරිගන්වනවා වෙනුවට එම ලිපියේ සඳහන් කර තිබුණේ “ජල අර්බුදයට ස්ථිරසාර විසඳුමක් දිය හැක්කේ මිනිසාට නොව ‘සියල්ල අලුතෙන් සෑදිය’ හැකි දෙවිට බවයි. (එළිදරව් 21:5)” එය දිරිගන්වන යමක් වුණත් එය සිදු වන්නේ අනාගතයේදීයි. අද මේ පොළොවේ ප්‍රශ්න ගැටලු ගොඩක් තිබෙනවා. ඒවා විසඳීමට දෙවි ඉදිරියේදී පියවර ගන්නා බව ඇත්තයි. ඒ වෙන තෙක් සාතන්ට ඕනෑ දෙයක් කරන්න ඉඩ දීලා මුකුත්ම නොකර බලාගෙන ඉන්න අපිට බැහැ.

ඇමරිකාවේ එස්. එස්.

“පිබිදෙව්!” පිළිතුරු දෙයි: එම ලිපිය මගින් අවධාරණය කළේ ජල අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා අපට කරන්න කිසිවක් නැති බව නොවෙයි. ‘මේ පොළොව රැකබලා ගැනීමේ වගකීම දෙවි දී තිබෙන්නේ මිනිසාට’ බව එහි සඳහන් වුණා. ඒ අනුව පොළොවේ ඇති සම්පත් සංරක්ෂණය කිරීමටත් පරිසරය රැකගැනීමටත් දිරිගන්වා අපි ලිපි බොහොමයක් පළ කර තිබෙනවා. නමුත් කණගාටුවට කරුණක් නම් මිනිසාගේ වැඩි අවධානය ආර්ථික දියුණුව කෙරෙහි යොමු වීම හා ඔහු තුළ ඇති තණ්හාව හා ආත්මාර්ථකාමීත්වය නිසා පොළොවේ ඇති සම්පත් ආරක්ෂා කිරීමට දරන උත්සාහය අසාර්ථක වී තිබීමයි. “ජල අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ගෙන දිය හැක්කේ දෙවිට පමණයි” කියා එහි සඳහන් කර තිබෙන්නේ ඒ නිසයි.

සොඳුරු නිවහනක් බඳු අපේ පෘථිවිය (2009 පෙබරවාරි) අපට ජනමාධ්‍ය මගින් අසන්න ලැබෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යෑම වැනි අපගේ අනාගතය ගැන බිය ජනිත කරවන දේවල් පමණයි. නමුත් එම ලිපි මාලාව කියවීමෙන් මට විශාල සහනයක් දැනුණා. පෘථිවියේ ආනාගතය අඳුරේ නොවෙයි කියාත් මිනිසාට සාමකාමීව ජීවත් වීමට හැකි ආකාරයෙන් මේ පොළොව සෑම අතින්ම පාරාදීසයක් බවට පත් වීමට නියමිතයි කියාත් එහි සඳහන් කර තිබුණා. එය කියවීමෙන් මම ලොකු දිරිගැන්වීමක් ලැබුවා. එය පළ කිරීම ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

ජපානයේ එම්. එච්.

උනන්දුව ඇත්නම් දුර්වලකමත් බාධාවක්ද? (2009 පෙබරවාරි) මමයි මගේ භාර්යාවයි මිෂනාරිවරුන් හැටියට සේවය කරන්න පටන්ගත්තා. ඒ නිසා අපිට අලුත් භාෂාවක් ඉගෙනගන්න සිද්ධ වුණා. මම ඩිස්ලෙක්සියා නමැති තත්වයෙන් පෙළෙන බව දැනගත්තේ එතකොටයි. නමුත් පසුව එම තත්වය හොඳින් අවබෝධ කරගන්න මට එම ලිපිය ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඩිස්ලෙක්සියා තත්වයක් ඇති වීමට හේතුව තේරුම්ගැනීමට 22වන පිටුවේ තිබූ කොටුව මට විශේෂ උපකාරයක් වුණා. එම ලිපියේ සඳහන් මයිකල් හෙන්බෝග් භාෂා ගණනාවක්ම ඉගෙනගෙන ඇති බව දැනගැනීමෙන් මම ලොකු දිරිගැන්වීමක් ලැබුවා. එම ලිපිය පළ කිරීම ගැන ඔබට බොහොම ස්තුතියි.

ටැන්සානියාව එම්. එම්.

යෞවන අය අසති . . . බයිබලය කියවීමෙන් ප්‍රීතියක් ලබන්නේ කොහොමද? (2009 අප්‍රියෙල්) මට ඇස් පෙනීමේ දුර්වලතාවයක් තිබෙන නිසා පාසලේදී ඉගෙනීම් කටයුතු කරන්නේ බ්‍රේල් භාෂාවෙන්. මෙතෙක් ඔබ විසින් පළ කළ ප්‍රකාශනවලින් මට තිබූ ප්‍රශ්න රැසක් ජය ගන්න මට හැකි වී තිබෙනවා. ඒ ගැන ඔබට බොහොම ස්තුතියි. සාමාන්‍යයෙන් මම නිදාගන්න කලින් එම ලිපි ඇතුළත් කැසට් හා සීඩී තැටිවලට සවන් දෙනවා. ඒ තුළින් නින්දට යන්න කලින් මගේ මනසට යහපත් සිතුවිලි ඇතුළත් කරගැනීමට මට හැකි වී තිබෙනවා. ඉහත සඳහන් කළ ලිපියට මම පස් වතාවක් පමණ සවන් දුන් අතර එහි ඇති යෝජනා මගින් මගේ පෞද්ගලික අධ්‍යයනය තවත් දියුණු කිරීමට හැකි ක්‍රම මම ඉගෙනගත්තා.

ප්‍රංශයේ එස්. එච්.