Skip to content

පටුනට යන්න

අප අවට ඇති නිර්මාණයන්ගෙන් ඉගෙනගත හැකි දේ

අප අවට ඇති නිර්මාණයන්ගෙන් ඉගෙනගත හැකි දේ

අප අවට ඇති නිර්මාණයන්ගෙන් ඉගෙනගත හැකි දේ

“යෙහෝවා දෙවියනි, ඔබ කොතරම් දේවල් නිර්මාණය කර ඇද්ද! ඔබ ඒ සියල්ල ප්‍රඥාවෙන් සෑදුවෙහිය.”—ගීතාවලිය 104:24.

අප අවට ඇති සියල්ල ඇති වුණේ ඉබේ කියා සමහරුන් පවසනවා. තවත් අය පවසන්නේ සොබාදහම විසින් ඒවා නිර්මාණය කළා කියායි. ඒ ගැන 2003 මාර්තු මාසයේ පළ වූ සයන්ටිෆික් ඇමරිකන් නමැති සඟරාවේ මෙවැනි අදහසක් පළ වුණා. “සොබාදහම විසින් නිර්මාණය කර ඇති ජීවීන්ගේ සිරුරු ආවරණ දෙස බලද්දී පිහාටු සහිත ජීවීන් ඉතාමත් දැකුම්කලු මෙන්ම පුදුමාකාරයි.” ඇත්තටම ඔහු පවසන ලෙස යම් දෙයක් නිර්මාණය කිරීමට සොබාදහමට පුළුවන්ද? නැත්නම් නිර්මාණයක් කිරීමට බුද්ධිමත් නිර්මාණකරුවෙක් සිටිය යුතුද?

එක් ශබ්දකෝෂයක “නිර්මාණය කිරීම” යන්න විස්තර කර තිබෙන්නේ “නිශ්චිත අරමුණක් ඇතුව යම් දෙයක් සැලසුම් කිරීම” කියායි. ඒ අනුව බලද්දී යමක් නිර්මාණය කිරීමට හැකියාව ඇත්තේ යම් පුද්ගලයෙකුට පමණයි. නව නිර්මාණ බිහි කළ පුද්ගලයන්ට නමක් තිබෙනවා හා සමානව අප අවට ඇති සියල්ල නිර්මාණය කළ තැනැත්තාටද නමක් තිබෙනවා. ඔහුගේ නම යෙහෝවා. “මුළු පොළොවටම මහෝත්තම” දෙවි වන්නේ ඔහු පමණයි. එමෙන්ම “සෑම දෙයක්ම සෑදුවේ” ඔහුයි.—ගීතාවලිය 83:18; එළිදරව් 4:11.

යෙහෝවා දෙවිගේ නිර්මාණවලින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? ඔහුගේ ප්‍රඥාව ඇතුළු තවත් පුදුමාකාර ගුණාංග බොහොමයක් අපිට ඉගෙනගත හැකියි. බයිබලයේ ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. “දෙවිව නොපෙනුණත් ලෝකය සෑදූ දා පටන් ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන. එය කළ හැක්කේ දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙනි. එමගින් ඔහුගේ සදාතනික බලය හා ඔහු සැබවින්ම දෙවි බවට වූ කාරණය සියල්ලන්ටම පැහැදිලි වේ.” (රෝම 1:20) දෙවි අපට වඩා ප්‍රඥාවෙන් ඉතා උසස් බවද අප අවට ඇති නිර්මාණවලින් පැහැදිලි වෙනවා. මිනිසුන් කර ඇති නිර්මාණයන්ට වඩා ශ්‍රේෂ්ඨ දේවල් නිර්මාණය කිරීමට දෙවිට හැකි නම් මිනිසුන් ලබා දෙන මඟ පෙන්වීම්වලට වඩා උසස් මඟ පෙන්වීම් අපට ලබා දීමට දෙවිට හැකියි කියා සිතීම සාධාරණ නැද්ද?

අදහස් හුවමාරු කරගැනීමේ ඉන්ද්‍රියන් ඇතුව දෙවි අපව නිර්මාණය කිරීමෙන් පැහැදිලි වන්නේ ඔහුට අප සමඟ අදහස් හුවමාරු කරගැනීමට අවශ්‍ය බවයි. අප සමඟ අදහස් හුවමාරු කරගැනීමට හා අපට මඟ පෙන්වීම් ලබා දීමට දෙවි මූලික වශයෙන් යොදාගන්නේ ඔහුගේ වචනය වන ශුද්ධ බයිබලයයි. බයිබලය හෙවත් ‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනුයි.’—2 තිමෝති 3:16.

විවිධ නිර්මාණයන් හා සොයාගැනීම් කළ පුද්ගලයන් ගැන දැනගැනීමට ඔබ උනන්දුවක් දක්වන කෙනෙක් නම් අප අවට ඇති සියලු දේ නිර්මාණය කළ දෙවි ගැන දැනගැනීමට ඔබ ඊටත් වඩා උනන්දුවක් දක්වයි. එමෙන්ම මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමටද ඔබ කැමති වේවි. අප දුක් විඳ මිය යන්නේ ඇයි? මිනිසුන් සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ වූයේ එයද? එසේ නොවේ නම් දෙවි දුක් වේදනාවලට ඉඩහැර තිබෙන්නේ ඇයි?

බොහෝදෙනෙක් පිළිගත්තත් නැතත් විවිධ දේවල් නිර්මාණය කිරීමට විද්‍යාඥයන් ඉගෙනගෙන තිබෙන්නේ යෙහෝවා දෙවි කළ නිර්මාණවලිනුයි. ඔබටත් ඔබගේ නිර්මාණකරුගෙන් බොහෝ දේ ඉගෙනගත හැකියි. උදාහරණයකට සතුටින් පිරි විවාහ ජීවිතයක් ගත කරන්නේ කෙසේද, දරුවන්ව හොඳින් ඇතිදැඩි කරන්නේ කෙසේද, පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද සහ අර්ථවත් ජීවිතයක් ගත කරන්නේ කෙසේද වැනි දේවල් ඉන් සමහරක්. ඒ සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත අධ්‍යයනය කිරීම ඔබට බොහෝ ප්‍රයෝජන ලබාගත හැකියි. ඒ තුළින් ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු බයිබලයෙන්ම සොයාගත හැකියි.