Skip to content

පටුනට යන්න

ඔවුන් එය ඉගෙනගත්තේ කාගෙන්ද?

ඔවුන් එය ඉගෙනගත්තේ කාගෙන්ද?

ඔවුන් එය ඉගෙනගත්තේ කාගෙන්ද?

“තමන් සංක්‍රමණය කළ යුත්තේ කුමන කාලයේද කියා මානකොකා හරියටම දනී.”—යෙරෙමියා 8:7.

සංචාරක පක්ෂියෙක් වන මානකොකා ගැන යෙරෙමියා නමැති අනාගතවක්තෘවරයා මීට අවුරුදු 2,500කට පමණ පෙර බයිබලයේ වාර්තා කළා. එසේ සංචාරය කරන විවිධ සත්වයන් ගැන අද දිනත් බොහෝදෙනා තම මවිතය පළ කරනවා. සැමන් මත්ස්‍යා ඊට එක් උදාහරණයක්. ඌ මුහුදේ සිට කිලෝමීටර් දහස් ගණනක් පිහිනා යමින් තමන් උපත ලැබූ ගංගාවේ නියමිත ස්ථානයට නැවත යයි. ඒ වගේම ඇමරිකාවේ ඔරිගන් මුහුදු තීරයේ වෙසෙන තවත් කැස්බෑ විශේෂයක් බිත්තර දැමීම සඳහා කිලෝමීටර් 20,000ක් පමණ දුර පිහිනා යමින් ඉන්දුනීසියාවේ මුහුදු වෙරළට පැමිණෙයි. යළිත් වරක් තම රටට යන ඔවුන් ඊළඟ වතාවේද බිත්තර දැමීම සඳහා පැමිණෙන්නේ එම මුහුදු වෙරළටමයි.

සමහර කුරුල්ලන් තම ගමන් මඟ සොයාගැනීමෙහි ඊටත් වඩා දක්ෂයි. ඊට මේ උදාහරණය බලන්න. සමීක්ෂකයන් පිරිසක් පැසිෆික් සාගරයේ කුඩා දූපතකින් ඇල්බත්‍රොස් පක්ෂීන් 18දෙනෙකුව ගුවනින් රැගෙන ගොස් කිලෝමීටර් දහස් ගණනක් ඈතින්, එනම් සමහරුන්ව පැසිෆික් සාගරයේ බටහිර ප්‍රදේශයට එපිටින්ද තවත් උන්ව නැඟෙනහිරට එපිටින්ද අතහැරියා. සති කිහිපයක් ඇතුළත නැවතත් උන්ගෙන් බොහෝදෙනෙක් උන් සිටි තැනටම පැමිණියා.

පරෙවියන්වද සිහි නැති කර හෝ කරකැවෙන කූඩුවල දමාගෙන ගොස් කිලෝමීටර් 150කට වඩා දුර, නොදන්නා ප්‍රදේශවල අතහැර තිබෙනවා. ඒ වුණත් උන් ගුවනේ වට දෙක තුනක් කැරකීමෙන් පසු තමන් සිටින ස්ථානය හඳුනාගෙන නැවතත් තම නිවෙස් කරා පැමිණ තිබෙනවා. එපමණක් නොවෙයි, උන්ගේ දෘෂ්ටිය බොඳ කිරීමට යම් ආවරණයක් දමා තිබියදී පවා එසේ පැමිණීමට උන්ට හැකියි. ඒ ගැන සමීක්ෂකයන් පවසන්නේ ගුවනේදී උන්ට ලැබෙන වැදගත් තොරතුරු අනුව තමන්ගේ නිවහන පිහිටි ප්‍රදේශයට සාපේක්ෂව තමන් සිටින දිශාව ඔවුන් හඳුනාගන්නා බවයි.

මොනාක් සමනලයන්ද උතුරු ඇමරිකාවේ සිට කිලෝමීටර් දහසකට වඩා පියඹා යමින් මෙක්සිකෝවේ කුඩා ප්‍රදේශයකට සංක්‍රමණය කරයි. උන් මීට පෙර එම ස්ථානයට පැමිණ නැති වුණත් එය සොයාගෙන ඇවිත් මින් පෙර උන්ගේ මුතුන්මිත්තන් ලැගුම් ගත් ගස්වලම උනුත් ලැගුම් ගන්නවා. උන් එය කරන්නේ කෙසේද යන්න සමීක්ෂකයන්ට තවමත් විශාල ප්‍රහේලිකාවක්.

ගමන් මඟ සොයාගැනීම පිළිබඳ මිනිසා නිපදවා ඇති උපකරණ ක්‍රියාත්මක වන්නේ චන්ද්‍රිකා තාක්ෂණයේ උපකාරයෙන් වුණත් බොහෝ සතුන් උපයෝගී කරගන්නේ ඊට වඩා වෙනස් ක්‍රමයි. ඒවා අතර භූමියේ පිහිටීම, සූර්යයාගේ පිහිටීම, චුම්බක ක්ෂේත්‍රය පිහිටි දිශාව, විවිධ සුවඳ වර්ග පමණක් නොව විවිධ ශබ්දයන්ද ඒවාට ඇතුළත්. ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජේම්ස් එල්. ගූල්ඩ් වරක් මෙසේ පැවසුවා. ‘ඉතාමත් නිවැරදි ලෙස තම ගමන් මඟ සොයාගන්නා සත්වයන් සෑමදෙනාම පාහේ අසාමාන්‍ය නිර්මාණයක්. ඔවුන්ට තම ගමන් මඟ සොයාගැනීමේ ක්‍රම කිහිපයක්ම තිබෙනවා. ඒ අනුව එක් එක් අවස්ථාවලදී තොරතුරු ලබාගැනීමට උන් භාවිත කරන්නේ ඊට උචිතම ක්‍රමයයි.’ එවන් සතුන් තම ගමන් මඟ හඳුනාගන්නා ක්‍රම ගැන සමීක්ෂකයන් තම මවිතය පළ කරනවා.