Skip to content

පටුනට යන්න

ඕඩේසා නගරයේ සංකීර්ණ උමං පද්ධතිය

ඕඩේසා නගරයේ සංකීර්ණ උමං පද්ධතිය

ඕඩේසා නගරයේ සංකීර්ණ උමං පද්ධතිය

නවීකරණය කරන ලද ගොඩනැඟිල්ලක විශාල ඉරි තැලීමක් සිදු වුණා. ඒ ගැන එහි අයිතිකරු මෙසේ දෝෂාරෝපණය කළා. “මේ හැම එකටම මුල මේ යට තියෙන උමං මාර්ගයි.”

යුක්‍රේනයේ කළු මුහුද අසල පිහිටා තිබෙන ඕඩේසා නමැති නගරයේ ජල නළයක් පුපුරා ගියත් මාර්ගයක් ගිලා බැස්සත් හැමෝම වගේ දොස් පවරන්නේ එම නගරයට යටින් පිහිටා තිබෙන ඉතා අලංකාර උමං මාර්ග පද්ධතියටයි. ලොව විශාලත මෙන්ම සංකීර්ණම උමං මාර්ග පද්ධතිය ලෙස සැලකෙන්නේ එයයි. එහි මුළු දිග කිලෝමීටර් 2,500ක් පමණ වන බව වාර්තා වෙනවා.

‘එම උමං මාර්ග නිර්මාණය වුණේ කොහොමද?’ ‘එදා සිටි නගර වැසියන්ට ඉන් අත් වූ ප්‍රයෝජන මොනවාද’ කියලා අපි කල්පනා කෙරුවා. ඒ ගැන දැනගන්න අපි එහි ගිහිල්ලාම බලමු.

පොළොව යට සංචාරයක්

අපි ගමන ආරම්භ කළේ ඕඩේසා දුම්රියපොළ අසලිනුයි. උමං පද්ධතිය දැක බලා ගන්න නොඉවසිල්ලෙන් බලා සිටි සිසුන් පිරිසක් හා නිවාඩුව ගත කිරීමට පැමිණ සිටි බොහෝදෙනෙක්ද අප සමඟ ගමනට එක් වුණා. ගමන අතරතුර අපට මඟ පෙන්වූ කාන්තාව එහි ඉතිහාසය ගැන තොරතුරු බිඳක් හෙළි කළා.

ඕඩේසා නගරයේ සංවර්ධන කටයුතු සඳහා ගොඩනැඟිලි ද්‍රව්‍ය අවශ්‍ය වුණා. ඒ සඳහා අවශ්‍ය කහ පාටට හුරු වටිනා හුණුගල් තට්ටු විශාල වශයෙන් ඔවුන්ගේ භූමිය තුළ පිහිටා තිබුණා. පසුව ඔවුන් ඒවා හාරන්න පටන්ගත් අතර එය විශාල ආදායමක් ඉපැයූ රැකියාවක් බවටද පත් වුණා. වර්ෂ 1830 ගණන්වල ඕඩේසා නගරයේ සංකීර්ණ උමං පද්ධතියක් බිහි වීමට පටන්ගත්තේ ඒ ආකාරයටයි.

කෙසේනමුත් ඔවුන් හුණුගල් ලබාගැනීම සඳහා උමං කැණීම් කළේ නිශ්චිත සැලැස්මකට අනුව නොවෙයි. සමහර උමං හාරා තිබෙන්නේ පොළොවේ සිට අඩි සියයකටත් වඩා යටිනුයි. ඒ අනුව පොළොවේ සිට විවිධ මට්ටම්වලින්, දික් අතට හා හරස් අතට විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් උමං ජාලයක් ඇති වීමට පටන්ගත්තා. සමහරක් උමං හෑරීම ඉතා වෙහෙස කර වූ නිසා ඒවා අතර මඟ නතර කර දමා අලුත් ඒවා හෑරීමට පටන්ගෙන තිබෙනවා. කල්ගත වෙද්දී මෙම උමං පද්ධතිය නගරයෙන් ඔබ්බටත් විහිදෙන්න පටන්ගත්තා.

වැඩි වෙලාවක් යන්න කලින් අපි ඕඩේසා නගරයට ටිකක් උතුරට වෙන්න පිහිටි කුඩා ගම්මානයක් වන නෙරූබේයිස්ක්වලට ආවා. එහිදී අපිට විශාල හුණුගල්වලින් තනා තිබූ තාප්පයක් දැකගන්න ලැබුණා. එහි දොරටුව යකඩ ගේට්ටුවකින් වසා තිබුණා. ඒ උමඟේ දොරටුවයි. මඟ පෙන්වූ කාන්තාව අපට මෙසේ පැවසුවා. “දැන් අපි යන්නේ දෙවන ලෝක මහා යුධ සමයේදී සෝවියට් ගරිල්ලා භටයන් සැඟවී සිටි ස්ථානයටයි. ඒ කාලයේදී ඔවුන්ගේ ජීවිත මොන වගේද කියා ඔබට සිතාගන්න පුළුවන් වෙයි.” උමං පද්ධති පිළිබඳ විශාරදයෙක් වන ඇන්ඩ්‍රි ක්‍රාස්නොසෝන් පවසන්නේ සෝවියට් ගරිල්ලා කණ්ඩායමක් මේ උමං පද්ධතියේ මාස 13ක් සැඟවී සිටි බවයි.

අප සමඟ ගිය කාන්තාව මෙසේද පැවසුවා. “ඔයාලා දන්නවද මෙහි විවිධ ස්ථානවල විටින් විට සොරු, මුහුදු මංකොල්ලකාරයෝ හා දේශපාලන සරණාගතයින් ඉඳලා තියෙනවා. ඒ හැමෝටම එක හා සමාන දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වුණා.”

ඉන්පසුව අපි අඳුරු කොරිඩෝවකට ඇතුල් වුණා. ඇතුළට යන්න යන්න ඒක තවත් අඳුරුයි. “මෙම ස්ථානය ගරිල්ලා භටයින් නිකම්ම සැඟවී සිටි තැනක් නොවෙයි. ඔවුන් එහි යම් යම් පහසුකම් සලසාගෙන තිබුණා. එහි ක්‍රීඩා කාමරද තිබූ අතර පිරිමින් ඒවායෙහි දාං, චෙස් හා වෙනත් කාඩ් ක්‍රීඩාවල යෙදුණා. නවාතැන් ගැනීම සඳහා කාමර ලෙස ප්‍රධාන උමං මාර්ගයේ කුටි වෙන වෙනම කපලා තිබෙනවා. ඒ හැම කාමරයකම බිත්තියේ ඇඳක් හා සමාන තට්ටුවක් කපා ඊට පිදුරු අතුරා නිදාගැනීමට සූදානම් කර තිබෙනවා. එහි රෝහලක්ද තිබෙන අතර ඇඳවල් වගේම ශල්‍යාගාරයක්ද ඊට අයත්. කාන්තාවන් ඉවුම්පිහුම් කටයුතු කිරීම සඳහා හුණුගලින් නිම වූ දර ලිප් භාවිත කළ අතර උමඟට ඉහළින් තිබූ විවරයෙන් දුම් එළියට ගියා.”

අප සිටින උමඟේ සිවිලිම බැලූ බැල්මට දිස්වන්නේ විශාල ස්පොන්ජියක් අතුරා ඇති ආකාරයටයි. නමුත් එය අතගා බලන විට ඉතා රළුයි. එහි බිත්තිවල සිග්සැග් ක්‍රමයට ගල් කපා ඉවත් කර ඇති ආකාරයක් දිස් වෙයි. එම බිත්තිද ඉතා රළු ස්වභාවයකින් යුක්තයි. අප සමඟ ගිය කාන්තාව තවත් දෙයක් පැවසුවා. “මෙම ගරිල්ලා භටයින් උමඟින් පිටතට ආ විගස ඔවුන්ගේ ඇඳුම් මාරු කරගන්නවා. ඊට හේතුව උමඟ තුළ ඇති විශේෂිත වූ දුඟද තමන්ගේ ඇඳුම්වලට උරාගෙන ඇති නිසා එය ජර්මන් භටයන් හඳුනාගනියි කියා ඔවුන් සිතූ නිසයි.”

“උමඟ තුළ ජීවත් වූ අයට ඝන අන්ධකාරයේ සිටීමටද සිදු වුණා” කියා පැවසූ ඇය එකවරම අපව ඝන අන්ධකාරයේ හෙළමින් ඇගේ අතේ තිබූ විදුලි පහන නිවා දැම්මා. “එදා මෙතන ජීවත් වූ අයට නිතරම භූමිතෙල් ලාම්පු දල්වාගෙන ඉන්න ලැබුණේ නැහැ” කියාද ඇය පැවසුවා. ඉන්පසු අපි අඳුරේම බිත්ති අතපත ගාමින් ඉදිරියට ඇදෙද්දී ඇය මෙසේද පැවසුවා. “ඔයාලා මේක ඇතුළේ අතරමං වෙලා කොච්චර කෑගැහුවත් වැඩක් නැහැ. මේ බිත්තිවලට ශබ්දය උරාගන්නවා.” අපේ භය දෙගුණ තෙගුණ වෙන්න කලින් ඇය නැවතත් විදුලි පහන දැල්වූවා.

“එදා මුරසේවයේ යෙදුණු ආරක්ෂක භටයින් පැය දෙකෙන් දෙකට මාරු වුණා. ඊට හේතු වුණේ ඝන අන්ධකාරයේ දැඩි නිහඬතාවක බොහෝ වේලාවක් ඉන්න කොට ඔවුන්ට එක එක ශබ්ද ඇසෙන්න පටන්ගන්න නිසයි” කියා ඇය තවදුරටත් පැවසුවා. අපි ටිකක් ඉදිරියට යද්දී අපේ උමඟට ඉහළින් විවරයක් තිබූ අතර එයින් අපගේ උමඟට ඉහළින් තිබූ හරස් අතට කැපූ උමඟක් දකින්න ලැබුණා. ‘ඒක පටන් අරන් තියෙන්නේ කොහෙන්ද? ඒක ඉවර වෙන්නේ කොහෙන්ද’ කියලා දැනගන්න මටත් පොඩි ආශාවක් ඇති වුණා. “එම උමං මාර්ග පද්ධතියෙන් දැනට සොයාගෙන තිබෙන්නේ කිලෝමීටර් 1,700ක් පමණයි. සොයාගැනීම සඳහා තව විශාල ප්‍රමාණයක් ඉතුරු වී තිබෙනවා” කියාද ඇය විස්තර කළා.

මෑතකදී කළ සොයාගැනීම්වලදී ගවේෂකයන්ට අලුත් උමං හමු වී තිබෙනවා. ඒවා තුළ තිබී අවුරුදු සිය ගණනක් පැරණි පුවත්පත්, රුසියානු විප්ලවයට පෙර භාවිත කළ භූමිතෙල් ලාම්පු සහ සාර්වරුන්ගේ කාලයේ භාවිත කළ මුදල් සොයාගෙන තිබෙනවා. ඒවා අයිති එදා ඉතා ගැඹුරු මෙන්ම අඳුරු, දීර්ඝ ඕඩේසා උමං පද්ධතියේ ජීවත් වූ තාවකාලික වැසියන්ටයි.—සපයන ලදක්.

[25වන පිටුවේ කොටුව⁄පින්තූරය]

වටිනා ගොඩනැඟිලි ද්‍රව්‍ය

උමංවලින් කපාගත් කහ පැහැති හුණුගල්වලින් ඉදි කරන ලද අලංකාර ගොඩනැඟිලි අදටත් ඕඩේසා නගරයේ දැකගත හැකියි. සමහරක් ගොඩනැඟිලිවල පහත මාලයට ගොස් දොර ඇරිය විට කෙළින්ම උමංවලට ඇතුල් විය හැකියි. වර්තමානයේ එම නගරයේ ගොඩනැඟිලි ඉදිකරන්නේද එම හුණුගල්වලිනුයි.

[24, 25වන පිටුවේ පින්තූරය]

දෙවන ලෝක මහා යුධ සමයේදී භාවිත කළ රෝහල් ඇඳන්

[24, 25වන පිටුවේ පින්තූරය]

ඕඩේසා උමං පද්ධතියේ මුළු දිග කිලෝමීටර් 2,500ක් පමණ වන බව ගණන් බලා තිබෙනවා