Skip to content

පටුනට යන්න

බයිබලයේ සෑම කොටසක්ම අදටත් අදාළද?

බයිබලයේ සෑම කොටසක්ම අදටත් අදාළද?

බයිබලයෙන් පිළිතුරක්

බයිබලයේ සෑම කොටසක්ම අදටත් අදාළද?

“බයිබලයේ තිබෙන තොරතුරු අද සිටින ජනයාට ඇත්තෙන්ම ප්‍රයෝජනයක් නැති තරම්. ප්‍රහේලිකාවක් විසඳීමට හෝ ප්‍රශ්නෝත්තර තරඟයකදී පිළිතුරු දීම වගේ දේවලට නම් බයිබල් දැනුම ප්‍රයෝජනවත්.”

“දෙවිට ගරුබිය දැක්වීම සම්බන්ධයෙන්, පවුල් පෙළපත් සම්බන්ධයෙන් හා පතිවත රැකීම සම්බන්ධයෙන් බයිබලයේ දී ඇති උපදෙස් අදාළ වන්නේ ඒ කාලයේ සිටි ජනයාටයි. නමුත් අද කාලයට එය අදාළ වන්නේ ඉතාමත් අල්ප වශයෙනුයි.”

“බයිබලය යල් පැන ගිය පොතක් බවට පත් වුණේ එය මුල් වතාවට මුද්‍රණය කිරීමටත් කලිනුයි.”

එම අදහස් රැගෙන තිබෙන්නේ “බයිබලය යල් පැන ගිය පොතක්ද” යන මාතෘකාව යටතේ අන්තර්ජාලය ඔස්සේ කළ සාකච්ඡාවකිනුයි. එම අදහස් ගැන ඔබේ මතය කුමක්ද? ඔබත් ඒවාට එකඟද?

බයිබලය සම්බන්ධයෙන් කර ඇති එවන් චෝදනාවලට සමහරවිට ඔබ එකඟ නොවනවා විය හැකියි. නමුත් ඒ අතරම බයිබලයේ ඇතුළත් සියලුම තොරතුරු අදටත් අදාළද කියා ඔබ කල්පනා කරනවා විය හැකියි. අද තිබෙන බොහෝ පල්ලි විසින් බයිබලය අලුත් ගිවිසුම හා පරණ ගිවිසුම කියා කොටස් දෙකකට බෙදා තිබෙනවා. ඉන් ඔවුන් අදහස් කරන්නේ බයිබලයේ අඩංගු තොරතුරුවලින් සියයට 75ක්ම අද දිනට අදාළ නොවන යල් පැන ගිය ඒවා බවයි.

උදාහරණයකට දෙවි, මෝසෙස්ට දුන් නීතියේ අඩංගු සත්ව පූජා ගැන ඔවුන් සඳහන් කරනවා. එවන් පූජා ගැන සඳහන් වී තිබෙන ලෙවී කතාව නමැති පොත අද කාලයට අවශ්‍ය නැති බව ඔවුන්ගේ අදහසයි. (ලෙවී කතාව 1:1–7:38) එමෙන්ම පළමුවෙනි ලේකම් පොතේ මුල්ම පරිච්ඡේද ගැනද ඔවුන් එසේ ප්‍රශ්න කරනවා. (1 ලේකම් 1:1–9:44) පුරාණ ඊශ්‍රායෙල්වරුන්ගේ පෙළපත් සම්බන්ධයෙන් ඇති සම්පූර්ණ වාර්තාවක් එහි සඳහන් වෙනවා. එම පෙළපත්වලින් පැවත එන කිසිවෙක් අද දින නැති නිසා එම වාර්තා තබාගැනීමෙන් ඵලක් නැහැ කියා ඔවුන් පවසනවා.

හොඳයි, අපි ඒ ගැන මෙසේ සිතමු. ඔබ අඹ ගසකින් ගෙඩියක් කඩාගන්නවා කියා සිතන්න. අඹ ගෙඩිය කඩාගත් පසු ඒ ගසෙන් දැන් ඵලක් නැහැ කියා ඔබ සිතනවාද? ඔබට ඉන් තවත් ගෙඩි අවශ්‍ය නම් ඔබ එසේ සිතන්නේ නැහැ. බයිබලය අපි එම අඹ ගසට සමාන කරමු. බයිබලයේ සමහර කොටස් එනම්, ගීතාවලිය පොත, යේසුස්ගේ කන්ද උඩ දේශනය වැනි කොටස්වලට අපි වැඩි කැමැත්තක් දක්වනවා විය හැකියි. නමුත් ඉහත සඳහන් උදාහරණය මෙන් අප කැමති කොටස පමණක් ලබාගෙන ඉතුරු ඒවා ඉවත් කිරීම සුදුසුයි කියා ඔබ සිතනවාද? ඒ ගැන බයිබලයේ සඳහන් අදහස අපි සලකා බලමු.

ක්‍රිස්තු වර්ෂ 65දී පමණ පාවුල්, තිමෝතිට දෙවන ලිපිය ලියද්දී එහි මෙසේ සඳහන් කළා. “ඔබේ ළදරු කාලයේ පටන් ඔබ ශුද්ධ ලියවිල්ල ගැන අවබෝධයක් ලබාගත් ආකාරය ඔබ දන්නෙහිය. ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි ඔබට තිබෙන විශ්වාසය මෙන්ම ඔබ ලබාගත් ඒ අවබෝධයද ඔබේ ගැලවීමට මඟ පාදනු ඇත.” ඉන්පසුව ඔහු පැවසූ දේ බලන්න. “මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත් ප්‍රයෝජනවත්ය.” (2 තිමෝති 3:15, 16) “මුළු ශුද්ධ ලියවිල්ලම” දෙවිගේ බලයෙන් ලියා ඇත කියද්දී ඔහු ඉන් අදහස් කළේ අලුත් ගිවිසුම කියා හඳුන්වන කොටස පමණයිද?

තිමෝති “ශුද්ධ ලියවිලි ගැන” දැන සිටියේ ඔහු කුඩා කළ පටන් කියා පාවුල් පැවසූ දේ සැලකිල්ලට ගන්න. සමහරුන් පවසන්නේ පාවුල් තිමෝතිට එම ලිපිය ලියන කාලයේ තිමෝති වයස අවුරුදු 30 ගණන්වල පසු වූ බවයි. ඒ අනුව බලද්දී යේසුස් මිය යන කාලයේදී ඔහු බිලිඳු අවදියේ පසු වුණා විය යුතුයි. ඒ කාලය වන විට අලුත් ගිවිසුම කියා හඳුන්වන ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ කිසිම පොතක් ලියා තිබුණේ නැහැ. ඉන් පැහැදිලි වන්නේ යුදෙව් කාන්තාවක් වූ තිමෝතිගේ මව විසින් තිමෝතිට ඉගැන්වූයේ පරණ ගිවිසුම කියා හඳුන්වන හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලියි. (ක්‍රියා 16:1) ඒ අනුව පාවුල් “මුළු ශුද්ධ ලියවිල්ලම” කියා පවසද්දී ඊට පූජාවන් සම්බන්ධ නීති හා පෙළපත් වාර්තා ඇතුළත් සම්පූර්ණ පරණ ගිවිසුම ඇතුළත් වූ බවට කිසිම සැකයක් නැහැ.

අවුරුදු 1,900කට පසුව පවා බයිබලයේ අඩංගු එම කොටස් අපට අදටත් විවිධාකාරයෙන් ප්‍රයෝජනදායකයි. අද බයිබලය අප අත තිබෙන්නේ එය ලිවීමටත් මේ දක්වා එය ආරක්ෂා කිරීමටත් දෙවි මිනිසුන්ව පෙලඹවූ නිසයි. (රෝම 3:1, 2) පුරාණ ඊශ්‍රායෙල්වරුන්ට දෙවි, මෝසෙස් තුළින් තම නීතිය ලබා දුන්නේ ඊළඟ පරම්පරාවට උරුම කර දීම සඳහා ඇති ශුද්ධ යමක් ලෙස නොවෙයි. එය ඊශ්‍රායෙල් ජාතියේ ව්‍යවස්ථාවයි. අපට එහි සඳහන් තොරතුරු වැදගත්කමක් නැති බව පෙනුනත් ඒවා එදා සිටි ඊශ්‍රායෙල් ජාතියේ පැවැත්මට හා ඔවුන්ගේ ජීවිත හොඳින් ගෙන යෑමට ඉතා වැදගත් වුණා. ඒ වගේම දාවිත්ගේ පෙළපතින් පැමිණීමට නියමිත වූ ගැලවුම්කරුව හඳුනාගැනීමටද එම පෙළපත් පිළිබඳ වාර්තා ඔවුන්ට උපකාරවත් වුණා.—2 සාමුවෙල් 7:12, 13; ලූක් 1:32; 3:23-31.

අද අප ජීවත් වන්නේ දෙවි, මෝසෙස්ට දුන් නීතිය යටතේ නොවුණත් ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීමට බයිබලයේ එම කොටස් අපට අවශ්‍යයි. දෙවි විසින් පොරොන්දු වූ “දාවිත්ගේ පුත්‍රයා” යේසුස් බව තහවුරු කරගැනීමට පුරාණ පෙළපත් පිළිබඳ වාර්තාවන් අපට ඉතා ප්‍රයෝජනවත්. එමෙන්ම යේසුස් කළ ඉතා වටිනා ජීවිත පූජාව මහත් සේ අගය කිරීමටත් ඒ කෙරෙහි අපගේ අගය ගොඩනැංවීමටත් පුරාණයේ කළ පූජාවන් පිළිබඳ වාර්තා අපට උපකාරවත් වෙනවා.—හෙබ්‍රෙව් 9:11, 12.

පළමු ශතවර්ශයේ සිටි ක්‍රිස්තියානීන්ට පාවුල් මෙවැනි දෙයක් ලිව්වා. “අතීතයේ ශුද්ධ ලියවිලිවල එසේ ලියා තිබෙන සෑම දෙයකින්ම අපට යමක් ඉගෙනගත හැක. එමගින් අපි විඳදරාගැනීමට ඉගෙනගනිමු. එලෙසම ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ලද අද්දකින්නෙමු. ඒ දේවල් බලාපොරොත්තුවක් ඇතුව සිටීමට අපට උපකාරවත් වෙයි.” (රෝම 15:4) දෙවි බයිබලය ලිවීමට සැලැස්වූයේ අපගේ ප්‍රයෝජනය සඳහාම පමණක් නොවෙයි. අවුරුදු 3,500ක කාලපරිච්ඡේදයක් පුරා එය දෙවිගේ සෙනඟට මඟ පෙන්වීමට, උපදෙස් දීමට හා ඔවුන්ව නිවැරදි කිරීමට උපකාර කර තිබෙනවා. එදා සීනයි කාන්තාරයේදී, පොරොන්දු දේශයේදී, බැබිලෝනියේ වහල්භාවයේදී, රෝම අධිරාජ්‍ය සමයේදී වගේම අද දින ලෝක ව්‍යාප්තවත් දෙවිගේ වචනය වන බයිබලය බොහෝදෙනෙකුට ප්‍රයෝජනවත් මඟ පෙන්වීම් සපයා තිබෙනවා. ඒ හා සමාන වෙන කිසිම පොතක් නැහැ. අඹ ගසේ මුල් අපට නොපෙනෙනවා හා සමානව බයිබලයේ සමහර කොටස්වල ඇති වැදගත්කම අපට එකවරම තේරුම්ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. නමුත් අපි ඒ සම්බන්ධයෙන් ටිකක් අධ්‍යයනය කළොත් එය තේරුම්ගත හැකි වන අතර ඒ සඳහා දරන උත්සාහයට බොහෝ ප්‍රතිඵලද ලැබෙයි!

මේ ගැන ඔබ සිතුවාද?

● තිමෝති “ශුද්ධ ලියවිලි” ගැන දැන සිටියේ කොපමණ කාලයක පටන්ද?—2 තිමෝති 3:15.

● අපට ප්‍රයෝජනවත් මෙන්ම දෙවිගේ බලයෙන් ලියැවුණේ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ කුමන කොටස්ද?—2 තිමෝති 3:16.

● ‘ශුද්ධ ලියවිලිවල ලියා තිබෙන සෑම දෙයකින්ම’ ප්‍රයෝජන ලැබීමට අපට හැක්කේ කෙසේද?—රෝම 15:4.

[29වන පිටුවේ පින්තූර]

යේසුස් කළ ඉතා වටිනා ජීවිත පූජාව මහත් සේ අගය කිරීමට බයිබලයේ සඳහන් තොරතුරු අපිට උපකාරවත් වෙනවා