Skip to content

පටුනට යන්න

මට නිදහසක් නැද්ද?

මට නිදහසක් නැද්ද?

යෞවන අය අසති

මට නිදහසක් නැද්ද?

පහත සඳහන් සිද්ධීන්වලදී ඔබ බොහෝවිට ප්‍රතිචාරය දක්වන ආකාරය ඉදිරියෙන් ✓ලකුණ දමන්න.

1. ඔබ නිදන කාමරයේ දොර වසාගෙන සිටින විට ඔබේ සහෝදරයා හෝ සහෝදරිය දොරට තට්ටු නොකරම කාමරයට ඇතුල් වෙයි.

‘ඒකට කමක් නැහැ. මමත් ඉතිං එයාලගේ කාමරයට යන්නේ ඒ විදිහටනේ.’

‘ඒක නම් හරිම නරක පුරුද්දක්! මම ඒ වෙලාවේ ඇඳුම් මාරු කරකර හිටියා නම්?’

2. ඔබ දුරකථනයෙන් යාළුවෙකු සමඟ කතා කරන විට ඔබේ මව ඒ අසල සිටිමින් ඊට සවන් දෙමින් සිටින බව ඔබ තේරුම්ගනියි.

‘ඒකට කමක් නැහැ. මට හංගන්න දෙයක් නැහැනේ.’

‘ඒක හොඳ පුරුද්දක් නෙවෙයි. මට දැනෙන්නේ ඒගොල්ලන් මං ගැන ඔත්තු බලනවා වගේ කියලයි.’

3. ඔබ ගෙදරට ගොඩ වුණ ගමන්ම අම්මයි තාත්තයි “ඔයා කොහේද ගියේ, මොනවද කෙරුවේ, ඔයත් එක්ක කවුද ගියේ” කියලා ප්‍රශ්න වැලක් අහන්න පටන්ගනියි.

‘ඒකට කමක් නැහැ. මම සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට හැම දෙයක්ම වගේ කියනවා.’

‘මට නම් හරිම දුකයි! අම්මයි තාත්තයි මාව හැමතිස්සෙම සැක කරනවා!’

ඔබ කුඩා කාලයේ ඔබේ සහෝදර සහෝදරියන් ඔබේ කාමරයට එන එක ඔබට එතරම් ප්‍රශ්නයක් නොවන්න ඇති. ඒ වගේම දෙමාපියන් ඔබෙන් ඇසූ දෙයක් ගැන ඔබ දන්නා සියල්ල නොසඟවා ඔවුන්ට පවසන්න ඇති. ඒ කාලයේදී ඔබේ ජීවිතය හරියට විවෘත කළ පොතක් වගෙයි. ඔබ ගැන සෑම තොරතුරක්ම අන් අයට දැනගන්න පුළුවන්. නමුත් දැන් ඒ පොත වැසිය යුතුයි කියා ඔබට සිතෙනවා ඇති. එනම් ටිකක් තනිවම කාලය ගත කිරීමට අවශ්‍යයි කියා හෝ ඔබ කරන සෑම දෙයක්ම අනික් අය දැනගත යුතු නැහැයි කියා ඔබට සිතෙනවා ඇති. වයස අවුරුදු 14ක් වන කුරේ තම හැඟීම් මෙසේ පවසනවා. “මං ගැන සමහර දේවල් නොකියා ඉන්න මං කැමතියි.” *

යෞවනයන් තුළ එවැනි වෙනසක් ඇති වන්නේ ඇයි? එය ඔබ වැඩිහිටියෙක් දක්වා වර්ධනය වන බවට එක්තරා ලක්ෂණයක්. එමෙන්ම ඒ කාලය තුළ ඔබේ ශරීරයේ සිදු වන වෙනස්කම් නිසා ඔබ ඔබේ පෙනුම ගැනත් දෙමාපියන් ඉදිරියේ හැසිරෙන ආකාරය ගැනත් පෙරට වඩා වැඩි අවධානයක් දීමට පටන්ගනියි. වෙනදාට වඩා සමහර කාරණා ගැන ඔබ ගැඹුරින් සිතන බවක්ද ඔබට දැනෙන්න පුළුවන්. එය ඔබ වැඩිහිටියෙකු දක්වා වර්ධනය වන කාලයේදී ඔබේ “සිතීමේ හැකියාව” වර්ධනය කරගනිමින් තිබෙන බවට සාක්ෂියක්. එය යෞවනයෙකු තුළ දකින්න ලැබෙන කදිම ගුණාංගයක් බව බයිබලයේද සඳහන් වෙනවා. (හිතෝපදේශ 1:1, 4; ද්විතීය කතාව 32:29) සමහර අවස්ථාවලදී යේසුස්ට පවා යම් දේවල් ගැන ගැඹුරින් කල්පනා කිරීම සඳහා “පාළු තැනකට” වී සිටීමට අවශ්‍ය වුණා.—මතෙව් 14:13.

ඔබ තවමත් සිටින්නේ දෙමාපියන් යටතේ නිසා ඔබ ගැන සැලකිල්ලෙන් පසු වීමට ඔවුන්ට අයිතියක් තිබෙනවා. (එෆීස 6:1) නමුත් ඔවුන් ඔබ ගැන දක්වන සැලකිල්ල සහ ඒ ගැන යෞවනයෙක් හැටියට ඔබට හැඟෙන ආකාරය සමඟ ගැටීමක් ඇති විය හැකියි. ඊට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද? එවැනි ගැටුම් මතු විය හැකි පැති දෙකක් ගැන දැන් අපි සලකා බලමු.

ඔබට තනිවම සිටීමට අවශ්‍ය වන විට

ඔබට තනිවම සිටීමට අවශ්‍ය වන හොඳ හේතු ගණනාවක්ම තිබිය හැකියි. සමහරවිට ඔබට ‘ටිකක් විවේක ගන්න’ අවශ්‍ය ඇතියි. (මාක් 6:31) එසේත් නැත්නම් යේසුස් තම අනුගාමිකයන්ට පැවසූ ලෙස ‘ඔබේ කාමරයට ගොස් දොර වසාගෙන දෙවිට යාච්ඤා කරන්න’ ඔබට අවශ්‍ය විය හැකියි. (මතෙව් 6:6; මාක් 1:35) නමුත් එහිදී මතු වන ගැටලුව වන්නේ ඔබේ කාමරයට ගොස් (ඔබට කාමරයක් තිබෙනවා නම්) ඔබ දොර වසාගන්නේ යාච්ඤා කිරීමටයි කියා ඔබේ දෙමාපියන් නොදැන සිටීම විය හැකියි. ඒ වගේම ඔබට ටිකක් තනිවම සිටින්න අවශ්‍යයි කියා ඔබේ සහෝදර සහෝදරියන් තේරුම් නොගන්නත් පුළුවන්.

ඒ ගැන ඔබට කළ හැකි දේ. ඔබේ කාමරය යුද පිටියක් කරගන්නවා වෙනුවට මෙම යෝජනා අත්හදා බලන්න.

● ඔබේ කාමරයට පැමිණීම සම්බන්ධයෙන් ඔබේ සහෝදර සහෝදරියන්ට යම් සාධාරණ සීමාවන් තබන්න. අවශ්‍ය නම් ඒ සඳහා දෙමාපියන්ගේ සහයද ලබාගත හැකියි.

● දෙමාපියන් ඔබ ගැන සොයා බැලීමට හේතුව තේරුම්ගැනීමට උත්සාහ කරන්න. රෙබේකා නමැති 16 හැවිරිදි යෞවනිය ඒ ගැන පවසන දේ බලන්න. “සමහර වෙලාවට මම මොනවාද කරන්නේ කියලා අම්මයි තාත්තයි හරිම සෝදිසියෙන් ඉන්නේ. ඒ වුණත් අවංකව කියනවා නම් මමත් අම්මා කෙනෙක් වෙලා හිටියා නම් මමත් මගේ ළමයා ගැන ඉන්නේ සෝදිසියෙන්. විශේෂයෙන්ම ඔවුන් මුහුණ දෙන අභියෝග ගැන.” ඇය මෙන් ඔබටත් ඔබේ දෙමාපියන්ව තේරුම්ගන්න පුළුවන්ද?—හිතෝපදේශ 19:11.

● අවංකවම මේ ගැන සිතා බලන්න: ‘කාමරයේ දොර වහගෙන ඉන්න වෙලාවලදී මම වැරදි වැඩ කරනවා යන හැඟීමක් දෙමාපියන් තුළ ඇති වන විදිහට මම හැසිරෙනවාද? දෙමාපියන් මා ගැන රහසින් තොරතුරු සෙවීමට තරම් මා කටයුතු කරන්නේ හොර රහසින්ද?’ ඔබ ඔවුන් සමඟ විවෘතව කටයුතු කරන තරමටම ඔවුන් ඔබ ගැන සැක කරන ප්‍රමාණයද අඩු වන බව සැලකිල්ලට ගන්න. *

ගත හැකි පියවර. එවන් ප්‍රශ්න ගැන කතා කිරීමට මුල පිරීම සඳහා ඔබට පැවසිය හැකි දේ පහත සඳහන් කරන්න.

․․․․․

මිතුරන් ඇති කරගන්නා විට

ඔබ යෞවන වියට පා තබන විට පවුල් කවයෙන් පිට මිතුරන් ඇති කරගැනීමට දක්වන ආශාව සාමාන්‍ය දෙයක්. අනික් අතට ඔබේ මිතුරන් කවුද, ඔබ ඔවුන් සමඟ කරන්නේ මොනවාද කියා සොයා බැලීම ඔබේ දෙමාපියන්ගේ වගකීමක්. නමුත් ඔවුන් ඔබව නිකරුණේ සැක කරනවා කියා ඔබට සිතෙන්න පුළුවන්. ඒ ගැන 16 හැවිරිදි එමීට හැඟුණේ මෙසේයි. “මම ඊ-මේල් එකක් කියවනකොට ජංගම දුරකථනය පාවිච්චි කරනකොට මගේ අම්මයි තාත්තයි එබි එබි බලනවාට මම කැමති නැහැ. ඒ වගේම මම කා එක්කද කතා කෙරුවේ කියලා හැමතිස්සේම අහනවටත් මම ආස නැහැ.”

ඔබට කළ හැකි දේ. මිතුරන් ඇති කරගැනීමේදී ඔබේ දෙමාපියන් හා ඔබ අතර ගැටලු ඇති වීමට ඉඩ දෙනවා වෙනුවට මෙම යෝජනා ක්‍රියාත්මක කර බලන්න.

● ඔබේ මිතුරන් කවුද කියා ඔබේ දෙමාපියන්ට පවසන්න. එමෙන්ම ඔවුන්ව දැන හඳුනා ගැනීමට දෙමාපියන්ට අවස්ථාව උදා කර දෙන්න. ඔබේ මිතුරන් කවුද කියා දෙමාපියන් රහසිගතව සොයා බලනවාට ඔබ අකමැති විය හැකියි. නමුත් ඒ අය කවුද කියා ඔවුන් දන්නේ නැත්නම් ඔබේ මිතුරන් ගැන සොයා බලනවා හැරෙන්න ඔවුන් වෙන මොනවා කරන්නද? දෙමාපියන් එසේ කරන්නේ ඔබේ මිතුරන්ගෙන් ඔබට විශාල බලපෑමක් ඇති වන බව ඔවුන් හොඳින් දන්නා නිසයි. (1 කොරින්ති 15:33) ඔබ ආශ්‍රය කරන අය ගැන ඔවුන් හොඳින් දන්නවා නම් ඔබ තෝරාගෙන ඇති මිතුරන්ට ඔවුන් විරුද්ධ නොවිය හැකියි.

● එම කාරණය ගැන ගෞරවනීය ලෙස ඔබේ දෙමාපියන්ට පවසන්න. නමුත් ඔබව විවේචනය කරනවා කියා ඔවුන්ට චෝදනා කරන්න එපා! ඒ වෙනුවට මෙවැනි දෙයක් පැවසීම සුදුසු විය හැකියි. “මම මගේ යාළුවොත් එක්ක කතා කරන හැම දෙයක්ම අම්මයි තාත්තයි අහගෙන ඉන්න කොට මම ලොකු අපහසුතාවකට පත් වෙනවා. මමත් ආසයි මගේ යාළුවොත් එක්ක ටිකක් නිදහසේ කතා කරන්න.” සමහරවිට ඉන්පසුව ඔබේ දෙමාපියන් ඔබට යම් නිදහසක් ලබා දිය හැකියි.—හිතෝපදේශ 16:23.

● අවංකවම මේ ගැන සිතා බලන්න: ඔබට තනි වෙන්න අවශ්‍ය, නිදහස ඕනේ නිසාද නැත්නම් යම් රහසිගත දෙයක් කිරීම සඳහාද? ඒ ගැන 22 හැවිරිදි බ්‍රිටනි මෙසේ පවසනවා. “ඔබ ජීවත් වෙන්නේ දෙමාපියන් යටතේ නම් ඒ වගේම ඔවුන් නිතරම ඔබ ගැන සෙවිල්ලෙන් පසු වෙනවා නම් ඔබට සිතන්න තිබෙන්නේ මෙපමණයි. ‘මං කරන්නේ වරදක් නෙවෙයි නම් ඇයි මම ඒක රහසිගතව කරන්නේ?’ නමුත් දෙමාපියන්ගෙන් යමක් වසං කරන්න ඔබට සිතෙනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ එතන මොකක් හරි දෙයක් තියෙනවා කියන එකයි.”

ගත හැකි පියවර. එවන් ප්‍රශ්න ගැන කතා කිරීමට මුල පිරීම සඳහා ඔබට පැවසිය හැකි දේ පහත සඳහන් කරන්න.

․․․․․

ඔබට අවශ්‍ය නිදහස

ඔබට අවශ්‍ය නිදහස ලබාගැනීමේදී ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු පියවර කිහිපයක් ගැන සිතා බලන්න.

පළමුවන පියවර: ගැටලුව හඳුනාගන්න.

ඔබට වැඩි නිදහසක් අවශ්‍ය කුමන පැතිවලින්ද?

․․․․․

දෙවන පියවර: ඔබේ දෙමාපියන්ගේ අදහස් සැලකිල්ලට ගන්න.

ඔබ සිතන ආකාරයට ඔවුන් ඔබ ගැන එතරම් සෙවිල්ලෙන් සිටින්නේ ඇයි?

․․․․․

තුන්වන පියවර: ගැටලුව විසඳීමට පියවර ගන්න.

(1) දෙමාපියන් ඔබ ගැන සෙවිල්ලෙන් පසු වන්නේ නොදැනුවත්ව හෝ ඔබ අතින් සිදු වූ යම් දෙයක් නිසා විය හැකියි. අඩුම තරමින් එසේ වූවා යයි සිතිය හැකි එක් දෙයක් ගැන හෝ කල්පනා කර එය පහත සඳහන් කරන්න.

․․․․․

(2) එවැනි තත්වයක් මඟ හැරීම සඳහා ඔබට ගත හැකි පියවර කුමක්ද?

․․․․․

(3) ඔබ මුහුණ දෙන ගැටලුව ඔබේ දෙමාපියන් කෙසේ විසඳනවාටද ඔබ කැමති?

․․․․․

හතරවන පියවර: ඒ ගැන කතා කරන්න.

ඔබ ඉහත සඳහන් කළ තොරතුරු සුදුසු වේලාවක් බලා ඔබේ දෙමාපියන් සමඟ සාකච්ඡා කරන්න.

[පාදසටහන්වල]

^ 13 ඡේ. මෙම ලිපියේ සමහර නම් වෙනස් කර ඇත.

^ 21 ඡේ. ඔබේ දෙමාපියන් දිගින් දිගටම ඔබ ගැන සැකයෙන් සිටිනවා නම් ඒ ගැන ඔබට හැඟෙන ආකාරය ගෞරවනීයව හා සන්සුන්ව ඔවුන්ට පවසන්න. ඉන්පසු ඔවුන් පවසන දේට ඉතා හොඳින් සවන් දෙන්න. ඒ අවස්ථාවේදී ගැටලුවක් නොවන ආකාරයෙන් කටයුතු කිරීමටද වගබලා ගන්න.—යාකොබ් 1:19.

සිතා බලන්න

● ඔබ ගැන නිතර විමසිල්ලෙන් සිටීමට ඔබේ දෙමාපියන්ට අයිතියක් තිබෙන්නේ ඇයි?

● දෙමාපියන් සමඟ අදහස් හුවමාරු කරගන්නා ආකාරය දියුණු කරගැනීමෙන්, පසු කාලයේදී වෙනත් වැඩිහිටියන් සමඟ හොඳින් අදහස් හුවමාරු කරගැනීමට උපකාරයක් වන්නේ කෙසේද?

[19වන පිටුවේ කොටුව⁄පින්තූර]

යෞවනයන් පවසන දේ

“යෞවනයන් එයාලගේ දෙමාපියන් එක්ක විවෘතව කතා කරනවා නම් දරුවන් මොනවද කරන්නේ කියලා දැනගන්න ඒ අයගේ ඊ-මේල් කියවන්නවත් කෙටි පණිවිඩ බලන්නවත් දෙමාපියන්ට අවශ්‍යතාවක් නැහැ.”

“අම්මයි තාත්තයි මගේ ඊ-මේල් කියෙව්වට මට ප්‍රශ්නයක් නැහැ. රැකියා ස්ථානයේ ස්වාමියාට එයාගේ සේවකයන්ගේ ඊ-මේල් කියවන්න පුළුවන් නම් දෙමාපියන්ට එයාලගේ දරුවන්ගේ ඊ-මේල් කියවන්න බැරි ඇයි?”

“තම දරුවන්ට කිසිම අනතුරක් වෙනවාට දෙමාපියන් කැමති නැහැ. නමුත් ඔවුන් දරුවන්ගේ නිදහසට බාධාවක් කරනවා වගේ දරුවන්ට දැනෙන්න පුළුවන්. ඒක සාධාරණ නැහැයි කියලාත් හිතෙන්න පුළුවන්. හැබැයි අවංකවම කියනවා නම් මමත් අම්මා කෙනෙක් වෙලා හිටියා නම් කරන්නේ ඒ ටිකම තමයි.”

[පින්තූර]

ඊඩන්

කෙවින්

ඇලානා

[21වන පිටුවේ කොටුව]

දෙමාපියෙනි මේ ඔබටයි

● ඔබේ පුතා ඔහුගේ නිදන කාමරයේ දොර වසාගෙන සිටියි. දොරට තට්ටු නොකර එකවර ඇතුළට කඩාවැදීම සුදුසුද?

● ඔබේ දුව නිවසින් පිට වෙද්දී ජංගම දුරකථනය ගෙන යෑමට අමතක වෙයි. ඔබ එහි ඇති කෙටි පණිවිඩ කියවීම හරිද?

ඒවාට පිළිතුරු දීම එතරම් ලෙහෙසි දෙයක් නොවෙයි. එක් අතකින් ඔබේ දරුවා කරන කියන දේවල් ගැන සොයා බැලීමට ඔබට අයිතියක් තිබෙන අතර දරුවාව ආරක්ෂා කිරීමට ඔබට වගකීමක්ද තිබෙනවා. අනික් අතට සෑම මොහොතකම දරුවාගේ පස්සෙන්ම සිටිමින් ඔහු කරන කියන සෑම දෙයක්ම සොයා බැලීමට ඔබට බැහැ. එසේනම් ඒ පිළිබඳව සමබරව කටයුතු කරන්න ඔබට හැක්කේ කෙසේද?

පළමුව, ඔබේ දරුවා නිදහස සොයන්නේ සැමවිටම වැරදි දෙයක් කිරීමට නොවන බව තේරුම්ගන්න. දරුවන් වැඩිහිටියන් බවට පත් වන විට නිදහස සෙවීම සාමාන්‍ය දෙයක්. ඒ තුළින් ඔවුන්ට හොඳ මිත්‍රත්වයන් ඇති කරගැනීමටත් තම ‘බුද්ධිය’ භාවිත කරමින් ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු විසඳාගැනීමටත් ඔවුන්ට හැකියාව ලැබෙයි. (රෝම 12:1, 2) එමෙන්ම වැඩිහිටියෙක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය වැදගත් ගුණාංගයක් වන සිතීමේ හැකියාව වර්ධනය කරගැනීමටද එම නිදහස ඔවුන්ට උපකාරයක්. (1 කොරින්ති 13:11) අසීරු ප්‍රශ්නවලට පිළිතුරු දීමට පෙර හොඳින් සිතා බැලීමටද එය ඔවුන්ට උපකාරයක්.—හිතෝපදේශ 15:28.

දෙවනුව, ඔබේ දරුවාගේ සෑම පුංචි කාරණා ගැනම සොයා බැලීමට උත්සාහ කිරීමෙන් ඔහු තුළ කෝපයක් ඇති වීමට හෝ කැරලිගැසීමට මඟ පෑදිය හැකියි. (එෆීස 6:4; කොලොස්සි 3:21) ඉන් අදහස් කරන්නේ ඔබ ඒ උත්සාහය අත්හැර දැමිය යුතු බවද? කොහෙත්ම නැහැ. ඔබ තවමත් ඔහුගේ දෙමාපියන්. ඔබේ ඉලක්කය විය යුත්තේ හොඳින් පුහුණු කරන ලද හෘදය සාක්ෂියක් ඔහු තුළ ඇති කිරීමට වෙර දැරීමයි. (ද්විතීය කතාව 6:6, 7; හිතෝපදේශ 22:6) දරුවන් කරන කියන දේවල් ගැන සෙවිල්ලෙන් සිටිනවාට වඩා හරි දේ කිරීමට මඟ පෙන්වීම ප්‍රයෝජනවත් බව ඔබට වැටහෙයි.

තුන්වනුව, ගැටලුව ගැන ඔබේ දරුවා සමඟ සාකච්ඡා කරන්න. ඔහු හෝ ඇය පවසන දේට හොඳින් සවන් දෙන්න. ඔබට නම්‍යශීලී ලෙස හෝ සාධාරණව කටයුතු කරන්න පුළුවන්ද කියා සිතා බලන්න. (ෆිලිප්පි 4:5) දරුවා ඔබේ විශ්වාසය කඩ නොකරන තාක් කල් ඔබ ඔහුට යම් ප්‍රමාණයක නිදහසක් ලබා දෙන බව දැනගන්න සලස්වන්න. ඒ වගේම ඔහු ඔබේ විශ්වාසය කඩ කළොත් ලැබෙන දඬුවම් ගැනද සඳහන් කරන්න. අවශ්‍ය විට ඒවා ක්‍රියාත්මක කරන්න. දෙමාපියන් ලෙස ඔබ ඔවුන් ගැන සැලකිලිමත් වන අතරතුර යම් තාක් දුරකට ඔවුන්ට නිදහස ලබා දීමටත් ඔබට හැකි බව තේරුම්ගන්න.

[20වන පිටුවේ පින්තූරය]

විශ්වාසය වැටුපකට සමානයි. එය උපයාගැනීමට නම් වෙහෙස වී වැඩ කළ යුතුයි