Skip to content

පටුනට යන්න

මා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකු වීමට හේතුව

මා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකු වීමට හේතුව

මා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකු වීමට හේතුව

පැවසුවේ තෝමස් ඔරොස්කෝ

මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට ගිය මුල්ම දවසේම පොඩි පිරිමි ළමයෙක් කථාවක් ඉදිරිපත් කළා. ඒ ළමයා කථික පුවරුව තරම්වත් උස නැහැ. ඒ වුණත් ඔහු ඒ කතාව ඉදිරිපත් කළ දක්ෂ විදිය හා ගෞරවනීය විලාසය ගැන මට හරියට පුදුම හිතුණා. එතැන හිටිය අයත් ඒ කතාවට හොඳ අවධානයක් දුන්නා.

මම බොලිවියා යුද හමුදාවේ නියෝජිතයෙක් ලෙස ඇමරිකාවේ සේවය කළ අතර බොලිවියා යුද හමුදාවේ අණ දෙන නිලධාරියෙක් ලෙසත් ජනාධිපතිගේ පෞද්ගලික සහයක ලෙසත් සේවය කළා. ඒ කාලයේදී සාමාන්‍යයෙන් කවුරුත් මට ගෞරව කළා. ඒත් ඒ කුඩා දරුවාට අන් අයගෙන් ලැබුණු ගෞරවය දැක්කාම මට මගේ ජීවිතය ගැන නැවතත් සිතා බලන්න ඕනේ කියලා හිතුණා.

වර්ෂ 1930 මැද භාගයේදී පැරගුවාව හා බොලිවියාව අතර පැවති චාකෝ යුද්ධයෙන් මගේ තාත්තා මිය ගියා. වැඩි කල් යන්න කලින් මගේ ඉගෙනීමේ කටයුතු සඳහා මාව කතෝලික මඩමක නැවැත්තුවා. අවුරුදු ගණනාවක් තිස්සේ මම හැමදාම පූජාවට සහභාගි වුණා. ගීතිකා ගායනා කළා. දේශනවලට සවන් දුන්නා. ඒ වගේම කටපාඩමෙන් යාච්ඤා කළා. ඒ විතරක් නෙවෙයි, මම පූජාවට උදව් කරන කණ්ඩායමේත් ගායනා කණ්ඩායමේත් සේවය කළා. ඒ වුණත් ඇත්තම කියනවා නම් මම කවදාවත් බයිබලයක් කියවලා තියා දැකලවත් තිබුණේ නැහැ!

කතෝලිකයන් හැටියට අපි පැවැත්වූ ආගමික උත්සවවලට මම හරි කැමතියි. ඉඳලා හිටලා ලැබුණු ඒ වෙනසට මම ගොඩක් ආසයි. ඒත් අපිට ආගම උගන්වපු පූජකවරුන් සහ අනික් අය හරිම සැරයි. ඒ නිසා ඔවුන්ට ළං වෙනවා වෙනුවට මම ඔවුන්ගෙන් එන්න එන්න ඈත් වුණා. ඒ නිසා මට ආගම එපා වුණා.

හමුදා සේවයට හිත ගිය හේතුව

දවසක් හරිම කඩවසම් විදිහට ඇඳගත් තරුණ හමුදා භටයන් දෙදෙනෙක් නිවාඩුවක් ගත කරන්න අපේ නගරය වන ටරිජාවලට ආවා. ඔවුන් එහෙ ඇවිත් තිබුණේ බොලිවියාවේ ප්‍රධාන නගරය වන ලාපෑස්වල ඉඳලයි. ඔවුන් පිළිවෙළකට ඇඳ පැළඳ සිටි අතර ඉතාමත් ගෞරවනීය පෙනුමක් ඔවුන්ට තිබුණා. ඔවුන් නගරය පුරා ඇවිද ගියේ හරිම තේජවත් ආකාරයටයි. ඔවුන් කොළ පාට නිල ඇඳුමෙන් සැරසී සිටි අතර පැළඳ සිටි තොප්පියත් හරිම ලස්සනයි. ඔවුන්ව දැක්ක ඒ මොහොතේ පටන් හමුදා නිලධාරියෙක් වීමේ ආශාව මා තුළ ඇති වුණා. මට හිතුණේ ඒ අයට නම් ජීවිතයේ ගොඩක් අද්දැකීම් ඇති කියලයි.

මට වයස අවුරුදු 16දී, ඒ කියන්නේ 1949දී මම බොලිවියාවේ හමුදා පුහුණු කඳවුරකට ඇතුළත් වුණා. එහි ගිය මුල්ම දවසේ මම දැක්කා ප්‍රධාන දොරටුවේ සිට හමුදා බැරැක්කය දක්වා දිග පෝලිමක් තියෙනවා. එදා මාව එක්කගෙන ගියේ මගේ අයියයි. අයියා ලුතිනන්වරයාට මාව හඳුන්වලා දීලා මා ගැන වර්ණනා කළා. ඊටපස්සේ ඔහු එතැනින් පිට වෙලා යනවාත් එක්කම නවකයෙකුව පිළිගන්නා සුපුරුදු ක්‍රමයට මාවත් පිළිගත්තා. ඒ කියන්නේ මාව බිම ඇද වැටෙන්න හොඳ පාරක් ගහලා මට මෙහෙම කිව්වා. “අපි බලමුකො මෙතන තීරණ ගන්නේ කවුද කියලා.” ඒ වුණත් එදායින් පස්සේ නම් මට අතක් උස්සන්න කවුරුවත් ආවේ නැහැ.

කාලයක් යද්දී යුද ශිල්ප ගැන සහ ගෞරවාන්විත හමුදා නිලධාරියෙක් හැටියට කටයුතු කරන විදිහ ගැන මම ඉගෙනගත්තා. ඒ වුණත් නිලධාරියෙකුගේ පිටාතර පෙනුමෙන් ඔහු ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා කියන්න බැරි බව පසුව මම තේරුම්ගත්තා.

විශිෂ්ට තනතුරක් අත් කරගනිමින්

මගේ වෘත්තියේ මුල් කාලයේ මම පුහුණුව ලැබුවේ ජෙනරල් බෙල්ග්‍රැනෝ නමැති ප්‍රහාරක නෞකාවෙයි. සොල්දාදුවන් දහසකට වැඩියෙන් වුණත් ගෙන යෑමේ පහසුකම් ඊට තිබුණා. දෙවන ලෝක මහා යුද්ධයට පෙර මෙම නෞකාව ඇමරිකා නාවික හමුදාව විසින් යූ. එස්. එස්. ෆීනික්ස් ලෙස නම් කර සේවයේ යොදාගෙන තිබුණා. ජපානය විසින් 1941දී පර්ල් වරායට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන්ද එම නෞකාව බේරුණා.

අවසානයේදී බොලිවියාවේ නාවික හමුදාවේ දෙවැනියා ලෙසට මාව පත් කළා. එහිදී කිරීමට තිබූ කාර්යය වුණේ බොලිවියාවේ දේශ සීමාවට අයත් වන ඇමසන් ද්‍රෝණිය හා ටිටිකාකා විල ආරක්ෂා කිරීමයි.

ඒ අතරතුර 1980 මැයි මාසයේදී හමුදාව නියෝජනය කරන කණ්ඩායමක් ඇමරිකාවේ වොෂින්ටන් ඩී. සීවලට යැවීමට නියමිත වුණා. ඒ සඳහා යුද, ගුවන් හා නාවික හමුදාවලට අයත් සෑම ශාඛාවකින්ම උසස් නිලධාරියෙක්ව තෝරාගත්තා. මගේ සේවා කාලය සලකා බලා එක් කණ්ඩායමක ප්‍රධාන සංවිධායක ලෙස සේවය කිරීමට මගේ නමත් ඉදිරිපත් කළා. ඒ අනුව මම ඇමරිකාවේ වසර දෙකකට ආසන්න කාලයක් සිටි අතර පසුව මම බොලිවියානු ජනාධිපතිගේ පෞද්ගලික සහායක ලෙස සේවය කළා.

අණ දෙන නිලධාරියෙකු ලෙස මට සෑම ඉරු දිනකම පල්ලියට යන්න සිද්ධ වුණා. විප්ලව හා යුද්ධවලට පූජකයන් සම්බන්ධ වී ඇති නිසා ආගම ගැන මට විශාල කලකිරීමක් ඇති වුණා. ඒ වගේම යුද්ධවලදී මිනිස් ජීවිත දහස් ගණනක් විනාශ කිරීමට පල්ලි නායකයන් ඔවුන්ගේ සහයෝගය දීම වැරදි බවත් මම දැනගෙන හිටියා. ඔවුන් කළ එවැනි දේවල් නිසා ආගම අත්හරිනවා වෙනුවට සත්‍ය සෙවීමට මා තුළ උනන්දුවක් ඇති වුණා. මම කවදාවත් බයිබලයක් කියවා තිබුණේ නැති වුණත් පසුව බයිබලය එහෙන් මෙහෙන් කියවන්න පටන්ගත්තා.

කැපීපෙනෙන සංවිධානාත්මක බවක්

මගේ බිරිඳ මැනුවෙලා ඒ වෙන කොටත් බයිබලය පාඩම් කිරීමට පටන්ගෙන තිබුණා. ඒ වෙනත් රටකින් පැමිණි යෙහෝවාදෙවිගේ සාක්ෂිකාරියක් වන ජෙනට් සමඟයි. පසුව මැනුවෙලා ඔවුන්ගේ රැස්වීම්වලට සහභාගි වීමට පටන්ගත්තා. ඇයව ඒ රැස්වීම්වලට ඇරලවන්න මම ගියත් ඒවාට සහභාගි වෙන්න මට වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. මම හිතුවේ ඒ තැන්වල ඉන්න අය කෑ කෝ ගහන අය කියලයි.

එක දවසක් මැනුවෙලා මගෙන් ඇහුවා ජෙනට්ගේ ස්වාමිපුරුෂයාව මට මුණගස්වන්නද කියලා. ඒත් මුලින් මම ඒ යෝජනාවට කැමති වුණේ නැහැ. ඒ වුණත් මම ඉගෙනගෙන තිබුණු දේවල් නිසා ඔහු කියන දේවල් වැරදියි කියා ඔප්පු කරන්න මට පුළුවන් වෙයි කියලා හිතලා මම ඔහුට එන්න කිව්වා. මට මුලින්ම ඉයන්ව හමු වුණ වෙලාවේ මගේ හිත ගියේ ඔහු කියපු දේවල්වලට වඩා ඔහු හැසිරුණ විදිහටයි. ඔහුට තිබූ බයිබල් දැනුමෙන් මාව අපහාසුතාවට පත් කරනවා වෙනුවට ඔහු කටයුතු කළේ ඉතාමත්ම කරුණාවන්ත හා ගෞරවාන්විත ආකාරයටයි.

ඊළඟ සතියේම ඔවුන්ගේ රැස්වීමකට සහභාගි වෙන්න මම තීරණය කළා. මම මුලින්ම සඳහන් කළ ඒ කුඩා දරුවා බයිබලයෙන් කොටසක් සාකච්ඡා කළේ එදයි. ඔහු එදා බයිබලයේ යෙසායා පොතෙන් කොටසක් කියවා ඒක පැහැදිලි කර පෙන්වපු මොහොතේ මම තේරුම්ගත්තා මට හම්බ වෙලා තිබෙන්නේ පුදුමාකාර සංවිධානයක් කියලා. කලින් මට ඕනේ වුණේ උසස් නිලධාරියෙක් වෙන්නයි. නමුත් දැන් මට ඕනේ ඒ කුඩා දරුවා වගේ අන් අයට බයිබලය ගැන උගන්වන්නයි. එදා මගේ හදවත උණු වුණා වගේ මට දැනුණා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙලාවට වැඩ කරන, මිත්‍රශීලී හා ආචාර සම්පන්න පිරිසක් යන කාරණයටත් මගේ හිත ගියා. ඔවුන් විනීතව හා පිරිසිදුව ඇඳ පැළඳ සිටින ආකාරය ගැන මට පුදුම හිතුණා. ඒ වගේම මම වැඩි කැමැත්තක් දැක්වූවේ ඔවුන්ගේ රැස්වීම්වල තියෙන නිසි පිළිවෙළ හා සංවිධානාත්මක බවටයි. යම් දිනයකට කතාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා නම් ඒ දිනයේ අසන්න ලැබෙන්නේ එම කතාවමයි. මෙතැන මේ වගේ හොඳ සැලැස්මකට දේවල් සිදු වෙන්නේ තව කෙනෙකුට තියෙන භය නිසා නොවෙයි, ප්‍රේමය නිසා බව මම තේරුම්ගත්තා.

එදා ඒ රැස්වීමෙන් පස්සේ මම තීරණය කළා ඉයන් එක්ක බයිබලය පාඩම් කරන්න. අපි අධ්‍යයනය කළේ පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක යන පොතයි. * ඒ පොතේ තුන්වන පරිච්ඡේදයේ තියෙන බිෂොප් කෙනෙක් යුද්ධයට යන පිරිසකට ආශීර්වාද කරන පින්තූරය මට තාමත් මතකයි. ඒ වගේ සිදුවීම් මගේ ඇස් දෙකෙන්ම මම දැකලා තිබුණ නිසා ඒක බොරුවක් නෙවෙයි කියලා මම තේරුම්ගත්තා. රැස්වීමකට ගිය තවත් අවස්ථාවකදි රීසනිං ෆ්‍රොම් ද ස්ක්‍රිප්චර්ස් (සිංහලෙන් නැත) නමැති පොත මම ලබාගත්තා. සැබෑ ක්‍රිස්තියානීන් යුද්ධවලදී හා දේශපාලන කාරණාවලදි පැති ගන්නේ නැති බව ඒ පොතෙන් මම තේරුම්ගත්තා. ඒ නිසා මගේ ජීවිතයේ යම් වෙනස්කම් කළ යුතු බවත් මට වැටහුණා. නැවත කවදාවත් පල්ලි නොයන්න තීරණය කළ මම දිගටම රැස්වීම්වලට සහභාගි වුණා. ඒ විතරක් නෙවෙයි, හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නත් මම තීරණය කළා.

බව්තීස්මය දක්වා ප්‍රගතියක් ලබමින්

සති කිහිපයකට පසුව සමුළුවක් පැවැත්වෙන බවත් එම ක්‍රීඩාංගනය පිරිසිදු කිරීමට සභාවේ සියලුදෙනා සහභාගි වන බවත් මට දැනගන්න ලැබුණා. ඒකට සහභාගි වෙන්න මමත් හරිම ආශාවෙනුයි හිටියේ. ඒ නිසා පිරිසිදු කිරීමේ කාර්යයට මමත් සහභාගි වුණා. මමත් අනික් අයත් එක්ක හරි හරියට වැඩ කළා. ඒ වැඩවලින් මම ලොකු සතුටක් ලැබුවා විතරක් නෙවෙයි හොඳ ආශ්‍රයකුත් භුක්ති වින්දා. එදා මම අතුගගා ඉන්න කොට තරුණයෙක් මා ළඟට ඇවිල්ලා ඇහුවා ඔයා නේද නාවික හමුදාවේ සේනාධිපතිවරයා කියලා.

මම කිව්වා “ඔව්” කියලා.

ඊටපස්සේ ඔහු පුදුමයෙන් කෑගහලා මෙහෙම කිව්වා. “මට නම් මේක අදහාගන්නවත් බැහැ! සේනාධිපතිවරයෙක් අතුගානවා!” සාමාන්‍යයෙන් උසස් හමුදා නිලධාරියෙක් බිම අතුගානවා තියා බිම තියෙන කොළ කෑල්ලක්වත් ඇහිඳින්නේ නැහැ. ඒ තරුණයා නාවික හමුදාවේ මගේ පෞද්ගලික රියදුරායි. නමුත් දැන් ඔහු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්!

එකමුතුකමට රහස ප්‍රේමයයි

හමුදාවේ සාමාන්‍යයෙන් ගරු කරන්නේ උසස් නිලයන් දරන අයටයි. ඒ ආකල්පය මා තුළත් මුල් බැසගෙන තිබුණා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සිටින වගකීම් දරන හා මුල් තැන ගෙන කටයුතු කරන අය, අනිකුත් සාක්ෂිකරුවන්ට වඩා උසස් කියලා මට හිතුණා. එවැනි ආකල්ප මා තුළ තිබුණත් එය ඉක්මනින්ම වෙනස් කිරීමට කාලය පැමිණියා.

ඒ කාලයේදීම වගේ එනම් 1989දී නිව් යෝක් සිට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජික සහෝදරයෙක් එම සමුළුවේදී කතාවක් දීමට බොලිවියාවට පැමිණීමට නියමිත බව මම දැනගත්තා. ඒ “උසස්” සාමාජිකයාට අනික් අය සලකන්නේ කොහොමද කියලා බලන්න මට ඕනෑ වුණා. ඒ වගේ උසස් සාමාජිකයෙකුගේ පැමිණීම හරිම උත්කර්ෂවත් විදිහට සමරයි කියා මම හිතුවා.

සමුළුව පටන්ගත්තත් විශේෂ කෙනෙකුගේ පැමිණීමක් ගැන නම් නිවේදනයක් කළේ නැහැ. අපි ළඟ වයසක යුවළක් වාඩි වෙලා හිටියා. ඒ කාන්තාව ළඟ ඉංග්‍රීසි ගීතිකා පොතක් තිබුණා. ඒ වැඩසටහන අතර ලැබුණු විවේකකාලයේ මැනුවෙලා ඇය එක්ක ටිකක් කතා කළා. ටික වෙලාවකට පස්සේ ඒ දෙන්නා එතැනින් නැඟිටලා ගියා.

ඊට පස්සේ අපි ළඟ හිටිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා එම සමුළුවේ විශේෂ කතාව දීමට වේදිකාවට යන විට අපි පුදුම වුණා! තත්වය, ගෞරවය, බලය හා උසස් නිල සම්බන්ධයෙන් මෙතෙක් කල් මට තිබුණ ඒ හැම අදහසක්ම ඒ මොහොතේ වෙනස් වුණා. ඊට පස්සේ මම මෙහෙම කිව්වා. “අපිත් එක්ක මෙච්චර වෙලා එකට ඉඳගෙන ඉඳලා තියෙන්නේ අර පාලක මණ්ඩලයේ සහෝදරයානේ! මට නම් ඒක හිතාගන්නවත් බැහැ.”

බයිබලයේ මතෙව් 23:8හි සඳහන්“ඔබ සියලුදෙනාම සහෝදරයෝයි” කියලා යේසුස් කියපු වචනවල තේරුම මට පැහැදිලි කරල දෙන්න ඉයන් කොච්චර උත්සාහ කළාද කියලා මතක් වෙද්දිත් දැන් මට හිනා යනවා.

පළමු වතාවට දේශනා සේවයේ යමින්

මම සම්පූර්ණයෙන්ම හමුදා සේවයෙන් ඉවත් වුණාට පස්සේ මට ගෙයින් ගෙට සේවයේ යන්න එන්න කියලා ඉයන් ආරාධනා කළා. (ක්‍රියා 20:20) අපි එදා සේවයේ ගියේ මම අකමැතිම ප්‍රදේශයකයි. එහෙ වැඩිපුරම තියෙන්නේ හමුදා නිල නිවාසයි. අපි එක ගෙදරකට ගියාම ඒකෙන් එළියට ආවේ මම මඟ අරින්න උත්සාහ කළ පුද්ගලයාමයි. ඔහු හමුදා ජෙනරාල්වරයෙක්. ඔහු මගේ බෑග් එකයි බයිබලයයි දිහා හොඳට බලලා අපහාසයට වගේ මෙහෙම ඇහුවාම මට ගොඩක් භය හිතුණා. “ඔයාට මොනවද මේ වෙලා තියෙන්නේ?”

මම ඉක්මනින්ම කෙටි යාච්ඤාවක් කළා. ඊට පස්සේ මට දැනුණ භය අඩු වෙලා ලොකු ශක්තියක් හා සන්සුන් මනසක් මට ලැබුණා. ජෙනරාල්වරයා මගේ පණිවිඩයට හොඳින් සවන් දීලා අපේ සඟරා පොත් පත් කිහිපයකුත් අරගත්තා. එදා ලැබුණු ඒ දිරිගැන්වීම නිසා මම යෙහෝවා දෙවිට මගේ ජීවිතය කැප කරන්න තීරණය කළා. අවසානයේදී 1990 ජනවාරි 3වෙනිදා මම බව්තීස්ම වුණා.

පසුව මගේ භාර්යාවත් පුතත් දුවත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බවට පත් වුණා. දැන් මම අවේක්ෂකයෙක් ලෙස සභාවක සේවය කරනවා. ඒ වගේම දෙවිගේ රාජ්‍ය ගැන අන් අයට කියා දීමට මම පූර්ණකාලීනව මගේ කාලය කැප කරල තියෙනවා. මට යෙහෝවා දෙවි ගැන දැනගැනීමට ලැබීමත් ඔහුගේ සේවකයෙක් ලෙස ඔහු මාව පිළිගෙන තිබීමත් මම සලකන්නේ මහත් වරප්‍රසාදයක් ලෙසයි. එය අද ලෝකයේ තිබෙන ඕනෑම උසස් තත්වයකට හා නිලයකට වඩා වටිනා දෙයක්. ඕනෑම දෙයක් පිළිවෙළට කරන්න අපිට දැඩි නීති අවශ්‍ය නැහැ. ඒ සඳහා අවශ්‍ය අන්‍යෝන්‍ය සැලකිල්ලයි. යෙහෝවා දෙවිත් පිළිවෙළකට වැඩ කරන කෙනෙක්. ඊටත් වඩා ඔහු ප්‍රේමණීය දෙවි කෙනෙක්.—1 කොරින්ති 14:33, 40; 1 යොහන් 4:8.

[පාදසටහන]

^ 21 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. එය දැන් මුද්‍රණය නොකෙරේ.

[13වන පිටුවේ පින්තූරය]

මගේ සහෝදරයා වන රෙනාටෝ සමඟ 1950දී

[13වන පිටුවේ පින්තූරය]

චීනයෙන් හා වෙනත් රටවලින් පැමිණි හමුදා නිලධාරීන් සමඟ සුහද හමුවක