සුන්දර ෆේරෝ දූපත්
සුන්දර ෆේරෝ දූපත්
එක පොකුරට පිහිටි කුඩා දූපත් 18ක් උතුරු අත්ලාන්තික් සාගරයේ හුදෙකලාව පිහිටා තිබෙනවා. ඒවා හඳුන්වන්නේ ෆේරෝ දූපත් යන නමිනුයි. එහි සියලුම වැසියන් කතා කරන්නේ එක භාෂාවක්. ඉතාමත්ම සුන්දර එම දූපත්වල කඳු වළල්ල දිස් වන්නේ මුහුදට මුහුණ ලා පිහිටා තිබෙන ආකාරයටයි. මුහුද ආසන්නයේ පිහිටි නිවෙස් අලංකාරවත් ලෙස විවිධ වර්ණවලින් පින්තාරු කර තිබෙනවා. ඒ වගේම ගිම්හාන ඍතුවේදී තණ නිල්ලෙන් වැසී ගිය කඳු මුදුන් දෙසට කාගෙත් නෙත් සිත් ඇදී යන්නේ ඔවුන්ටත් නොදැනීමයි.
එම දූපත්වල ජනගහනය 48,000ක් පමණ වන අතර ඔවුන් ජීවත් වන්නේ එක ප්‍රජාවක් ලෙසයි. නමුත් එය එතරම් පහසු දෙයක් නොවෙයි. ඈත අතීතයේ ඔවුන් එක දූපතකින් තවත් එකකට ගමන් කිරීමට හා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට යොදාගත්තේ බෝට්ටුයි. ඒ වගේම ගම්මානයක සිට තවත් ගම්මානයකට ඔවුන් කඳු බෑවුම් හරහා දුෂ්කර පටු මාවත් දිගේද ගමන් කළා. නිවසක් තැනීමට අවශ්‍ය වුණා නම් ඒ සඳහා ගොඩනැඟිලි ද්‍රව්‍ය රැගෙන ආවේ බෝට්ටුවලිනුයි. ඉන්පසු එම ගොඩනැඟිලි ද්‍රව්‍ය අදාළ ස්ථානයට රැගෙන යෑමට සිදු වූ අතර එය ඉතාමත් දුෂ්කර කාර්යයක් වුණා.
එහි ආරම්භය
මුලින්ම ෆේරෝ දූපත් ගැන ලියුවේ අයර්ලන්ත ජාතික පැවිද්දෙක් විසිනුයි. ඒ ක්‍රිස්තු වර්ෂ 825දීයි. ඔහු විස්තර කරන්නේ තමා ජීවත් වීමට අවුරුදු සියයකට පමණ පෙර එහි ජීවත් වුණේ අයර්ලන්ත ජාතික පැවිද්දන් බවයි. කෙසේනමුත් එහි මුල්ම පදිංචිකරු ලෙස සැලකෙන්නේ නවවන සියවසේ මුල්භාගයේදී නොර්වේ සිට පැමිණි ග්‍රිමුර් කැම්බන් නැමැත්තයි.
එහි මුල් වැසියන්ගේ ජීවිකාව වූයේ ධීවර කර්මාන්තය වුණත් පසුව ඔවුන් බැටළුවන් ඇති කිරීමටද පටන්ගත්තා. ෆේරෝ යන නමෙහි තේරුම “බැටළු දූපත” යන්නයි. ඊට හේතුව එහි බහුල වශයෙන් බැටළු ගොවිපොළවල් තිබීමයි. බැටළු ලොම්වලින් සකසාගත් ඇඳුම් ඔවුන්ට සුළඟින්, වැස්සෙන් හා අධික ශීතලෙන් ආරක්ෂා වීමට ප්‍රයෝජනවත් වුණා. ඒ නිසා ඔවුන් බැටළු ලොම් සැලකුවේ රත්තරන් හා සමානවයි.
අද දිනත් එම දූපත්වල සිටින්නේ මිනිසුන්ට වඩා බැටළුවනුයි. ඔවුන් ආහාරය සඳහා බැටළුවන්ව මරන්නේ පාරම්පරික ක්‍රමයකටයි. ඉන්පසු ඔවුන් ඒ බැටළු මස් හොඳින් වාතාශ්‍රය ලැබෙන කුටිවල එල්ලා තබනවා. ඊට හේතුව එසේ සුළඟට වේළෙන මස්වලින් ලැබෙන ප්‍රණීත රසයට ඔවුන් බොහෝ සෙයින් ප්‍රිය කරන නිසයි.
ෆේරෝ දූපත්වල ජනයා ගත කරන්නේ හුදෙකලා ජීවිතයක් නිසා ඔවුන් අතර කිට්ටු බැඳීමක් තිබෙනවා. ඒ වගේම ඔවුන් එකිනෙකා මත යැපෙනවා. වර්තමානයේදී එම දූපත් අතර ගමනාගමනය හා සන්නිවේදනය දියුණු මට්ටමක පැවතියත් ඔවුන් අතර කලින් තිබූ ඒ බැඳීම තවමත් ඒ ආකාරයෙන්ම පවතිනවා.
උමං මාර්ග
සුරෝ නමැති දූපතේ ගම්මාන දෙකක් විශාල කන්දකින් වෙන් වී තිබුණු නිසා එම ගම්මාන දෙක යා කිරීමට කන්ද මැදින් උමං මාර්ගයක් සාදනු ලැබුවා. නමුත් එය සිතන තරම් පහසු කාර්යයක් වුණේ නැහැ. ඒ සඳහා කන්දේ දෙපැත්තෙන්ම එක විට හෑරීමටත් ඩයිනමයිට් දමා පුපුරුවා හැරීමටත් සිදු වුණා. ඒ කෙසේවෙතත් එම දූපත්වල ඉදි වූ මුල්ම උමං මාර්ගය එය වන අතර එය විවෘත කළේ 1963දීයි.
මෑතකදී මුහුදු මට්ටමේ සිට අඩි 500ක් යටින් උමඟක් ඉදි කර තිබෙනවා. එය තනා තිබෙන්නේ විශාල දූපත් දෙකක් යා කිරීමටයි. එහි ඇති ගල් පර්වත හෑරීමට අඩි 17ක් පමණ දිග විදින කටු භාවිත කළා. එක් පැත්තකින් හාරා ඊට ඩයිනමයිට් දමා පුපුරවා හැර එහි සුන්බුන් ඉවත් කරනු ලැබුවා. මේ ආකාරයට අනික් දූපත දක්වා එනම් කිලෝමීටර් 6ක් පමණ දුරක් දක්වා හෑරීමට එම ක්‍රමයම භාවිත කළා. එම උමං මාර්ගය මහජනයා සඳහා විවෘත කළේ 2006 අප්‍රියෙල් 29වන දිනයි.
දැන් මෙම දූපත්වල උමං මාර්ග 18ක් තිබෙනවා. ඊට දූපත් යා කර මුහුද යටින් යන උමං මාර්ග දෙකක්ද ඇතුළත්. එහි සිටින ජනයාට සාපේක්ෂව බලද්දී එහි උමං මාර්ග වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඉදිරියේදී තවත් එවැනිම උමං මාර්ග දෙකක් සෑදීමට එහි රජය විසින් තීරණය කර තිබෙනවා. ඉන් එකක් 2012දී ඉදි කර අවසන් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. එය දිගින් කිලෝමීටර් 11.9ක් වන අතර එය ලෝකයේ දිය යටින් යන දිගම උමං මාර්ගය වීමටද නියමිතයි.
තවත් සුවිශේෂී බැඳීමක්
ෆේරෝ දූපත්වල සිටින ජනයා අතර වෙනත් ආකාරයේ බැඳීමක් තිබෙන කණ්ඩායමක්ද සිටිනවා. ඒ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුයි. බයිබලයේ සඳහන් වී ඇති දෙවිගේ රාජ්‍ය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට කාන්තාවන් දෙදෙනෙක් මුලින්ම ඒ දූපත්වලට ගියේ 1935දීයි. ඔවුන් පැමිණියේ ඩෙන්මාර්කයේ සිටයි. ඔවුන්ගේ පණිවිඩයට සවන් දුන් දූපත් වාසීන් මෙම කාන්තාවන් දෙදෙනා සමඟ අන් අයටත් එය පැවසීමට හවුල් වුණා.—මතෙව් 24:14.
අද වන විට එහි සාක්ෂිකරුවන් සියදෙනෙක් පමණ සිටින අතර රැස්වීම්වලට සහභාගි වීම සඳහා ඔවුන් රාජ්‍ය ශාලා හතරක රැස්වෙනවා. දැන් ඔවුන්ට මංමාවත් හා උමං මාර්ග පහසුකම් තිබෙන නිසා උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටි එම දූපත්වලට දෙවිගේ රාජ්‍ය පිළිබඳ පණිවිඩය ඉතාමත් උනන්දුවෙන් ප්‍රකාශ කිරීමට හැකි වී තිබෙනවා.
[17වන පිටුවේ පින්තූරය]
විශාල දූපත් දෙකක් එක් කිරීමට මුහුදු මට්ටමේ සිට අඩි 500ක් යටින් තැනුණු උමඟක්