Skip to content

පටුනට යන්න

හදිසියකදී ඔබ අඬගසන සැණින්

හදිසියකදී ඔබ අඬගසන සැණින්

හදිසියකදී ඔබ අඬගසන සැණින්

● ගැබිනි මවක් විශාල ශ්‍රවණාගාරයක බයිබලය මත පදනම් දේශනයකට සවන් දෙමින් සිටියි. හිටිහැටියේම ඇයට ප්‍රසූත වේදනාව ඇති වෙයි. නමුත් බිය වීමට හේතුවක් නැහැ. වහාම පැමිණෙන ගිලන් රථයක් ඇගේ ස්වාමිපුරුෂයා සමඟ ඇයව විනාඩි කිහිපයක් ඇතුළත රෝහල වෙත ගෙන යයි. ඊට සුළු මොහොතකට පසුව ලස්සන සිඟිත්තියක් මෙලොව එළිය දකියි.

අද දින ලෝකයේ බොහෝ රටවල පිහිටුවා ඇති ජංගම දැඩි සත්කාර ගිලන් රථ සේවාවන් මගින් විශාල කාර්යභාර්යයක් ඉටු වෙනවා. හොඳින් පුහුණුව ලැබූ වෛද්‍යවරුන්ගෙන්, හෙදියන්ගෙන් හා රියදුරන්ගෙන් එම ගිලන් රථ සමන්විතයි. * මාර්ග අනතුරු, හෘදයාබාධ හා හදිසි දරු ප්‍රසූතියකදී සිදු වන අනතුරු වැනි හදිසි තත්වයන්වලදී ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන ඔවුන් ඉතා හොඳින් දැනුවත් වී සිටිනවා. ඒ අනුව සෑම වසරකම මෙම කාර්යක්ෂම වෛද්‍ය සේවය මගින් දහස් ගණනකගේ ජීවිත බේරාගන්නවා.

වර්ෂ 2004දී ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නගරයේ මඟී දුම්රිය හතරකට එල්ල වූ ප්‍රහාරයේදී එරටේ ගිලන් රථ සේවය වහාම ක්‍රියාත්මක වූ නිසා ජීවිත 400ක් පමණ බේරාගැනීමට හැකි වුණා. * එම සිද්ධිය ගැන එරටේ හදිසි අනතුරු ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය එර්විජියෝ කෝරල් ටොරෙස් මෙසේ සිහිපත් කරනවා. “මෙම සේවය ගැන මාධ්‍යයන් තුළින් විශාල ප්‍රචාරයක් ලැබෙන්නේ මේ වගේ අවස්ථාවලදී තමයි. නමුත් ඇත්තටම අපි සෑම දවසකම පාහේ අවදානමේ තිබෙන ජීවිත බොහොමයක් ගලවාගන්නවා. මේ සේවයේ තිබෙන විශේෂත්වය එයයි.”

ඔවුන් ලබා දෙන සේවය පහසු කරවීම සඳහා කුමක් කළ යුතුද කියා විමසූ විට වෛද්‍ය කෝරල් මෙසේ පිළිතුරු දුන්නා. “හදිසි අවස්ථාවකදී අපව ඇමතීමේ අවශ්‍යතාව අපි මිනිසුන්ට කාවද්දන්න ඕනේ. අපේ අරමුණ වෙන්නේ අපිට හදිසි ඇමතුමක් ලැබුණු සැණින් කුමන ස්ථානයකට වුණත් කුමන වෙලාවක වුණත් වහාම එතැනට ගොස් විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ඔවුන්ට ලබා දීමයි.” සාමාන්‍යයෙන් විශාල නගරවල එවන් ගිලන් රථ සේවාවන් විනාඩි දහයක් තරම් කෙටි කාලයක් ඇතුළතදී උපකාරයට පැමිණෙයි.

බ්‍රසීලයේ සාන්ත පාවුලෝ වැනි නගරවල වාහන තදබදය නිසා ගිලන් රථ රියදුරන් විශාල ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඊට විසඳුමක් ලෙස ගිලන් රථවලට පෙර යතුරුපැදිවලින් අදාළ ස්ථානය වෙත යන වෛද්‍යවරුන් තත්වය ගැන සොයා බලා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි. එම කාර්යක්ෂම සේවය එංගලන්තයේ ලන්ඩන් නුවර, මැලේසියාවේ ක්වාලා ලම්පූර් නගරයේ සහ ඇමරිකාවේ මියාමි නගරයේ පිහිටුවා තිබෙනවා.

[පාදසටහන්වල]

^ 3 ඡේ. ගිලන් රථයේ තිබෙන වෛද්‍ය උපකරණ භාවිත කිරීමට ඒවායෙහි රියදුරන් හොඳින් දැන සිටිය යුතු අතර රෝගියා සිටින තත්වයට අනුව රිය පැදවීමටද ඔහු දැන සිටිය යුතුයි.

^ 4 ඡේ. වර්ෂ 2004 නොවැම්බර් 8 පිබිදෙව්! කලාපයේ 14වෙනි පිටුව බලන්න. (සිංහලෙන් නැත.)

[11වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබට සහය විය හැකි ආකාර

ඔබේ රටෙත් එවන් සේවයක් ක්‍රියාත්මක වේ නම් ඔවුන්ට උපකාර කිරීමට ඔබට හැකි ආකාර කිහිපයක් පහත දැක්වේ:

1. හැකි විගස හදිසි ඇමතුම් අංකයට අමතන්න.

2. අනතුර සිදු වී ඇති ස්ථානය හෝ රෝගියා සිටින ස්ථානය පැහැදිලිව සඳහන් කරන්න.

3. මතු වී ඇති රෝග ලක්ෂණ නිවැරදිව විස්තර කරන්න. උදාහරණයකට රෝගියා හුස්ම ගන්නවාද, ඔහුට සිහිය තිබෙනවාද, රුධිර වහනයක් සිදු වෙනවාද වැනි තත්වයන් ගැන සඳහන් කරන්න.

4. අදාළ පුද්ගලයාට තුවාල කිහිපයක්ම සිදු වී ඇත්නම් ඔහුව එහාට මෙහාට කිරීමෙන් වළකින්න. එසේ කිරීමෙන් සමහරවිට ඔහුගේ තත්වය තවත් බරපතළ විය හැකියි.

5. රෝගියා වමනය කරයි නම් හුස්ම ගැනීම අවහිර විය හැකි නිසා ඔහුව එක් පැත්තකට හරවා තබන්න.