Skip to content

පටුනට යන්න

කාලය නැණවත්ව භාවිත කරන්න

කාලය නැණවත්ව භාවිත කරන්න

කාලය නැණවත්ව භාවිත කරන්න

“සෑම දෙයකටම නියමිත කාලයක් ඇත.”—දේශනාකාරයා 3:1.

ජීවිතයේ වඩා වැදගත් දේවල් සඳහා කාලය වෙන් කිරීමට නම් මුලින්ම ඒවා හඳුනාගන්න අවශ්‍යයි. ඔබේ ජීවිතයේ වැදගත් දේවල්, ඉලක්ක හා ඒවා ඉටු කරගැනීමට ඔබ කිරීමට බලාපොරොත්තු වන දේවල් හඳුනාගෙන තිබෙනවා නම් එය වඩාත් පහසු වෙයි.

මුලින්ම, ඔබේ ජීවිතයේ වැදගත් දේවල් ගැන සිතන්න. ඒ අතරට ඔබේ පවුල, මිතුරන්, වෙහෙස මහන්සි වී වැඩ කිරීම, අධ්‍යාපනය, සාර්ථකත්වය, පෙනුම, මුදල්, සතුට, විවාහය, සෞඛ්‍යසම්පන්න ජීවිතයක් සහ ආගම වැනි දේවල් සඳහන් කළ හැකියි. නමුත් ඒවායින් මට  වඩාත්ම වැදගත් දේවල් මොනවාද’ කියා කල්පනා කරන්න.

ඉන්පසුව ඔබේ ඉලක්ක ගැන කල්පනා කරන්න. ජීවිතයේ වැදගත් දේවල් හා ඉලක්ක අතර වෙනසක් තිබෙනවාද? අප සාකච්ඡා කරන තොරතුරුවලට අනුව වැදගත් දේවල් කියන්නේ ජීවිතයේ හැමදාමත් තිබෙන දේවල් කියාත් ඉලක්ක කියන්නේ යම් කාලයක් තුළදී අත් කරගැනීමෙන් පසු අවසන් වන දේවල් කියාත් පැවසිය හැකියි.

ඒ අනුව ඔබේ ජීවිතයේ ඉලක්ක මොනවාද? පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කිරීම, සුදුසු රැකියාවක් සොයාගැනීම, යම් ක්‍රීඩාවක දක්ෂයෙක් වීම, හොඳ ගුණාංගයක් වර්ධනය කරගැනීම, නිවාඩුවක් ගත කිරීම, පොතක් කියවීම හෝ ලිවීම විය හැකියි.

නමුත් ජීවිතයේ වැදගත් කියා සලකන දේවල් හා ඔබේ ඉලක්ක අතර එකඟතාවක් තිබිය යුතු බව මතක තබාගන්න. එසේ නොවන විට ගැටලු පැනනැඟිය හැකියි. උදාහරණයකට කෙනෙකුගේ ඉලක්කය ධනවත් වීම නම් එය ඔහුගේ ජීවිතයේ වැදගත් යැයි සලකන දේවල් සමඟ ගැටෙන්න පුළුවන්.

ඔබ යම් ඉලක්ක තෝරාගත් පසු ඒවා ඉටු කරගැනීම සඳහා කළ හැකි දේවල් ගැන සිතන්න. උදාහරණයකට බර අඩු කරගැනීම ඔබේ ඉලක්කය නම් ඒ සඳහා කළ යුත්තේ ව්‍යායාම්වල යෙදීමයි.

එය ඔබට උපකාරවත් වන ආකාරය

ජීවිතයේ වැදගත් දේවල් හා ඔබේ ඉලක්ක එකිනෙකට එකඟව තිබෙන විට, ඒවා ඉටු කරගැනීම සඳහා ඔබ කටයුතු කරන විට ඔබේ ජීවිතය නිශ්චිත දිශාවකට හසුරුවන්න ඔබට පුළුවන්. එවිට ඔබ වඩා වැදගත් දේවල් සඳහා වැඩි කාලයක් දෙන බව ඔබටම වැටහෙයි. කෙසේනමුත් අනිකුත් කාරණා ගැන ඔබ සැලකිල්ලක් නොදැක්විය යුතු බව ඉන් අදහස් කරන්නේ නැහැ. (ෆිලිප්පි 2:4) නමුත් ඉන් අදහස් කරන්නේ අත්‍යවශ්‍ය නොවන දේවල් හඳුනාගෙන ඒවා ප්‍රතික්ෂේප කිරීමට ඔබට හැකි වන බවයි.

එහි සමහර අභියෝගයන්ද තිබිය හැකියි. උදාහරණයකට සමහර දේවල් එතරම් වැදගත් නොවුණත් කිරීමට අවශ්‍ය දේවල්. සමහරවිට එවැනි දේවල් වෙනුවෙන් මුළු දවසම ගත කිරීම නිසා වඩා වැදගත් දේවල් සඳහා කාලය ඉතුරු නොවෙන්න පුළුවන්. ඒ වගේම හදිසි තත්වයන් හා ජීවිතයේ සිදු වන වෙනස්කම් නිසාද අපගේ සැලසුම් ඉටු කරගැනීම දුෂ්කර විය හැකියි. නමුත් වැදගත් දේවල් සඳහා වැඩි කාලයක් ගත කිරීමට පියවර ගැනීම තුළින් ඔබේ කාලය නැණවත්ව භාවිත කිරීමට ඔබට හැකි වෙයි.

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මේවා ඔබේ කාලය ඉතුරු කරනවාද?

කාලය ඉතුරු කරගැනීමට අද බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණ නිපදවා තිබෙනවා. ඒවායින් කාලය ඉතුරු වෙනවා වගේම කාලය නාස්ති වීමටද පුළුවන්. උදාහරණයකට PDA (පර්සනල් ඩිජිටල් ඇසිස්ටන්) නමැති උපකරණය සලකා බලන්න. එහි දිනදර්ශනයක්, දුරකථන අංක හා ලිපිනයන් අඩංගු ලැයිස්තුවක්, කිරීමට නියමිත වැඩ පිළිබඳ ලැයිස්තුවක්, මතක සටහන් පොතක්, කැමරාවක් මෙන්ම ඊ-මේල් හා අන්තර්ජාලයට පිවිසීම වැනි තවත් පහසුකම් රාශියක් ඇතුළත්. එමගින් කාලය ඉතුරු කරගැනීමට නම් ඔබ ඊට නිතරම අලුත්ම තොරතුරු ඇතුළත් කිරීම හා එය ඔබ සමඟ රැගෙන යෑමත් අවශ්‍යයි. කෙසේනමුත් එතරම් වැදගත් නැති තොරතුරු ගවේෂණය කිරීමට, එහි යම් අලුත්වැඩියා කටයුතු කිරීමට, විවිධ මෘදුකාංග ඇතුළත් කිරීමට අවධානය යොමු කළහොත් ඔබගේ වටිනා කාලය නාස්ති විය හැකියි. එමෙන්ම එය ඔබගේ වගකීම්වලට හා අන් අය සමඟ තිබෙන බැඳීම්වලටද බාධාවක් විය හැකියි.

ඉඟියක්: එවන් උපකරණයක් මිල දී ගැනීමට පෙර ඒ ගැන හොඳින් සොයා බලන්න. එය නිතර අලුත්වැඩියා කිරීමට සිදු වෙනවා නම් ඒ සඳහා වැඩි කාලයක් වැය වෙයි. ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණයක් තමන්ට ප්‍රයෝජනදායක ලෙස භාවිත කරනවාද නැද්ද යන්න තීරණය වන්නේ එය භාවිත කරන පුද්ගලයා මතයි. එමනිසා ඔබටත් එවන් උපකරණයක් ඇත්නම් කාලය නාස්ති කිරීමට නොව කාලය ඉතුරු කරගැනීමට එය භාවිත කරන්න.

[4, 5වන පිටුවේ පින්තූරය]

වැදගත් දේවල් සඳහා කාලය වෙන් කරන්න ඔබට හැකිද?