Skip to content

පටුනට යන්න

චිම්පන්සියන්ව බලන්න වනයට ගිය ගමනක්

චිම්පන්සියන්ව බලන්න වනයට ගිය ගමනක්

චිම්පන්සියන්ව බලන්න වනයට ගිය ගමනක්

අපි දැන් ඉන්නේ අප්‍රිකාවේ ඝන වනාන්තරයක් මැද්දෙයි. පටු පාරක් දිගේ ඉදිරියට යද්දී අඩි 180ක් තරම් උස දැවැන්ත ගස් අපිට දකින්න ලැබුණා. ඒවායෙහි එතී ඉහළට ගොස් ඇති විවිධ වැල් වර්ග අපට ඉහළින් දිස් වුණේ හරියට ස්වභාවික වියනක් වගෙයි. අවට පවතින අඳුර යාන්තමින් හෝ මැකී ගියේ ගස් කොළන් අතරින් පතර වැටුණු හිරු එළිය නිසයි. එක දිගට ඇසෙන රැහැයියන්ගේ විලාපයද එහි දෝංකාර දුන්නා. මේ සියල්ල මැද ඉතා සීරුවට පියවර මැන්න අපි තුළ ඇති කළේ ඉමහත් ත්‍රාසයක්. එකවරම අපිව තිගස්සවමින් ඉතා ගැඹුරු හඬින් හුස්ම ඉහළ පහළ දමන ශබ්දයක් ඇසෙන්න පටන්ගත්තා. එය එන්න එන්නම වැඩි වුණා. එයින් කියා පෑවේ මෙතෙක් අපගේ වෙහෙසකර ගමනේ ප්‍රතිඵල අපට ලැබුණු බවයි. ඔව්, අපිට චිම්පන්සියන් රංචුවක් දැකගන්න ලැබුණා.

උන් සාමාන්‍යයෙන් අදහස් හුවමාරු කරගන්න හෝ අනික් උන්ට හඬගසන්න ගැඹුරු හඬින් හුස්ම ඉහළ පහළ දමන ශබ්දයක් පිට කරනවා. නැත්නම් හයියෙන් කෑගසනවා. සමහර වෙලාවට ගස්වල කඳන්වලටත් ගසනවා. බොහෝ දුරට උන් එසේ කරන්නේ ඉදුණු රසවත් අත්තික්කා ගෙඩිවලින් පිරුණු ගසක් දුටුවාම විය හැකියි. හොඳින් අතුපතර විහිදී ගිය අත්තික්කා ගසක චිම්පන්සියන් 20ත් 30ත් අතර ප්‍රමාණයක් නිවිහැනහිල්ලේ එහි පල භුක්ති විඳිනවා අපි දැක්කා. උන්ගේ ලොම් මතට වැටුණු හිරු රැස් නිසා ඒවා දීප්තියෙන් දිදුලන්න පටන්ගත්තා. එක චිම්පන්සියෙක් පොඩි අත්තික්කා අත්තක් අපේ පැත්තට විසි කළා. ඒත් එක්කම අනික් එවුනුත් ඌව අනුගමනය කරන්න පටන්ගත්තා. උන් නොකියා කිව්වේ ‘මේවා නම් ඉල්ලන්න එපා’ කියලයි.

උන්ව පහසුවෙන්ම දැකගන්න පුළුවන් වෙන්නේ පලතුරු බහුල කාලයේයි. අනික් කාලවලදී උන් කුඩා කණ්ඩායම්වලට වෙන් වී පඳුරු ආශ්‍රිත ප්‍රදේශවල කෑම සොයා යන නිසා උන්ව දැකගැනීම දුෂ්කරයි. සාමාන්‍යයෙන් උන් දවස පුරා විටින් විට ආහාර ගනිමින් සහ විවේක ගනිමින් විශාල ප්‍රදේශයක සැරිසැරීමට කැමැත්තක් දක්වනවා. පලතුරුවලට අමතරව උන්ගේ ප්‍රධාන ආහාර වේලට කොළ වර්ග, ඇට වර්ග සහ දඬු වර්ගත් ඇතුළත්. ඒ වගේම කුහුඹුවන්, කුරුලු බිත්තර සහ වේයන්වද ආහාරයට ගන්නා උන් ඉඳහිට වඳුරන් වැනි කුඩා සතුන්වද දඩයම් කරනවා.

හිරු මුදුන් වන විට අව්ව සැර නිසා අත්තික්කා ගසක සිටි චිම්පන්සියෙක් හීන් සැරේ බිමට බහින්න පටන්ගත්තා. වැඩි වෙලා යන්න කලින් අනික් එවුනුත් එකා පස්සේ එකා බිමට බැහැලා කැලේ ඇතුළට ගියා. ඒ අතර හිටිය දඟකාර චිම්පන්සි පැටියෙක් අතුවල පැද්දි පැද්දී වටින් ගොඩින් වගේ අපි කවුද කියා විපරම් කරන්න පටන්ගත්තා. උන්ගේ දඟකාර වැඩ දැකලා අපිට හිනහාත් ගියා.

උන් හරිම සිත් ඇදගන්නාසුලුයි

අපි ආයෙත් හැරිලා එනකොට “අර බලන්න” කියලා අපිත් එක්ක හිටපු කෙනෙක් කිව්වා. අපි හැරිලා බලද්දී චිම්පන්සියෙක් ගහකට මුවා වෙලා අපි දිහා හොරෙන් බලාගෙන හිටියා. ඌ හිටගෙන ඉන්න කොට අඩි හතරක් විතර උසයි. අපි ඌ දිහා බලපු ගමන් ඌ ආයේ ගහට මුවා වුණා. මිනිත්තු කිහිපයකට පස්සේ ඌ ආයෙත් හොරෙන් බැලුවා. එතන වෙන දේවල් බලන්න ඌ හිටියේ හරිම කුතුහලයෙන්. චිම්පන්සියෙකුට පිටුපස ගාත් දෙකෙන් හිටගෙන කෙටි දුරක් ඇවිද යන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් උන් ශරීරයේ මුළු බර යොදන්නේ ගාත්‍රා හතරටමයි. මිනිසුන්ගේ මෙන් උන්ගේ කොඳු ඇට පේළියේ අවසානයට වෙන්න නැම්මක් නැති නිසා කෙළින් හිටගන්න උන්ට බැහැ. උන්ගේ පසුපස ගාත්‍රාවලට වඩා අත් දෙක දිගින් සහ ශක්තියෙන් වැඩියි. ඒ නිසා ඇවිදීමට, ගස් නැඟීමට වගේම අතුවල එල්ලී පැද්දීමට උන්ව නිර්මාණය කර ඇති බවක් පෙනෙයි.

දිගු දෑත්වලින් උන්ට තවත් ප්‍රයෝජනයක් තිබෙනවා. ළඟා විය නොහැකි අතුරිකිලි අග තිබෙන පලතුරු කඩාගැනීමටද එය උන්ට පහසුවක්. උන්ගේ දෑත් හා පාද නිර්මාණය වී ඇති කදිම හැඩය නිසා ගස්වල අතු ශක්තිමත්ව අල්ලාගැනීමට උන්ට හැකියි. එමෙන්ම උන්ගේ දෙපාවල ඇති විශාල මහපට ඇඟිලි පිහිටා තියෙන්නේ දෑතේ මහපට ඇඟිලි මෙන් අනික් ඇඟිලිවලට ඈතිනුයි. ඒ නිසා පහසුවෙන්ම ගස් නැඟීමට, යමක් අල්ලාගැනීමට හෝ රැගෙන යෑමට උන්ට හැකියි. ඒවා විශේෂයෙන්ම උන්ට ප්‍රයෝජනවත් වන්නේ සවස් වේගන එන විට සුව නින්දක් ලැබීම සඳහා සුවපහසු ස්ථානයක් සාදාගැනීමටයි. ඒ සඳහා උන් අසල තිබෙන අතුකිනිති නමා විනාඩි කිහිපයකින් ඔවුන්ගේ යහන සාදාගනියි.

චිම්පන්සියන් හැසිරෙන ආකාරය හා උන්ගේ ශරීර සැකැස්ම දෙස බලද්දී උන් මිනිසුන්ට යම් ආකාරවලින් සමානකමක් දක්වන බව පෙනෙන්න තිබෙනවා. ඒ අනුව බලද්දී උන් ඉතාමත් සිත් ඇදගන්නාසුලු මෙන්ම පුදුමාකාර සත්ව කොට්ඨාසයක්. කෙසේවෙතත් සමහර අය උන් ගැන පරීක්ෂණ පවත්වන්නේ මිනිසා වානරයාගෙන් බිහි වුණා යන මතය තහවුරු කිරීමටයි. නමුත් චිම්පන්සියන් හා මිනිසුන් අතර ලොකු වෙනසක් තිබෙනවා. ඒ කුමක්ද? බයිබලයේ පැහැදිලිව සඳහන් වන්නේ සතුන්ට වෙනස්ව දෙවි මිනිසාව නිර්මාණය කළේ “ඔහුගේම ගතිලක්ෂණ” ඇතුව බවයි. එය පිළිගැනීමට අපට සාක්ෂි තිබෙනවාද?—උත්පත්ති 1:27.

අමතක නොවන අද්දැකීමක්

සාමාන්‍යයෙන් චිම්පන්සියන් වනයේදී මිනිසුන් දුටු විගස සැඟවෙයි. නමුත් සමහර චිම්පන්සියන් තම ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් මිනිසුන්ට නුදුරින් ගැවසීමට පුරුදු වී තිබෙනවා.

චිම්පන්සියන්ව නැරඹීමට අප ගිය ගමන අපිට හැමදාමත් මතකයේ තියෙයි. සත්තු වත්තේ ඉන්න චිම්පන්සියන්ට වඩා කැලේ නිදහසේ ජීවත් වන උන් ඇත්තටම මොනවගේද කියා අපිට යම් දුරකට තේරුම්ගන්න පුළුවන් වුණා. මෙම පුදුමාකාර සත්වයන්ව දෙවි නිර්මාණය කිරීමෙන් පසු එම නිර්මාණ ඉතා යහපත් බව දෙවි දුටුවා කියා බයිබලයේ සඳහන් වෙනවා. එමෙන්ම චිම්පන්සියන්ව ‘පොළොවේ වනමෘගයන්ගේ’ ගණයට අයත් බව බයිබලයේ විස්තර කරන අතර උන්ගේ ශරීර සැකැස්මෙන් පැහැදිලි වන්නේ වනගත පරිසරයකට හොඳින්ම ගැළපෙන අයුරින් උන්ව නිර්මාණය කර ඇති බවයි.—උත්පත්ති 1:24, 25.

[14වන පිටුවේ කොටුව⁄පින්තූරය]

චිම්පන්සියා හා මිනිසා

ජේන් ගූඩල් නමැති සත්ව විද්‍යාඥවරිය 1960 ගණන්වලදී චිම්පන්සියන් පිළිබඳව කළ තම නිරීක්ෂණ ගැන එක් පොතක සඳහන් කළා. යම් කාර්යයන් ඉටු කරගැනීම සඳහා චිම්පන්සියන් “උපකරණ” භාවිත කරන බව එහි සඳහන් වෙනවා. එහි ඇති තොරතුරුවලට එකඟව බොහෝ විද්‍යාඥයන් තේරුම්ගෙන ඇති කාරණය නම් මිනිසා ඇත්තෙන්ම සතුන්ට වඩා ඉතාමත් සංකීර්ණ බවයි. චිම්පන්සියන් සුව නින්දක් සඳහා කොළ අතු යහනක් සකස් කිරීමත් ගෙඩියක මදය ලබාගැනීම සඳහා එය ගලකින් තැළීමත් වේ ගුලකට කෝටුවක් දමා වේයන්ව අල්ලාගැනීමත් පුදුම හිතෙන හැකියාවන් බව ඇත්තයි. කෙසේනමුත් එවැනි හැකියාවන් විදහාපෙන්වන්නේ චිම්පන්සියන් පමණක් නොවෙයි. උදාහරණයකට එක් පොතක සඳහන් වූ දේ බලන්න. “චිම්පන්සියන් පමණක් නොව ඩොල්ෆින්, කුහුඹුවන් සහ මීමැස්සන් වැනි වෙනත් සතුන්ද පුදුමාකාර ලෙස තැනට සුදුසු නුවණ භාවිත කරන බව අධ්‍යයනයන්ගෙන් තහවුරු වී තිබෙනවා.”—එම පොත The Human Nature of Birds.

ඒ වුණත් එයින් මිනිසා සතු අද්විතීය භාවය බාල වන්නේ නැහැ. ඒ ගැන මහාචාර්ය ඩේවිඩ් ප්‍රිමැක් මෙවැනි දෙයක් පැවසුවා. “මිනිසුන් අතර භාවිත වන භාෂාවේ ඇති ව්‍යාකරණ ඇත්තෙන්ම අද්විතීයයි.” මිනිසුන් ඔවුන්ගේ භාෂාව හසුරු වන සියුම් ආකාරය හා සංස්කෘතිය දෙස බලද්දී එය ඔවුන්ව සතුන්ගෙන් වෙන් කරන අති වැදගත් ලක්ෂණයක් වී තිබෙනවා.

වනගත චිම්පන්සියන් සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා කළ අධ්‍යයනයන්ගෙන් පසු ඉහත සඳහන් ජේන් ගූඩල් මෙවැනි නිගමනයකට පැමිණියා. “චිම්පන්සියන්ද සහජයෙන් යම් ආකාරවලින් හැඟීම් පළ කරන බව ඇත්තයි. නමුත් එකිනෙකාට කරුණාවන්තව සැලකීම, එකිනෙකාව ආරක්ෂා කිරීම, ඉවසීම සහ දෙවි කෙනෙකුට නමස්කාර කිරීම වැනි ස්වභාවයක් දකින්න ලැබෙන්නේ මිනිසුන් තුළ පමණයි. එමෙන්ම තම ශරීරය ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්නේද මිනිසා පමණයි. තමන්ගේ පැවැත්මට හේතුව ගැන ප්‍රශ්න කරන්නෙත් අවට පරිසරයේ තිබෙන විශ්මය ජනක නිර්මාණ හා විශ්වය බිහි වී ඇති ආකාරය ගැන සොයා බලන්නෙත් මිනිසා පමණයි.”

මිනිසා සතුන්ට වඩා වෙනස් වීමට හේතුව බයිබලයේ පැහැදිලිව විස්තර කර තිබෙනවා. එනම් දෙවි, මිනිසාව නිර්මාණය කළේ “ඔහුගේම ගතිලක්ෂණ” ඇතුවයි. (උත්පත්ති 1:27) දෙවිගේ ප්‍රධාන ගතිලක්ෂණයක් වන ප්‍රේමය ඇතුළු තවත් බොහෝ ගුණාංග සතුන් තුළ නොව මිනිසා තුළ දකින්න ලැබෙන්නේ ඒ නිසයි. මිනිසාව නිර්මාණය කර තිබෙන්නේද තීරණ ගැනීමේ නිදහස ඇතුව මිස සතුන් මෙන් සහජයෙන් කටයුතු කිරීමට නොවෙයි. එමෙන්ම විශාල දැනුමක් රැස්කර ගැනීමට මිනිසා සතු හැකියාවත් බුද්ධිමත්ව කටයුතු කිරීමේ හැකියාවත් ගැන සිතද්දී සතුන්ව මිනිසුන්ගේ අහලකින්වත් තියන්න බැහැ!

[15වන පිටුවේ පින්තූර]

දඟකාර මෙන්ම කුතුහලයෙන් පිරි චිම්පන්සියන් වනගත පරිසරයකටම යෝග්‍ය ලෙස නිර්මාණය කර ඇති බවක් පෙනේ

[හිමිකම් විස්තර]

Chimpanzees, top right: Corbis/Punchstock/Getty Images; lower left and right: SuperStock RF/​SuperStock; Jane Goodall: © Martin Engelmann/​age fotostock

[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Photononstop/SuperStock