Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

“වර්ෂ 2008දී පමණක් ලොව පුරා යුධමය කටයුතු සඳහා වැය කළ මුළු මුදල ඇමරිකානු ඩොලර් 14,64,00,00,00,000ක් බව ගණන් බලා තිබෙනවා. එය 1999 සිට බලද්දී සියයට 45ක වැඩි වීමක්.”—STOCKHOLM INTERNATIONAL PEACE RESEARCH INSTITUTE, SWEDEN.

“ගූග්ල් වෙබ් ආයතනයේ වාර්තාවකට අනුව සෑම දිනකම වෙබ් අඩවි බිලියන ගණනක් අන්තර්ජාලයට එක් වෙමින් තිබෙනවා.”—NEW SCIENTIST, BRITAIN.

“වර්ෂ 2009 වන විට ලොව පුරා මිලියන 1020ක් සෑම දිනකම කුසගින්නේ පසු වන බව ගණන් බලා තිබෙනවා.”—FOOD AND AGRICULTURE ORGANIZATION OF THE UNITED NATIONS, ITALY.

ඔටුවෙකුවත් පිටපත් කළ වගයි

වර්ෂ 1996දී විද්‍යාඥයන් මුල් වරට බැටළුවෙකුව සාර්ථක ලෙස ක්ලෝනකරණය හෙවත් පිටපත් කිරීමක් සිදු කළා. පසුව එළදෙනුන්, එළුවන් හා අශ්වයන්වද එසේ පිටපත් කර තිබෙනවා. මෑතකදී විද්‍යාඥයන් පිරිසක් විසින් ඩුබායිහිදී ප්‍රථම වරට ඔටුවෙකුවද පිටපත් කිරීමට සමත් වුණා. උපත ලැබූ එම ගැහැනු ඔටු පැටවාට ඉන්ජාස් (ඉටු කරගැනීම) යන නම තැබුවා. ඒ ගැන අබුඩාබි පුවත්පතක මෙසේ සඳහන් වුණා. “වර්තමානයේ සතුන්ව ක්ලෝනකරණය කිරීම පරීක්ෂණ මට්ටමෙනුත් එහාට ගොස් තිබෙනවා. ඒ අනුව විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුව ධාවන තරඟ සඳහා මෙන්ම කිරි ලබාගැනීම සඳහා උසස් වර්ගයේ ඔටුවන්ව පිටපත් කිරීමයි.”—The National.

අභ්‍යවකාශයෙත් හදිසි අනතුරු

“පෘථිවියට ඉහළින් තිබෙන කක්ෂ හෙවත් ග්‍රහ වස්තූන් ගමන්ගන්නා මාර්ග එන්න එන්නම අවහිර වීමට පටන්ගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස 2009 පෙබරවාරි මාසයේදී චන්ද්‍රිකා දෙකක් එකිනෙකට ගැටීමෙන් ඒවා විනාශ වී ගියා” කියා එක් පුවත්පතක වාර්තා වුණා. එය සිදු වුණේ සයිබීරියාවට කිලෝමීටර් 800ක් පමණ ඉහළ අහසෙයි. එක් චන්ද්‍රිකාවක් සන්නිවේදනය සඳහා ඇමරිකාව භාවිත කළ එකක් වූ අතර අනික භාවිතයේ නැති රුසියාවට අයත් එකක්. ඒ අනතුරින් කැඩී බිඳී ගිය විශාල ප්‍රමාණයේ කොටස් 700ක් පමණ අභ්‍යවකාශයෙහි පාවෙමින් තිබෙනවා. ඊට අමතරව අඟල් හතරකට වඩා විශාල සුන්බුන් කොටස් 18,000ක් පමණ අභ්‍යවකාශය පුරා විසිරී ඇති බව ඒවා නිරීක්ෂණය කරන්නන් මෑතකදී සොයාගෙන තිබෙනවා. ඒ නිසා තවත් අනතුරක් සිදු වීමේ විශාල ප්‍රවණතාවක් පවතිනවා. කක්ෂය වටා අධි වේගයෙන් ගමන්ගන්නා රටකජු ඇටයකට වඩා තරමක් විශාල වස්තුවක් සමඟ චන්ද්‍රිකාවක් හෝ අභ්‍යවකාශ යානයක් ගැටුණොත් සිදු වන විනාශය අති ප්‍රබලයි.—Science News.

නොගෙව්වොත් අතරමඟ

“දුරකථන බිල් නොගෙව්වොත් ඒවා විසන්ධි කරන බව බොහෝදෙනා දන්නවා. ඒ නිසා බිල්පත් නොගෙවන්නේ අතළොස්සක් පමණයි” කියා එක් පුවත්පතක වාර්තා වෙනවා. මෝටර් රථ මිල දී ගන්නන් සඳහාද එම දෙයම අදාළයි. “පාවිච්චි කළ වාහන විකුණන්නන් ඒවායෙහි පණගැන්වීමේ පද්ධතිය දුරස්ථ පාලකයක් මගින් අක්‍රිය කළ හැකි විශේෂ උපකරණයක් සවිකර තිබෙනවා. ගැනුම්කරුවන් මාසික වාරිකය ගෙවීමට ප්‍රමාද කළොත් දුරස්ථ පාලකයක් මගින් වාහනය ක්‍රියාවිරහිත කරනවා.” එය ගැනුම්කරුවන් යටත් විය යුතු කොන්දේසියක්. වාහනය මිල දී ගත් තැනැත්තාට වාහනයෙන්ම ලැබෙන යම් සංඥා මගින් නියමිත වාරිකය ගෙවීමට සිහිගන්වයි. නමුත් සියලු වාරික ගෙවීමෙන් පසු එම උපකරණය ඉවත් කරනු ලබයි. එම සැලැස්ම නිසා වාහන වෙළෙන්දන්ට ඒවා ක්‍රියාවිරහිත කිරීමට සිදු වන්නේ කලාතුරකිනුයි.—The Wall Street Journal.