Skip to content

පටුනට යන්න

පුද්ගලයෙක් හොඳ හෝ නරක කෙනෙකු වන්නේ කෙසේද?

පුද්ගලයෙක් හොඳ හෝ නරක කෙනෙකු වන්නේ කෙසේද?

බයිබලයෙන් පිළිතුරක්

පුද්ගලයෙක් හොඳ හෝ නරක කෙනෙකු වන්නේ කෙසේද?

මිනිස් ඉතිහාසය ලෙයින් නැහැවී ගිය සිද්ධීන්ගෙන් පිරී තිබෙනවා. ඒ වගේම මිනිසුන් සෙසු අය වෙනුවෙන් දක්වා ඇති කරුණාවන්තකම හා පරිත්‍යාගශීලීකම සම්බන්ධයෙන්ද කැපීපෙනෙන සිද්ධීන් වාර්තා වෙනවා. මෙහිදී මතු වන ප්‍රශ්නය වන්නේ එක් මිනිසෙක් කිසි හැඟීමක් නැති මිනී මරුවෙක් වන්නෙත් තවත් මිනිසෙක් ඉතා සානුකම්පිත කෙනෙක් වන්නෙත් කෙසේද යන්නයි. ඇත්තටම මිනිසුන් විටෙක මෘගයන් ලෙස හැසිරෙන්නේ ඇයි?

පව්කාර නැඹුරුවාව හා හෘදය සාක්ෂිය

බයිබලයේ මෙවන් දෙයක් සඳහන් වෙනවා. “කුඩා කල පටන් මිනිසාගේ සිත නපුරටම යොමු වී තිබේ.” (උත්පත්ති 8:21) උපතේ සිටම අප තුළ වැඩි නැඹුරුවාවක් තිබෙන්නේ වැරදි දේ කිරීමටයි. (ගීතාවලිය 51:5) දරුවන්ද අනුවණ ලෙස හැසිරෙන්නේ ඒ නිසයි. (හිතෝපදේශ 22:15) අප තුළ ඇති එම නැඹුරුවාව පරාජය කිරීම හරියට වේගයෙන් ගලන ගංගාවක විරුද්ධ දිශාවට පිහිනනවා හා සමානයි. ඒ සඳහා දැඩි වෑයමක් අවශ්‍යයි.

ඊට උපකාරයක් ලෙස ඉතා වටිනා යමක් වන හෘදය සාක්ෂියක් අපට ලැබී තිබෙනවා. හරි වැරද්ද අවබෝධ කරගැනීමටත් ඒ අනුව යහපත් ජීවිතයක් ගත කිරීමටත් බොහෝ මිනිසුන්ට එය උපකාර කරනවා. සැබෑ දෙවිගේ ප්‍රමිති නොදන්නා අය වුණත් කාරුණික හා සාධාරණ පුද්ගලයන් ලෙස නම් දරා තිබෙන්නේ ඒ නිසයි. (රෝම 2:14, 15) කෙසේනමුත් හෘදය සාක්ෂිය නිසා යහපත් දේ කිරීමට තිබෙන ආශාව හා නපුර කිරීමට තිබෙන නැඹුරුවාව අතර ඝට්ටනයක් ඇති වෙනවා. ඊට අමතරව හරි දේ හෝ වැරදි දේ කිරීමට අපව පොලඹවන්නේ වෙන කුමන දේවල්ද?

පරිසරයේ බලපෑම

කටුස්සා සාමාන්‍යයෙන් පරිසරයට අනුව තම වර්ණය වෙනස් කරගන්නවා. එලෙසම අපරාධ සිදු කරන අය සමඟ ඇසුරු කරන අයද ඔවුන්ගේ ගතිපැවතුම් අනුගමනය කිරීමට පෙලඹෙයි. එමනිසා බයිබලයේ ඒ ගැන මෙසේ අනතුරු අඟවනවා. “වැඩිදෙනෙකුගේ කීම අසා වැරදි දේ නොකරන්න.” (නික්මයාම 23:2) නමුත් අවංක, සාධාරණ මෙන්ම ප්‍රතිපත්තිගරුක පුද්ගලයන් සමඟ වැඩි වැඩියෙන් ඇසුරු කරන අය යහපත් පුද්ගලයන් බවට පත් වෙනවා.—හිතෝපදේශ 13:20.

අපරාධ කරන අයව පෞද්ගලිකව ඇසුරු නොකරන නිසා ඔවුන්ගේ ආකල්ප හා සිතුවිලි අපිට බලපාන්නේ නැහැයි කියා නොසිතිය යුතුයි. වැරදි කිරීමට අප තුළ ඇති නැඹුරුවාව ප්‍රබලයි. අවස්ථාවක් ලැබුණු සැණින් එය ක්‍රියාත්මක කිරීමට අප තුළ පෙලඹීමක් ඇති වන්නේ ඒ නිසයි. (උත්පත්ති 4:7) ඊට අමතරව සැහැසික ක්‍රියා වරදක් නැහැයි කියා පෙන්වන චිත්‍රපට, රූපවාහිනි වැඩසටහන් හා වීඩියෝ ක්‍රීඩා මගින් සැහැසික පුද්ගලයන්ගේ සිතුවිලි හා ආකල්ප අපගේ නිවස තුළටම පැමිණිය හැකියි. එපමණක්ද නොව අපරාධ පිළිබඳ නිතර අසන්න ලැබෙන ප්‍රවෘත්ති මගින්ද ඒවා අපට සාමාන්‍ය දෙයක් බවට පත් විය හැකියි.

එවන් දූෂිත තත්වයක් පැවතීමට හේතුව කුමක්ද? ඊට බයිබලයේ දෙන පිළිතුර මෙයයි. ‘මේ මුළු ලෝකයම පවතින්නේ දුෂ්ටයාගේ බලපෑම යටතෙයි.’ (1 යොහන් 5:19) එහි “දුෂ්ටයා” කියා හඳුන්වන්නේ සාතන් නමැති යක්ෂයාවයි. ඔහුව බොරුකාරයෙක් හා මිනී මරන්නෙක් ලෙසද බයිබලයේ හඳුන්වා තිබෙනවා. (යොහන් 8:44) අද ලෝකය තුළ පවතින දුෂ්ට දේවලට දිරි දෙන්නේ ඔහුයි.

එම කරුණු පදනම් කරගනිමින් ‘තමන් කරන දුෂ්ට දේවලට වගකිව යුත්තේ තමන් නොවෙයි’ කියා කෙනෙක් තර්ක කළ හැකියි. නමුත් සැබෑව එයද? මෝටර් රථයක හෝ නැවක එහි ගමන් මඟ හසුරුවන්නේ සුක්කානම මගිනුයි. ඒ හා සමානව පුද්ගලයෙකුව හසුරුවන්නේද ඔහුගේම මනසිනුයි.

තීරණය ඔබ අතේ

ඕනෑම යහපත් ක්‍රියාවකට හෝ නපුරු ක්‍රියාවකට මුල් වන්නේ සිතුවිලියි. ඒ අනුව යහපත් සිතුවිලි වර්ධනය කරගතහොත් එහි ප්‍රතිඵලත් යහපත්. අනික් අතට ආත්මාර්ථකාමී හෝ දුෂ්ට සිතුවිලි අපගේ මනසේ පැළපදියම් වීමට ඉඩහැරියොත් බොහෝවිට එහි ප්‍රතිඵලය වන්නේ දුෂ්ට ක්‍රියායි. (ලූක් 6:43-45; යාකොබ් 1:14, 15) ඒ අනුව පුද්ගලයෙක් යහපත් කෙනෙක් වෙනවාද නරක කෙනෙක් වෙනවාද කියා තීරණය කරන්නේ ඔහු විසින්මයි.

යහපත් දේ කිරීමට ඉගෙනගන්න ඕනෑම කෙනෙකුට හැකි බව බයිබලයේ සඳහන් වෙනවා. (යෙසායා 1:16, 17) එය සතුටට කරුණක්. ‘ප්‍රේමය පෙන්වන කෙනෙක් තම අසල්වැසියාට විරුද්ධව කිසි නපුරු දෙයක් කරන්නේ නැහැ.’ (රෝම 13:10) ඒ අනුව යහපත් දේ කිරීම සඳහා අපව පොලඹවන ප්‍රධානතම ගුණාංගය වන්නේ ප්‍රේමයයි. අපි අන් අයට ප්‍රේමය පෙන්වන්න ඉගෙනගන්නවා නම් ඔවුන්ට විරුද්ධව දුෂ්ට දෙයක් කිරීමට සිතන්නේවත් නැහැ.

ඇමරිකාවේ ජීවත් වන රේ, එම ප්‍රතිපත්තියම අදාළ කරගත්තා. කුඩා කළ සිටම සටන් කලාව හැදෑරූ ඔහු නිතරම සටන් කිරීමට සූදානම්ව සිටි කෙනෙක්. ඔහුට හරි ඉක්මනින් කේන්තිත් යනවා. නමුත් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් ඔහු වෙනස් වෙන්න පටන්ගත්තා. එය පහසු දෙයක් වුණේ නැහැ. සමහර අවස්ථාවලදී ඔහුට හැඟුණේ බයිබල් ලේඛකයෙකු වූ පාවුල්ට හැඟුණු මේ ආකාරයටමයි. “මා හරි දේ කිරීමට කැමැත්තෙන් සිටියත් මා තුළින් ඉස්මතු වන්නේ වැරදි දේ කිරීමට තිබෙන නැඹුරුවාවයි.” (රෝම 7:21) නමුත් අවුරුදු කිහිපයක් පුරා වෑයම් කිරීමෙන් පසු “යහපතින් නපුරු දේවල් පරාජය කරන්න” ඔහුට හැකි වී තිබෙනවා.—රෝම 12:21.

“යහපතුන්ගේ අඩිපාරේ ඇවිදීම” හෙවත් යහපත්කම් කිරීමට වෑයම් කිරීම එතරම් වටින්නේ ඇයි? (හිතෝපදේශ 2:20-22) ඊට හේතුව, අවසානයේදී නපුර පරාජය කර යහපත ජය ගන්න නිසයි. බයිබලයේ ඒ ගැන දී ඇති සහතිකය මෙයයි. ‘දුෂ්ටයන්ව විනාශ කරනු ලබන්නේය. තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.’ (ගීතාවලිය 37:9-11) ඔව්, ඉතා ළඟදී යෙහෝවා දෙවි සියලුම දුෂ්ටකම් මේ පොළොවෙන් ඉවත් කිරීමට නියමිතයි. යහපත්කම් කරන අයට ඉදිරියේ තිබෙන්නේ මොන තරම් තේජවත් අනාගතයක්ද!

මේ ගැන ඔබ සිතුවාද?

● අපගේ ක්‍රියා ගැන වගකිව යුත්තේ කවුද?—යාකොබ් 1:14.

● අපගේ ක්‍රියාවන් වෙනස් කරගැනීමට අපට හැකිද?—යෙසායා 1:16, 17.

● දුෂ්ටකම් කවදා හෝ අවසන් වෙයිද?—ගීතාවලිය 37:9, 10; හිතෝපදේශ 2:20-22.

[21වන පිටුවේ පින්තූර]

පුද්ගලයෙක් යහපත් කෙනෙක් වෙනවාද නරක කෙනෙක් වෙනවාද කියා තීරණය කරන්නේ ඔහු විසින්මයි