Skip to content

පටුනට යන්න

ඉන් මිදෙන්න ඔබට පුළුවන්!

ඉන් මිදෙන්න ඔබට පුළුවන්!

ඉන් මිදෙන්න ඔබට පුළුවන්!

‘ධෛර්යවත් වී අවශ්‍ය පියවර ගැනීමට’ කාලය දැන් බව තේරුම්ගන්න. (1 ලේකම් 28:10) දුම්පානයෙන් මිදීම සඳහා ඔබ ගත යුතු තවත් වැදගත් පියවර කිහිපයක් තිබෙනවා. ඒ මොනවාද?

දිනයක් නියම කරන්න. ඇමරිකාවේ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව නිර්දේශ කරන්නේ එම පුරුද්ද නතර කිරීමට ඔබ තීරණය කළ දා සිට සති දෙකක් තුළ එය සම්පූර්ණයෙන් නතර කළ යුතු බවයි. ඒ තුළින් ඔබේ අධිෂ්ඨානය තවත් ශක්තිමත් වෙයි. ඔබ නියම කළ දිනය දිනදර්ශනයේ සටහන් කරන්න. එය ඔබේ මිතුරන්ටත් දැනුම් දෙන්න. එය වෙනස් කිරීමට කිසිම දෙයකට ඉඩ දෙන්න එපා!

කාඩ්පතක් සකස් කරගන්න. පහත සඳහන් තොරතුරු මෙන්ම ඔබේ අධිෂ්ඨානය ශක්තිමත් කරන වෙනත් ඕනෑම තොරතුරක් ඊට ඇතුළත් කරන්න:

● දුම්පානය නතර කිරීමට හේතු

● ඒ සඳහා පෙලඹීමක් ඇති වන විට මිතුරෙකුව ඇමතීම සඳහා දුරකථන අංක

● බයිබලයේ ගලාති 5:22, 23හි සඳහන් අදහස් හෝ ඔබ ගත් අධිෂ්ඨානය ශක්තිමත් කරන වෙනත් අදහස්

එම කාඩ්පත සෑම දිනකම කිහිප වරක් කියවන්න. එමෙන්ම දුම්පානය කිරීමට පෙලඹීමක් එන ඕනෑම අවස්ථාවක එසේ කරන්න.

දින චර්යාව වෙනස් කරන්න. දුම්පානය නතර කිරීමට තීරණය කළ දිනයට පෙර සිටම ඒ හා බැඳි ක්‍රියාකාරකම් වෙනස් කිරීමට පටන්ගන්න. උදෑසන අවදි වූ සැණින්ම ඔබ දුම්පානයට හුරු වී සිටියා නම් දැන් එය පැයක් දෙකක් ප්‍රමාද කරන්න. ආහාර ගත් විගස ඊට පුරුදු වී සිටියා නම් එයද වෙනස් කරන්න. දුම්පානය කරන අය ගැවසෙන ස්ථාන මඟහරින්න. එමෙන්ම තනිව සිටින වෙලාවට ශබ්ද නඟා මෙසේ කීමට පුරුදු වන්න. “එපා! මම දැන් සිගරට් බොන්නේ නැහැ!” එවන් පියවර ගැනීමෙන් ළඟදීම ඔබ දුම්පානය නොකරන පුද්ගලයෙක් බවට පත් වෙන බව එය ඔබට සිහිගන්වයි.

සූදානම් වන්න. ඔබ දුම්පානය නතර කළ පසු ඒ සඳහා නැවතත් ආශාවක් ඇති වන විට කෑමට ගැනීම සඳහා ටොෆි, රටකජු හා චුවින්ගම් වැනි දේවල් ළඟ තබාගන්න. ඔබ නියම කළ දිනය ගැන ඔබේ පවුලේ අයට මිතුරන්ට දන්වන්න. එමෙන්ම ඔවුන්ගෙන් ඔබ බලාපොරොත්තු වන උපකාර ගැනද පවසන්න. දුම්වැටියක් මිතුරෙකුගෙන් ඉල්ලා ගැනීමට වඩා එය ඔබේම නිවසේ ලාච්චුවේ තිබී නෙත ගැටුණොත් එය පානය කිරීමට පෙලඹෙන ප්‍රවණතාව වැඩියි. එමනිසා ඔබේ නිවසේ, කාර්යාලයේ, මෝටර් රථයේ ඔබේ සාක්කුවේ තිබිය හැකි දුම්වැටි හා ලයිටර්ද ඉවත් කර දමන්න. ඊට අමතරව යෙහෝවා දෙවිගේ බලයේ උපකාර පතා යාච්ඤා කරන්න. (ලූක් 11:13) විශේෂයෙන්ම ඔබේ අවසන් දුම්වැටියෙන් පසු වැඩි වැඩියෙන් එසේ කරන්න.

මේ වන විට අසංඛ්‍යාත පිරිසක් වරක් කිට්ටුවෙන් ඇසුරු කළ ඒ නරක මෙන්ම භයානක මිතුරා වන දුම්වැටිය තම ඇසුරෙන් සම්පූර්ණයෙන්ම කපාහැර තිබෙනවා. ඔබටත් එය කළ හැකියි! එවිට වඩා හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් මෙන්ම නිදහස්බවේ හැඟීමක්ද ඔබත් අද්දකියි!

[9වන පිටුවේ පින්තූරය]

තොරතුරු ඇතුළත් කාඩ්පත සෑමවිටම ඔබ ළඟ තබාගෙන දිනකට කිහිපවතාවක් කියවන්න