Skip to content

පටුනට යන්න

එක්තැන් වුණත් ප්‍රීතියෙන්!

එක්තැන් වුණත් ප්‍රීතියෙන්!

එක්තැන් වුණත් ප්‍රීතියෙන්!

පැවසුවේ හොසේ ගෝඩෝෆ්‍රේඩෝ වර්ගේස්

මම ඉපදුනේ නිරෝගී දරුවෙක් හැටියටයි. වයස අවුරුදු 17 වන විට මම පෑස්සුම්කරුවෙක් හැටියට මගේ වෘත්තිය ආරම්භ කළා. එක දවසක් මම ලයිට් කණුවක අඩි 46ක් විතර උස තැනක පාස්සමින් හිටියා. ඒ වෙලාවේ වහින්න පටන්ගත්තා. එකපාරටම මට විදුලි සැර වැදිලා මාව සිහිය නැතුව බිමට වැටුණා. මට සිහිය ආවේ මාස තුනකට පස්සෙයි. මගේ අත පය පණ නැහැ කියලා මට තේරුණේ ඒ වෙලාවෙයි. යන්තම්වත් හොල්ලන්න පුළුවන් වුණේ මගේ ඔළුව විතරයි. ඒ සිද්ධියෙන් මම හොඳටම කලකිරුණා. ඒ වෙනකොට මට වයස අවුරුදු 19යි.

ඒකාලයේදී මම දෙවිත් එක්ක කේන්තියෙනුයි හිටියේ. ඇයි මට මැරෙන්න දුන්නේ නැත්තේ කියලා මම නිතරම දෙවිගෙන් ඇහුවා. සමහර අවස්ථාවලදී මට මැරෙන්නත් හිතුණා. ආගම්වලින් මම සහනයක් බලාපොරොත්තු වුණත් ඒ එකකින්වත් මට සැනසීමක්වත් මගේ ප්‍රශ්නවලට පිළිතුරුවත් ලැබුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි, බයිබලයේ සඳහන් ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන්න කියලාවත් ඒ අය උගන්වන්නේ නැහැ. කොහොමවුණත් 1981දී මගේ අම්මා මැරුණට පස්සේ මම තවත් කලකිරුණා. එදා ඉඳලා මම බොන්නත් සූදුවටත් ඇබ්බැහි වුණා. ඒ වගේම මම විවාහ නොවී කාන්තාවක් එක්ක එකට ජීවත් වෙන්නත් පටන්ගත්තා. මම හිතුවේ දෙවි මගේ තත්වය දන්න නිසා මට සමාව දෙයි කියලයි.

මගේ ආකල්පවල වෙනසක්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුල් වරට මට මුණගැහුණේ වයස අවුරුදු 37දීයි. අනික් අය අපේ අම්මට කියලා තිබුණ දේවල් නිසා අම්මා හැම තිස්සෙම කිව්වේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හරිම භයානක පිරිසක් කියලයි. ඒ කොහොමවුණත් මම ඔවුන්ව මගේ නිවසට ආරාධනා කළා. මට ඕනේ වුණේ මම බයිබලය ගැන ගොඩක් දේවල් දන්නවා කියලා පෙන්නලා ඒ අය වැරදියි කියලා ඔප්පු කරන්නයි. නමුත් ඒ අයත් එක්ක කතා කරද්දී මට තේරුණා මම දන්නේ ටිකයි කියලා. මගේ හැම ප්‍රශ්නයකටම ඔවුන් බයිබලයෙන් පිළිතුරු දුන්න විදිහ දැකලා මට පුදුම හිතුණා. ඊටපස්සේ මට තේරුණා මේක තමයි සත්‍යය ආගම කියලා.

නමුත් මම ඉගෙනගනිමින් සිටි දේවල්වලට මාත් එක්ක ජීවත් වුණ කාන්තාව අකමැති වුණ නිසා අපි වෙන් වුණා. පස්සේ මම මගේ නරක පුරුදුවලින් ඈත් වෙන්නත් වැරදි ආකල්ප වෙනස් කරගන්නත් පටන්ගත්තා. ඒ වගේම දෙවිගේ උපකාරය නිසා කලකිරීමෙන් ගොඩ එන්නත් මට පුළුවන් වුණා. පසුගිය වසර 20 පුරා පූර්ණකාලීන දේවසේවකයෙක් හැටියට මම විශාල සතුටක් අද්දකිනවා. ආබාධිත තත්වයත් එක්ක මම කටයුතු කරන්නේ කොහොමද කියලා හුඟක් අය මගෙන් අහනවා. මම තනි වෙලා නැහැ. මම ජීවත් වෙන්නේ මගේ මල්ලි උබාල්ඩෝත් එක්කයි. එයාත් අසනීපෙන් ඉන්න කෙනෙක්. ඒ වුණත් එයාත් දැන් මාත් එක්ක යෙහෝවා දෙවිට සේවය කරනවා.

අපි දෙන්නට දෙන්නා සහයෝගයෙන් වැඩ කරනවා. සේවයේ යද්දී මල්ලි තමයි රෝද පුටුව තල්ලු කරගෙන යන්නේ. ඒ වගේම දොරට තට්ටු කරන්නෙත් එයාමයි. මම ගේහිමියාට කතා කරද්දී මට බයිබලය පෙරළලා දෙන්නේත් සඟරා පොත් අරන් දෙන්නේත් එයාමයි. ඒ විතරක් නෙවෙයි මගේ හැම වැඩක්ම වගේ කරන්නේ මල්ලි තමයි. අපේ වියදම් පිරිමසාගන්න මම රූපලාවන්‍ය බඩු විකුණනවා. අපේ ඉවුම්පිහුම් සහ ගෙදර වැඩවලට උදව් කරන්නේ සභාවේ අයයි. ඒ වගේම බේත්හේත් ගන්නත් ඒ අය අපිට උදව් කරනවා. ඇත්තෙන්ම මමත් උබාල්ඩෝත් ඒ ගැන ඔවුන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

මම දැන් අපේ සභාවේ වැඩිමහල්ලෙක් හැටියට සේවය කරනවා. මට ඒ ගැන හරිම සතුටුයි. බයිබලයේ විවිධ විෂයන් ගැන අධ්‍යයනය කරන්න සභාවේ සාමාජිකයන් මට උදව් කරනවා. මම රැස්වීම්වලට සූදානම් වෙද්දී අදාළ ප්‍රකාශනයේ වැදගත් කරුණු ලකුණු කරන්නේ පැන්සල කටින් අල්ලගෙනයි.

මේ වගේ අමාරුකම් මැද මම සතුටින්ද ඉන්නේ කියලා සමහර අය මගෙන් අහනවා. එතකොට මම හද පත්ලෙන්ම කියනවා ඔව් කියලා. ජීවිතයේ අරමුණ මොකක්ද කියලා දැන් මම දන්නවා. ඒ නිසා දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට දීමට පොරොන්දු කර තිබෙන පාරාදීස පොළොවේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය ලැබෙන තුරු මම බලාගෙන ඉන්නේ හරිම ආශාවෙන්!—යෙසායා 35:5, 6; ලූක් 23:43.

[24වන පිටුවේ පින්තූරය]

මට වයස අවුරුදු 18දී, අනතුරට වසරකට පෙර

[25වන පිටුවේ පින්තූරය]

උබාල්ඩෝ එක්ක දේශනා සේවයේ යමින්

[25වන පිටුවේ පින්තූරය]

කතාවක් ඉදිරිපත් කරන විට සහෝදරයන් මගේ බයිබලය පෙරළන්න උපකාර කරන ආකාරය

[25වන පිටුවේ පින්තූරය]

ගේදොර වැඩ සහ ඉවුම්පිහුම් කටයුතුවලට උදව් කරන සභාවේ සාමාජිකයන්