Skip to content

පටුනට යන්න

ඔබේ අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න

ඔබේ අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න

ඔබේ අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න

“දුම්පානය නතර කළ අයගේ කැපීපෙනෙන ලක්ෂණයක් වන්නේ ඔවුන් තුළ තිබූ දැඩි අධිෂ්ඨානයයි.”—Stop Smoking Now නමැති පොත.

දුම්පානය නතර කරන්න ඔබත් කැමති නම් ඒ සඳහා දැඩි අධිෂ්ඨානයක් අවශ්‍ය බව මතක තබාගන්න. නමුත් එම අධිෂ්ඨානය ශක්තිමත් කරගන්නේ කෙසේද කියා ඔබ කල්පනා කරනවා ඇති. ඒ සඳහා කළ හැකි එක් දෙයක් නම් එම පුරුද්ද අත්හැරීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන කල්පනා කිරීමයි.

ඔබේ මුදල් ඉතුරු වෙයි. දිනකට සිගරට් පැකට් එකක් බොන පුද්ගලයෙක් අවුරුද්දකට රුපියල් ලක්ෂයක් පමණ වැය කරනවා. “සිගරට්වලට මම කොයි තරම් මුදලක් නාස්ති කළාද කියලා මට තේරුණේ පස්සෙයි.”—නේපාලයේ ජියානු.

ඔබේ සතුට වැඩි වෙයි. දුම්පානය නතර කළ අයගේ ගඳ සුවඳ දැනීමේ හා රස දැනීමේ හැකියාව නැවතත් හොඳ තත්වයට පැමිණෙන අතර කාය ශක්තිය හා පෙනුමද වැඩි දියුණු වෙනවා. “දුම්පානය නතර කළාට පස්සේ මට දැනුණේ හරියට මගේ ජීවිතය අලුතෙන්ම පටන්ගත්තා වගෙයි.”—දකුණු අප්‍රිකාවේ රෙජිනා.

ඔබේ සෞඛ්‍ය හොඳ අතට හැරෙයි. “දුම්පානය නතර කළ විගස ඕනෑම වයස් මට්ටමක පසු වන අයට යහපත් සෞඛ්‍යයක් අද්දකින්න ලැබෙයි.”—එක්සත් ජනපදයේ රෝග මර්දන හා වළක්වාගැනීමේ මධ්‍යස්ථාන.

ඔබට ඔබ ගැනම හොඳ විශ්වාසයක් ඇති වෙයි. “මම සිගරට් බොන එක නතර කෙරුවේ ඒක මාව පාලනය කරනවාට මම අකමැති වුණ නිසයි.”—ඩෙන්මාර්කයේ හෙනින්.

ඔබේ පවුලේ අයටත් මිතුරන්ටත් ප්‍රයෝජන ලැබෙයි. “දුම්පානය කරන අය අසල සිටින පුද්ගලයන් දහස් ගණනක් සෑම වසරකම පෙණහලු පිළිකාවලින් හා හෘද රෝගවලින් මිය යන බව සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.”—ඇමරිකානු පිළිකා සංගමය.

ඔබගේ නිර්මාතෘ සතුටු වෙයි. ‘ප්‍රේමණීය සහෝදරයෙනි, ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු.’ (2 කොරින්ති 7:1) ‘ඔබේ ශරීර ශුද්ධ මෙන්ම දෙවිට පිළිගත හැකි ලෙස ඔප්පු කරන්න.’—රෝම 12:1.

“ශරීරය අපවිත්‍ර කරන දේවල් අපි කරනවාට දෙවි අකමැති බව තේරුම්ගත්ත ගමන්ම මම දුම්පානය නතර කළා.”—ස්පාඤ්ඤයේ සිල්වියා.

දුම්පානය නතර කිරීම සඳහා දැඩි අධිෂ්ඨානයට අමතරව පවුලේ අයගේ මෙන්ම මිතුරන්ගේ උපකාරද අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට කළ හැක්කේ කුමක්ද?