Skip to content

පටුනට යන්න

ඔබේ සමේ පැහැය ගැන සතුටු වන්න

ඔබේ සමේ පැහැය ගැන සතුටු වන්න

ඔබේ සමේ පැහැය ගැන සතුටු වන්න

● අප්‍රිකාවේ, දකුණු ආසියාවේ, කැරිබියන් දූපත්වල හා මැදපෙරදිග වෙසෙන සමහරුන් සිතන්නේ සුදු සමක් සතු වීම ධනවත් මෙන්ම රූමත්බවේ ලක්ෂණයක් කියායි. ඒ නිසා ඔවුන්ගෙන් බොහෝදෙනෙක් විවිධ ආලේපන භාවිතයට නැඹුරු වී තිබෙනවා. ඒවා සමහරවිට සෞඛ්‍යයට ඉතා අහිතකර බව ඔවුන් නොදන්නවා විය හැකියි.

සමහර ආලේපන වර්ගවල හයිඩ්‍රෝක්විනොන් නමැති බ්ලීච් වර්ගය අඩංගු වන නිසා එයින් සමේ ඇති මෙලනින් වර්ණකය නිපදවීම වළක්වයි. එමෙන්ම හිරුගෙන් නිකුත් වන පාරජම්බුල කිරණවලින් (UV) සමට ලැබෙන ස්වභාවික රැකවරණයද අඩු වෙනවා. එම බ්ලීච් වර්ගය සමට කාවැදී මාංශ පේශීවල තිබෙන සම්බන්ධක පටකවලටත් බරපතළ හානි සිදු කළ හැකියි. එහි ප්‍රතිඵලය නම් වයසට වඩා වැඩි පෙනුමක් ඇති වීමයි. එමෙන්ම ඉන් පිළිකාද ඇති විය හැකියි. සුදු සමක් වෙනුවෙන් භාවිත කරන වෙනත් ආලේපන රසදියද අඩංගු වන අතර එයද විෂ සහිතයි.

එවන් ආලේපන දිගින් දිගටම භාවිත කිරීමෙන් විරූපී පෙනුමක් ඇති විය හැකියි. ඒ වගේම එයින් සම මොන තරම් දුර්වල වෙනවාද කියනවා නම් කැපීම් තුවාලයකදී මැහුම් දැමීමටවත් නොහැකි තත්වයට පත් වෙයි. එවන් ආලේපනවල ඇති සමහර රසායනික ද්‍රව්‍යයන් රුධිරයට එක් වීමෙන් අක්මාව, වකුගඩු හා මොළය වැනි අවයවයන්ටත් බරපතළ හානි සිදු විය හැකියි.

සමහරුන් සුදු සමක් ලබාගැනීමට දැඩි උත්සාහයක් දරන අතර සුදු සමක් ඇති අය එහි පැහැය වෙනස් කරගැනීමට උත්සාහ කිරීම හාස්‍යයට කරුණක් සේ පෙනිය හැකියි. යම් ප්‍රමාණයකට හිරු එළියට නිරාවරණය වීමෙන් ශරීරයට විටමින් D ලැබෙන බව ඇත්තයි. නමුත් දැඩි හිරු රශ්මියට බොහෝ වෙලාවක් නිරාවරණය වීම සමට හානි කරයි. එසේ සිටීමෙන් ඔබේ සම දුර්වර්ණ වී ඇත්නම් ඉන් පැහැදිලි වන්නේ කුමක්ද? එය යම් ආකාරයකින් හානි වී ඇති බවත් තවදුරටත් එය වළක්වාගැනීම සඳහා සම විසින්ම යම් ක්‍රියාවලියක් සිදු කරමින් තිබෙන බවයි. එමගින් සමට ලබා දෙන්නේ සීමිත ආරක්ෂාවක් පමණක් බව මතක තබාගන්න. හිරු කිරණින් සම රැකගැනීමට යොදන ආලේපනවලින් යම් ආරක්ෂාවක් ලැබුණත් මෙලනෝමා වැනි චර්ම පිළිකා ඇති වීම වළක්වන්න එවන් ආලේපනවලට හැකියාවක් නැහැ.

එමනිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවැනි දෙයක් නිර්දේශ කරනවා. “හිරු කිරණින් සිදු වන හානි වළක්වාගැනීමේ වැදගත් පියවරක් වන්නේ හැමදෙනාම තමන්ගේ සමේ පැහැය ගැන සතුටු වීමයි.” කෙසේනමුත් නැණවත්ව කටයුතු කරන අය වැඩි අවධානයක් දෙන්නේ තම සමේ පැහැයට වඩා බයිබලයේ සඳහන් ලෙස ‘හදවත එනම්, ඇතුළාන්තය අලංකාරවත් කරගැනීමටයි.’—1 පේතෘස් 3:3, 4; හිතෝපදේශ 16:31.