Skip to content

පටුනට යන්න

කල් ඇතුව සූදානම් වන්න

කල් ඇතුව සූදානම් වන්න

කල් ඇතුව සූදානම් වන්න

“අපේ කිරිකැටියා ගැන හිතලා සිගරට් බොන එක නරතර කරන්න මම හිතුවා. ‘දුම්බීම තහනම්’ කියන බෝඩ් එකකුත් ගෙදර එල්ලුවා. නමුත් පැයක්වත් ගියේ නැහැ ආයෙත් සිගරට් එකක් බොන්න මට ලොකු ආශාවක් ඇති වුණා. ඒ ආසාව හරියට සුනාමියක් වගේ මාව යට කරගත්තා. ඉතිං මං ආයෙත් සිගරට් එකක් පත්තු කරගත්තා.”—ජපානයේ යෝෂීමිට්සු.

යෝෂීමිට්සුගේ අද්දැකීමෙන් පැහැදිලි වන්නේ දුම්පානය නතර කිරීම විශාල අභියෝගයක් බවයි. එමෙන්ම අධ්‍යයනයන්ගෙන්ද හෙළි වී තිබෙන්නේ දුම්බීම නතර කිරීමට උත්සාහ කළත් නැවතත් විටින් විට එම පුරුද්දට වැටුණු අයගෙන් සියයට 90කට ආසන්න සංඛ්‍යාවක් නැවතත් දිගටම එසේ කිරීමට පටන්ගෙන ඇති බවයි. ඊට හේතු වී ඇත්තේ ඔවුන් අධෛර්ය වී උත්සාහය අත්හැරීමයි. ඔබත් එම පුරුද්දෙන් මිදීමට වෙර දරන කෙනෙක් නම් පැමිණෙන අභියෝගයන්ට සූදානම් වීම ඉන් ජය ගැනීම සඳහා ඔබට පහසුවක් වෙයි. එම අභියෝග මොනවාද?

දැඩි පෙලඹීම: ඔබ දුම්පානය නතර කළ දා සිට දින තුනක් යන තෙක් ඒ සඳහා දැඩි පෙලඹීමක් ඇති වුණත් සති දෙකක් තුළ එය අඩු වී යයි. ඒ කාලය තුළ “දුම්බීමට ඇති වන පෙලඹීම හරියට මුහුදු රැල්ල වගේ එනවා යනවා” කියා එක් පුද්ගලයෙක් පැවසුවා. නමුත් අවුරුදු ගණනාවකට පසුව පවා එවැනි පෙලඹීමක් ඇති විය හැකියි. ඔබටත් එසේ වුණොත් ඉක්මන් වී ඒ උගුලට හසු වෙන්න එපා. විනාඩි පහක් විතර සන්සුන්ව සිටින්න. ඉන්පසුව එම පෙලඹීම පහ වී යයි.

වෙනත් ගැටලු: එම පුරුද්ද නතර කළ මුල් කාලයේදී අවදි වී සිටීම හා එක් දෙයකට අවධානය යොමු කිරීම දුෂ්කර බවත් ශරීරයේ බර වැඩි වන බවත් එවැනි අය අද්දකියි. ඊට අමතරව ඇඟපත රුදාව, කසනගතිය, දහඩිය දැමීම, කැස්ස, නොඉවසිල්ල හා නුරුස්නා ගතිය මෙන්ම මානසික පීඩනය පවා ඇති විය හැකියි. නමුත් ඒවායින් බොහොමයක් සති හතරත් හයත් ඇතුළත පහ වී යයි.

ඒ දුෂ්කර කාලය තුළ ඊට මුහුණ දීමට ඔබට මෙසේ කළ හැකියි.

● වැඩි වේලාවක් නිදාගන්න.

● වැඩිපුර ජලය හෝ පලතුරු යුෂ පානය කරන්න. පෝෂ්‍යදායී ආහාර අනුභව කරන්න.

● ප්‍රමාණවත් ලෙස ව්‍යායාම්වල යෙදෙන්න.

● ගැඹුරින් හුස්ම ගන්න. ඒ අතරතුරේදී ඔබගේ පෙණහලු නැවුම් වාතයෙන් පිරෙන ආකාරය සිතින් මවාගන්න.

නැවත පෙලඹීමක් ඇති වන හේතු: සමහරවිට ඔබ දුම්පානය කිරීමට පුරුදු වී සිටියේ තේ, කෝපි වැනි දේවල් පානය කරන අවස්ථාවලදී නම් එවන් අවස්ථා සඳහා ගත කරන කාලය අඩු කරන්න.

සමහර අය දුම්පානයට ඇබ්බැහි වීමෙන් සම්පූර්ණයෙන්ම මිදුණත් ඉහත හා සමාන අවස්ථාවන්වලදී නැවතත් දුම්පානය කිරීමට පෙලඹෙන්න පුළුවන්. කලින් සඳහන් කළ ටෝබෙන්ද ඒ හා සමාන අද්දැකීමකට මුහුණ දුන්නා. “දුම්බීම නතර කරලා අවුරුදු 19කට පස්සෙත් තවමත් තේ වෙලාවට සිගරට් එකක් තිබුණා නම් හොඳයි කියලා මට හිතෙනවා.” සාමාන්‍යයෙන් යම් ක්‍රියාවක් සමඟ බැඳී තිබෙන දුම්බීමේ පුරුද්ද කාලයත් සමඟ අඩු වී යයි.

ඔබ දුම්පානය නතර කිරීමට උත්සාහ කරනවා නම් මත්පැන් පානය කිරීම හා අන් අය මත්පැන් පානය කරන ස්ථානවල ගැවසීමෙන් වළකින්න. බොහෝවිට කෙනෙකු දුම්පානය කිරීමට නැවත පෙලඹෙන්නේ එවන් අවස්ථාවලදීයි. ඊට හේතු කිහිපයක් සලකා බලන්න.

● දුම්වැටියෙන් ලැබෙන ආශ්වාදය දෙගුණ තෙගුණ කිරීමට මත්පැන් ටිකකට වුණත් හැකියි.

● බොහෝ සාදයන්වලට සහභාගි වන්නන් මත්පැන් හා දුම්වැටි යන දෙකම භාවිත කරනවා පොදුවේ දකින්න තිබෙන දෙයක්.

● මත්පැන් නිසා කල්පනා ශක්තිය අඩු වෙන නිසා ඔබ ගෙන තිබෙන අධිෂ්ඨානය දුර්වල විය හැකියි. ‘වයින් පානය කිරීමෙන් යහපත් චේතනා නැති වී යයි’ කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි.—හොෂෙයා 4:11.

ඇසුරු කරන අය: හොඳ මිතුරන්ව තෝරාගන්න. දුම්පානය කරන හෝ ඒ සඳහා ඔබට ආරාධනා කරන අයගේ ඇසුර සීමා කරන්න. එමෙන්ම ඔබේ වෑයමට සමච්චල් කරන අයගෙන් ඈත් වෙන්න.

හැඟීම්: නැවතත් දුම්පානයට පෙලඹුණු අයගෙන් තුනෙන් දෙකක්ම එසේ කළේ ඊට සුළු මොහොතකට කලින් ඔවුන් තුළ ඇති වූ මානසික පීඩනය හෝ කෝපය නිසා බව අධ්‍යයනයකින් හෙළි වුණා. ඔබත් එවැනි තත්වයකට මුහුණ දුන්නොත් වතුර වීදුරුවක් පානය කිරීමෙන්, චුවිංගම් එකක් හැපීමෙන් හෝ ටිකක් ඇවිදීමෙන් ඔබේ මනස වෙනතකට යොමු කරගන්න. එමෙන්ම යහපත් සිතුවිලිවලින් මනස පුරවාගැනීම සඳහා යෙහෝවා දෙවිට යාච්ඤා කිරීමට හෝ බයිබලයෙන් යම් කොටසක් කියවීමට උත්සාහ කරන්න.—ගීතාවලිය 19:14.

සාධාරණීකරණය කිරීමෙන් වළකින්න

මම තව එකම එක උගුරයි බොන්නේ.

සැබෑ තත්වය: එක උගුරකින් පවා නිකටින් අවශ්‍යතාව සියයට 50කින් පමණ ඉටු වන අතර එය පැය තුනකට පමණ සෑහේ. බොහෝවිට එහි අවසන් ප්‍රතිඵලය නැවතත් දුම්පානයට යොමු වීමයි.

මම සිගරට් බොන්නේ මානසික පීඩනය අඩු කරගන්නයි.

සැබෑ තත්වය: අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ නිකටින් මගින් මානසික පීඩනය තවත් වැඩි කරන බවයි. දුම්බීමේදී සිදු වන්නේ ශරීරයට නිකටින් නැති විට දැනුණු අපහසුතාවන් තාවකාලිකව යටපත් කිරීමක් පමණයි.

නතර කරන්න දැන් කල් වැඩියි.

සැබෑ තත්වය: එසේ සිතන්න එපා! ඉන් ඔබේ අධිෂ්ඨානය දුර්වල වෙයි. බයිබලයේද ඒ හා සමාන අදහසක් සඳහන් වෙනවා. “දුක් කරදර පැමිණෙන විට ඔබ අධෛර්යයට පත් වන්නේ නම් ඔබේ ශක්තිය හීන වන්නේය.” (හිතෝපදේශ 24:10) එම පුරුද්දෙන් මිදීමට ආශාවෙන් සිටින, මෙතෙක් සාකච්ඡා කළ යෝජනා ක්‍රියාත්මක කරන ඕනෑම කෙනෙකුට අනිවාර්යෙන්ම සාර්ථක විය හැකියි!

මේක නතර කළොත් ඇඟට හරි අමාරුයි.

සැබෑ තත්වය: දුම්පානය නතර කිරීමෙන් ඇඟට ලොකු අපහසුතාවක් දැනෙන බව ඇත්තයි. නමුත් සති කිහිපයකින් ඒ තත්වය මඟහැරී යයි. ඒ නිසා දැඩි අධිෂ්ඨානයකින් සිටින්න. කලකට පසුව පවා දුම්බීමට පෙලඹීමක් නැවත ඇති වුණත් එයද විනාඩි කිහිපයකින් පහව යයි. නමුත් එය එසේ වන්නේ ඔබ නැවතත් දුම්වැටියක් නොදැල්වුවොත් පමණයි.

මම මානසික රෝගයකින් පෙළෙනවා.

සැබෑ තත්වය: ඔබ මානසික පීඩනයෙන් හෝ භින්නෝන්මාදය වැනි තත්වයකට ප්‍රතිකාර ගනිමින් සිටිනවා නම් දුම්බීම නතර කරගැනීමටද ඔබේ වෛද්‍යවරයාගෙන් උපකාර පතන්න. ඔහු හෝ ඇය ඔබට උපකාර කිරීමට කැමති වන අතර ඊට සරිලන අයුරින් ඖෂධ ලබා දීමටද ඔහු පියවර ගනියි.

මම ආයෙත් බොන්න පටන්ගත්තොත්?

සැබෑ තත්වය: දුම්පානය නතර කළ පසු නැවතත් එය සිදු වුණොත් තත්වය කුමක්ද? ඉන් ගොඩ ඒමට ඔබට බැහැ කියා ඉන් අදහස් කරන්නේ නැහැ. ඔබට වැරදුණා කියන්නේ ඔබ අසාර්ථක වුණා කියන එක නොවෙයි. ඔබ අසාර්ථක වන්නේ ඉන් ගොඩ ඒමට නැවත උත්සාහ නොකළොත් පමණයි. ඒ නිසා නැවත නැවතත් උත්සාහ කරන්න. එවිට ඔබ සාර්ථක වෙනවා ස්ථිරයි!

ඒ සම්බන්ධයෙන් රොමුඅල්ඩෝ කදිම ආදර්ශයක්. වසර 26ක් පුරා ඊට ඇබ්බැහි වී සිටි ඔහු එය අත්හැර දැනට වසර 30ක් වෙනවා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “ගණන් කරන්න බැරි වාර ගණනක් මම අසාර්ථක වෙලා තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම මට මාවම එපා වුණා. ඒ වුණත් යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න මම අධිෂ්ඨාන කරගත්ත නිසාත් දිගටම ඔහුගේ උපකාර පතා යාච්ඤා කළ නිසාත් ඒ පුරුද්ද අත්හරින්න මට පුළුවන් වුණා.”

දුම්පානය නතර කිරීමට ඔබට උපකාරවත් වන තවත් යෝජනා කිහිපයක් ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

එය මාරාන්තිකයි

දුම්කොළ විවිධ ආකාරවලින් භාවිතයට ගන්නවා. ඒවායින් කළ නිෂ්පාදන සමහර රටවල සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වෙළඳසැල්වල හා දේශීය ඖෂධ වෙළඳසැල්වල පවා අළෙවි කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ “දුම්කොළ කුමන ආකාරයෙන් භාවිත කළත් එය මාරාන්තික” බවයි. ඒ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය නිසා පිළිකා සහ හෘදයාබාධ වැනි තවත් රෝගවලින් මරණය පවා අත් විය හැකියි. දුම්පානය කරන ගැබිනි මව්වරුන්ගේ නූපන් දරුවන්ට පවා ඉන් හානි සිදු විය හැකියි. අද දින දකින්න ලැබෙන දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන මොනවාද?

බීඩි: අතින් රෝල් කර නිෂ්පාදනය කරන මෙම කුඩා දුම්වැටි ආසියාතික රටවල ඉතා ජනප්‍රියයි. ඒවා මගින් සිගරට්ටුවකට වඩා වැඩි ප්‍රමාණයක් තාර, නිකටින් හා කාබන් මොනොක්සයිඩ් ශරීරගත වෙනවා.

සුරුට්ටු: සාමාන්‍යයෙන් සුරුට්ටු නිෂ්පාදනය කරන්නේ දුම්කොළයක් හෝ එයින් නිෂ්පාදනය කළ කඩදාසියක් රෝල් කරගැනීමෙනුයි. සාමාන්‍යයෙන් සුරුට්ටුවක් සිගරට්ටුවකට වඩා සැරයි. ඒ නිසා සුරුට්ටුව නොදල්වා මුඛයේ තබාගෙන සිටියත් නිකටින් ශරීරගත වෙයි.

කරාබුනැටි අඩංගු සිගරට්: මෙහි සියයට 60ක් පමණ දුම්කොළද සියයට 40ක් පමණ කරාබුනැටිද අඩංගුයි. ඒ නිසා මෙමගින් සාමාන්‍ය දුම්වැටියකට වඩා තාර, නිකටින් සහ කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණයක් ශරීරගත වෙනවා.

දුම්කොළ පයිප්ප: මෙය ආරක්ෂිත ක්‍රමයක් කියා සමහරුන් සිතුවත් එය එසේ නොවෙයි. මෙයද පිළිකා සහ වෙනත් රෝගවලට මඟ පාදයි.

වෙනත් ක්‍රම: දුම්කොළ සැපීම හා දුම්කුඩු ඉරීම ඊට ඇතුළත්. ඒ මගින් සිදු වන්නේ නිකටින් මුඛයෙන් රුධිරයට උරාගැනීමයි. මෙම ක්‍රමද කලින් සඳහන් කළ ඒවා තරම්ම භයානකයි.

ජල බඳුනකට සවි කළ දුම් උරන උපකරණය: මෙම උපකරණය මගින් සිදු කරන්නේ දුම්කොළ දහනය වීමෙන් පැමිණෙන දුම්, ජලය හරහා ගමන් කිරීමට සැලැස්වීමයි. ඉන්පසුව එම දුම බටයක් මගින් උරයි. නමුත් එම ක්‍රියාවලිය මගින් පෙණහලුවලට ගමන් කරන පිළිකාකාරක ද්‍රව්‍ය හෝ වෙනත් විෂ ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ.

[8වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඉන් මිදෙන්න ඔවුන්ට උපකාර කරන්න

ශුභවාදීව සිතන්න: උපදෙස් දෙනවා හා චෝදනා කරනවා වෙනුවට ඔවුන්ව අගය කරන්න. “ඔයා නම් හැදෙන කෙනෙක් නෙවෙයි” කියනවා වෙනුවට “ආයෙත් උත්සාහ කරන්න. ඔයාට ඕක නතර කරන්න පුළුවන්” කියා පවසන්න.

සමාව දෙන්න: එම පුරුද්දෙන් මිදෙන්න උත්සාහ කරන පුද්ගලයා ඔබ සමඟ කෝප වුණත් එය ගණන් නොගෙන සිටීමට උත්සාහ කරන්න. “ඔයා සිගරට් බොන කාලේ නම් මීට වඩා හොඳයි” කියා කිසිවිටකත් පවසන්න එපා! ඒ වෙනුවට “මම දන්නවා ඒක හරි අමාරුයි කියලා. නමුත් ඔයාගේ උත්සාහය මම අගය කරනවා” වැනි කාරුණික වදන්වලින් ඔහුව දිරිගන්වන්න.

සැබෑ මිතුරෙක් වන්න: “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 17:17) එමනිසා එවැනි කෙනෙකු සමඟ “සෑම වෙලේම” ඉවසීමෙන් හා ප්‍රේමයෙන් කටයුතු කිරීමට උත්සාහ කරන්න.