Skip to content

පටුනට යන්න

ගොතගැසීමේ ගැටලුවට මුහුණ දීම

ගොතගැසීමේ ගැටලුවට මුහුණ දීම

ගොතගැසීමේ ගැටලුවට මුහුණ දීම

“මට ගොතගැහෙනකොට මම කලබල වෙනවා. ඒ නිසා ඒක තවත් වැඩි වෙනවා. ඒක හරියට වළක වැටිලා ගොඩ එන්න බැරිව ඉන්නවා වගෙයි. මනෝ වෛද්‍යවරියක් ළඟට ගියාම ඇය කිව්වේ මට මං ගැන ඇති විශ්වාසය තවත් වැඩි කරගන්න පෙම්වතියක් හොයාගෙන ඇය සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්න කියලයි. මම නම් ආයේ එයාගෙන් උපදෙස් ගන්න ගියේ නැහැ. මට ඕනේ අනික් අය මාව තේරුම්ගන්නවාටයි.”—තිස්දෙහැවිරිදි රාෆාඑල්.

ඔබ ගොතගැසීමේ ගැටලුවට මුහුණ දෙනවා නම් බස් රථයකට ගොඩ වී ටිකට් පතක් ඉල්ලීම පවා ඔබව බියට පත් කරන අද්දැකීමක් විය හැකියි. ඇත්තෙන්ම ලෝක ජනගහනයෙන් මිලියන 60ක්ම එනම් සෑම සියදෙනෙකුගෙන් එක් අයෙක්ම මෙම ගැටලුවට මුහුණ දෙනවා. ඔවුන් අන් අයගේ හාස්‍යයට හා සමච්චලයට ලක් වී තිබෙනවා. ඒ වගේම සමහර වචන උච්චාරණය කිරීම ඔවුන්ට අපහසු නිසා සමහරුන් ඔවුන්ව සලකන්නේ බුද්ධියෙන් අඩු අය හැටියටයි.

ගොතගැසීමට හේතුව කුමක්ද? ඊට විසඳුමක් තිබෙනවාද? එවැනි කෙනෙකුට කතා කිරීමේ හැකියාව දියුණු කරගත හැක්කේ කෙසේද? * ඔවුන්ට උපකාර කිරීමට අන් අයට කුමක් කළ හැකිද?

ඊට හේතුව කුමක්ද?

ගොතගැසීමට හේතු වන්නේ භූතයෙක් ආවේශවීම නිසා බවත් ඔහුව පලවාහැරීමෙන් එය සුව කළ හැකි බවත් පැරණි මතයක් තිබුණා. එමෙන්ම තවත් සමහරුන් පැවසුවේ එය දිවේ දෝෂයක් කියායි. ඊට ප්‍රතිකාර ලෙස රත් කළ යකඩ හා සැර කුළු බඩු දිවේ තැබුවා. පසු කාලයේදී සමහර වෛද්‍යවරුන් විසින් දිවේ යම් ස්නායු හා පේශි කපා ඉවත් කළත් සෙම්ගෙඩි ඉවත් කළත් ඒ කිසිවකින් ඊට නිසි විසඳුමක් ලැබුණේ නැහැ.

ගොතගැසීමේ ගැටලුවට හේතු බොහොමයක් බලපෑ හැකි බව වර්තමානයේදී සොයාගෙන තිබෙනවා. කෙනෙක් දැඩි මානසික පීඩනයෙන් පෙළීම ඊට එක් හේතුවක් විය හැකියි. ගොතගසන අයගෙන් සියයට 60කගේ ඥාතීන්ටද එම ගැටලුව තිබෙන බව සොයාගෙන තිබෙනවා. ඒ නිසා ජානවල බලපෑමක්ද ඊට හේතු විය හැකි බව ඔවුන් පවසනවා. එමෙන්ම මොළයේ ඡායාරූප නිරීක්ෂණය කරමින් විශේෂඥයන් පවසන්නේ ගොතගසන අයගේ මොළයේ භාෂාව සකසන ආකාරය අන් අයට වඩා වෙනස් බවයි. වෛද්‍ය නේතන් ලාවෙඩ් ඒ ගැන මෙසේ පවසනවා. “යම් වචනයක් ශබ්ද කළ යුතු ආකාරය ගැන මොළයෙන් සංඥාවක් ලැබෙන්න පෙර සමහරුන් කතා කරනවා වෙන්න පුළුවන්. එයද ගොතගැසීමට හේතුවක් විය හැකියි.” *

ගොතගැසීමට මූලික හේතුව මානසික ගැටලුවක් කියා කිව නොහැකියි. නමුත් පිරිසක් ඉදිරියේ කතා කිරීමට සිදු වීම හෝ දුරකථනයෙන් කතා කිරීම වැනි තත්වයන් නිසා ඔවුන් යම් මානසික රෝගී තත්වයකට පත් විය හැකියි. ඒ ගැන එක් පොතක සඳහන් වූ දේ බලන්න. “කෙනෙකු ගොතගසන්නේ යම් මානසික ගැටලුවක් නිසා නොවෙයි. ඒ නිසා එවැනි කෙනෙකුට ඉන් සම්පූර්ණයෙන්ම මිදෙන්න හැකි බව පැවසීමෙන් පමණක් ඔහුට සුවයක් ලැබෙන්නේ නැහැ.” එසේනම් ඒ සඳහා කළ හැක්කේ කුමක්ද?—එම පොත No Miracle Cures.

ඔවුන්ට උපකාර කරන්න

බොහෝවිට ගොතගසන කෙනෙක් ගී ගයන විට, රහසක් කියන විට, තමාටම හෝ තම සුරතලාට යමක් පවසන විට එතරම් ගොතගසන්නේ නැති වීම පුදුමයට කරුණක්. එමෙන්ම එම ගැටලුවට මුහුණ දෙන දරුවන්ගෙන් සියයට 80ක් පමණ ඔවුන් වැඩෙත්ම එය ක්‍රමානුකූලව මඟහැරී යනවා. නමුත් අනික් සියයට 20 ගැන කුමක් කිව හැකිද?

කතා කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා විවිධ ක්‍රම අද තිබෙනවා. සමහර ක්‍රම මගින් හකු, තොල් හා දිව ළිහිල් කිරීම මෙන්ම ගැඹුරින් හුස්මගැනීමටද පුරුදු කරයි. ඊට අමතරව කතා කිරීමේ මූලික පියවර ලෙස ගැඹුරු හුස්මක් ගෙන එය ටිකෙන් ටික පිට කිරීමට එමෙන්ම සමහර වචන ‘ඇදලා’ කීමටද හුරු කරයි. එවන් ව්‍යායාම් සමඟින් කතා කිරීමේ හැකියාව ක්‍රමානුකූලව දියුණු වෙයි.

ඒ සඳහා තනිවම පුහුණු වීම පහසු දෙයක් වුණත් යම් පිරිසක් ඉදිරියේ එසේ කතා කිරීම විශාල අභියෝගයක් විය හැකියි. සමහරවිට ඒ සඳහා දවස් ගණනාවක පුහුණුවක් අවශ්‍ය වෙයි.

දරුවෙකුට එවන් පුහුණුවක් දීමට පටන්ගත යුත්තේ කුමන වයසේදීද? දරුවා වැඩෙනවාත් සමඟම එම ගැටලුව මඟහැරී යයිද කියා බලා සිටීම නැණවත් දෙයක්ද? ඉහත සඳහන් ලෙස අනික් දරුවන් සියයට විස්සෙනුත් යම් පිරිසක් අවුරුදු පහ වන විට ඉබේම සුවය ලබන බව සංඛ්‍යා ලේඛණවලින් පැහැදිලි වෙනවා. නමුත් දිගින් දිගටම ගොතගසන දරුවන් ගැන කුමක් කිව හැකිද? ඒ ගැන ඉහත සඳහන් කළ පොතේ මෙසේ සඳහන් වුණා. “අවුරුදු හය වන විටත් දරුවා ගොතගසයි නම් ප්‍රතිකාර රහිතව ඔහු සුවය ලබයි කියා සිතීම අපහසුයි. ඒ නිසා හැකි විගස ඔහුව විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්විය යුතුයි.” පුහුණු වීම් හා ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු එම දරුවන්ගෙන් වැඩි පිරිසක්ද සුවය ලබා තිබෙන බව වාර්තා වෙනවා. *

තත්වයට අනුව සකස් වෙන්න

විශේෂඥ වාග් චිකිත්සකයෙක් වන රොබට් කෙසාල්ටද ගොතගැසීමේ ගැටලුව තිබෙනවා. ඔහු පවසන්නේ සෑම අවස්ථාවකදීම ගොතගසන්නේ නැතුව කතා කරන්න හැකි වෙයි කියා කෙනෙක් සිතනවා නම් එය සාධාරණ බලාපොරොත්තුවක් නොවන බවයි. ඉහත සඳහන් කළ රාෆාඑල්ටද ඉන් සම්පූර්ණයෙන්ම ගොඩ ඒමට නොහැකි වුණත් පෙරට වඩා හොඳින් කතා කරන්න ඔහුට හැකි වී තිබෙනවා. ඒ ගැන ඔහු පවසන්නේ මෙසේයි. “මට ගොඩක් ගොතගැහෙන්නේ කට්ටියක් ඉස්සරහා කියවන්න හරි කතා කරන්න හරි තියෙනකොටයි. ඒ වගේම ටිකක් ලස්සන ගැහැනු ළමයෙක් එක්ක කතා කරනකොටත් මට ඒ ගැටලුව මතු වෙනවා. සමහරු මට හිනා වෙන නිසා ඉස්සර මං ගොඩක් භයයි. නමුත් දැන් මම උත්සාහ කරන්නේ මගේ තත්වය තේරුම් අරගෙන කටයුතු කරන්නයි. ඒ නිසා දැන් මට වචනයක් ගොතගැහෙන කොට ටිකක් හිනා වෙලා, සන්සුන් වෙලා ඊටපස්සේ ආයෙත් ඒක කියන්න උත්සාහ කරනවා.”

ඇමරිකාවේ තිබෙන එක් සංගමයක් ඉදිරිපත් කළ මෙම අදහස රාෆාඑල්ගේ අදහසටද එකඟයි. “ගොතගැසීමේ ගැටලුවෙන් ගොඩ ඒමට බොහෝවිට අවශ්‍ය වන්නේ ගොතගසන්නේ නැතුව කතා කරන්න වෑයම් කරනවාට වඩා ගොතගසන විට ඇති වන බිය නැති කරගැනීමයි.”—Stuttering Foundation of America.

බොහෝදෙනෙක් එම ගැටලුව සමඟ පොර බැදුවත් තම ඉදිරි ජීවිතයට එය බාධාවක් වීමට ඉඩ දී නැහැ. භෞතික විද්‍යාඥ ආචාර්ය අයිසෙක් නිව්ටන්, ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් වූ වින්ස්ටන් චර්චිල් හා ඇමරිකාවේ සුපිරි නළුවෙක් වූ ජේම්ස් ස්ටුවර්ට් එම ගැටලුවට මුහුණ දුන්නා. තවත් අය සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට, චිත්‍ර ඇඳීමට හෝ සංඥා භාෂාව වැනි වෙනත් ක්ෂේත්‍රවල නිපුණයන් වී තිබෙනවා. එමනිසා පහසුවෙන් කතා කිරීමේ හැකියාව ඇති අප එවැනි අයව මොන තරම් අගය කළ යුතුද! ඔව්, අපි සියලුදෙනාම අපට හැකි උපරිමයෙන් ඔවුන්ව දිරිගන්වා ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙමු!

[පාදසටහන්වල]

^ 4 ඡේ. මෙම ගැටලුවට මුහුණ දෙන අයගෙන් සියයට 80ක්ම පිරිමි පාර්ශ්වයයි.

^ 7 ඡේ. ගොතගැසීමට හේතු වන කාරණා හා ඒවාට ප්‍රතිකාර ක්‍රම සොයාගෙන තිබුණත් සමහරවිට ඒවා අතර යම් එකඟ නොවීම්ද තිබිය හැකියි. පිබිදෙව්! සඟරාව යම් නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැති බව සලකන්න.

^ 13 ඡේ. ගොතගැසීම වැළැක්වීම සඳහා සමහර අවස්ථාවලදී වෛද්‍යවරුන් යම් ඖෂධ නිර්දේශ කරන අතර තවත් අවස්ථාවලදී යම් විශේෂ උපකරණ භාවිත කිරීමටද උපදෙස් දෙයි.

[13වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔවුන්ට උපකාර කළ හැකි ක්‍රම

● අද පවතින කලබලකාරී ජීවන රටාව නිසා ඔවුන්ගේ තත්වය තවත් වැඩි විය හැකියි. ඒ නිසා ඔවුන්ට සන්සුන් සාමකාමී වාතාවරණයක් සලසා දෙන්න.

● වේගය අඩු කර කතා කරන්න කියා ඔවුන්ට පවසනවා වෙනුවට ඔබ එසේ කර පෙන්වන්න. ඉවසීමෙන් සවන් දෙන්න. ඔවුන් කතා කරන විට බාධා නොකරන්න. ඔවුන් වෙනුවෙන් වාක්‍ය අවසන් කිරීමෙන් වළකින්න. ඔවුන් කතා කර අවසන්යැයි සිතා ඔබ කතා කිරීමට ඉක්මන් නොවන්න.

● ඔවුන්ව නිවැරදි කිරීමෙන් හා විවේචනය කිරීමෙන් වළකින්න. ඔවුන් යමක් පවසන විට හොඳින් අවධානය දෙන්න. ඔබේ මුහුණේ ඉරියව්වලින්, අංග චලනයෙන් සහ ඔබේ අදහස්වලින් ඔවුන් පවසන දේ ගැන උනන්දුවන බව පෙන්වන්න.

● ගොතගැසීමේ ගැටලුව ගැන කතා කිරීම තහනම් විෂයක් කර නොගන්න. ඒ වෙනුවට ඔවුන් ගොතගසන විට ඉඳහිට මිත්‍රශීලී සිනහවක් පාමින් මෙසේ පවසන්න පුළුවන්. “අපිට කියන්න ඕනෑ දේ කියන එක හැමවිටම ලෙහෙසි දෙයක් නෙවෙයි නේද?”

● ඔබ ඔවුන්ව හොඳින් තේරුම්ගන්නා බව ඔවුන්ට හැඟෙන්න සලස්වන්න.

[14වන පිටුවේ කොටුව⁄පින්තූරය]

“ගොතගසන එක ටිකෙන් ටික අඩු වුණා”

වික්ටර් නමැත්තා මානසික පීඩනයක් හේතුවෙන් වසර කිහිපයක් පුරා ගොතගැසීමේ ගැටලුවට මුහුණ දුන්නා. නමුත් ප්‍රතිකාරයකින් තොරව ඉන් මිදීමට ඔහුට හැකි වුණා. ඒ කෙසේද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වන ඔහු සති පතා පවත්වන ඔවුන්ගේ රැස්වීමක් වන දිව්‍යාණ්ඩු සේවා පාසැලට සහභාගි වීමෙනුයි. එය ගොතගසන අය වෙනුවෙන් පිහිටුවා ඇති පාසැලක් නොවුණත් හොඳ විශ්වාසයෙන් යුතුව කතා කිරීමේ හැකියාව දියුණු කරගැනීමට එමගින් පුහුණුව ලැබෙනවා.

එම පාසැලේ භාවිත කරන්නේ දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු නමැති පොතයි. එහි 95වන පිටුවේ “ගොතගැසීමේ ප්‍රශ්නයට මුහුණ දීම” නමැති මාතෘකාවෙන් යුත් කොටුවේ මෙසේ සඳහන් වෙනවා. ‘අත්නෑර උත්සාහ කිරීම වැදගත්. කතාවක් දීමට සිදු වේ නම් මැනවින් සූදානම් වන්න. ඉදිරිපත් කරන කරුණුවලට ඔබේ පූර්ණ අවධානය දෙන්න. කතා කරන අතරතුරේදී ගොතගැසෙනවා නම් හැකි තාක් දුරට ඔබේ කටහඬෙන් සහ ඉරියව්වෙන් සන්සුන්ව සිටින්න. ඔබේ හකු ආශ්‍රිත පේශි තද කරගන්න එපා. කෙටි වාක්‍යය යොදාගන්න. ම්ම් සහ ආහ් වැනි යෙදුම් භාවිත කිරීම හැකි තාක් දුරට අඩු කරන්න.’

එම පාසැලට සහභාගි වීමෙන් ලැබූ ප්‍රයෝජන ගැන වික්ටර් මෙසේ පවසනවා. “මම ගොඩක් අවධානය දෙන්නේ කියන්න යන තොරතුරුවලට මිසක් කියන ආකාරය ගැන නෙවෙයි. එහෙම හිතුවම මට තියෙන ගැටලුව අමතක වෙනවා. ඒ වගේම මම ගොඩක් පුහුණු වෙනවා. ඒ නිසා ගොතගසන එක ටිකෙන් ටික අඩු වුණා.”