Skip to content

පටුනට යන්න

තායිලන්ත කඳුකරයට පැමිණි අමුත්තෝ

තායිලන්ත කඳුකරයට පැමිණි අමුත්තෝ

තායිලන්ත කඳුකරයට පැමිණි අමුත්තෝ

උතුරු තායිලන්තයේ චියෑං මායි වෙළඳපොළේ තවත් කාර්යබහුල දවසක්. සෙනඟ තෙරපෙමින් මඟ දෙපස ඇති පොඩි කඩ සාප්පුවල නානාප්‍රකාර බඩු තෝරනවා. හැමෝම වගේ මේ උත්සාහ කරන්නේ අඩු මිලට බඩු ගන්නයි. ඔබත් මෙහි පැමිණියොත් ඔවුන් අතර සිටින විවිධ ගෝත්‍රිකයන්ව දැක බලා ගන්න ඔබට අවස්ථාව ලැබෙයි.

තායිලන්තයේ මිලියන 65ක් පමණ වෙසෙන අතර ඊට විවිධ ගෝත්‍ර 23ක් අයත් වෙනවා. ඉන් වැඩි හරියක් වෙසෙන්නේ තායිලන්තයේ උතුරට වෙන්න තිබෙන කඳුකර ප්‍රදේශයේයි. එය මියන්මාරය සහ ලාඕසයේ දේශ සීමාව දෙසට විහිදී යයි.

ඉහත සඳහන් ගෝත්‍රවලින් වැඩි හරියක් තායිලන්තයට පැමිණියේ පසුගිය අවුරුදු 200 ඇතුළතයි. ප්‍රධාන ගෝත්‍ර හයෙන් විශාලම එක වන්නේ කේරන් ගෝත්‍රයයි. ඔවුන් පැමිණියේ මියන්මාරයේ සිටයි. ඒ වගේම ලාහූ, ලිසූ හා එක්හේ ගෝත්‍ර පැමිණ තිබෙන්නේ චීනයේ නිරිතදිගින් පිහිටි යූනාන්වලිනුයි. මොං හා මීඑන් ගෝත්‍ර පැමිණියේ චීනයේ මධ්‍යම ප්‍රදේශයේ සිටයි. *

එවන් ගෝත්‍ර මෙසේ සංක්‍රමණය කිරීමට ප්‍රධාන හේතු කිහිපයක් නම් සමාජයෙන් එල්ල වී ඇති පීඩන, යුද්ධ හා වගා බිම් සොයා යෑම සඳහන් කළ හැකියි. * එවැනි අයට උතුරු තායිලන්තයේ කඳුකර ප්‍රදේශය කදිම නිවහනක් වුණා. තායිලන්තයද ඊට අවසර දී තිබෙනවා. ඒ නිසා වැඩි කල් යාමට මත්තෙන් විවිධ සංස්කෘතීන්ට අයත් ගෝත්‍ර එහි පදිංචි වීම නිසා කඳුකරයට අමුතුම අලංකාරයක් එක් වී තිබෙනවා.

ඇඳුම් පැළඳුම් හා සංස්කෘතිය

එක් එක් ගෝත්‍රයන්ට අයත් අය ඇඳ පැළඳ සිටින්නේ ඔවුන්ටම ආවේණික වූ ආකාරයටයි. උදාහරණයකට එක්හේ ගෝත්‍රික කාන්තාවන් රිදීවලින් වැඩ දැමූ හිස් ආවරණයක් පළඳිනවා. ඊට එම්බ්‍රොයිඩර් රටා දමා ටසල් මෙන්ම විවිධ කාසිවලින් අලංකාර කළ කුලුනක් බඳු කොටසක් සම්බන්ධ කර තිබෙනවා. තවත් හිස් වැසුම් යකඩ කොරපොතු බඳු යමකින් නිර්මාණය කර තිබෙන අතර දිදුලන බොත්තම්, පබලු හා කුඩා බෝලවලින් සරසා තිබෙනවා. ඊට වෙනස්ව මීඑන් කාන්තාවන් කැපීපෙනෙන්නේ නානාවිධ වර්ණවලින් එම්බ්‍රොයිඩර් වැඩ දමා ඇති දිග කලිසම නිසයි. එවන් කලිසමක් නිම කිරීමට අවුරුදු පහක් පමණ ගත විය හැකියි. ආකර්ෂණීය තලප්පාව, වළලුකර දක්වා දික් වූ රතු පැහැති ලොම් සහිත විශාල කොලරයක් සහිත කබාය මෙන්ම නිලට හුරු දම් පැහැති සළුව ඔවුන්ට ඉතාම ආකර්ෂණීය පෙනුමක් ලබා දෙනවා.

ගෝත්‍රික කාන්තාවන් විවිධ රිදී ආයිත්තම්වලින් සැරසී සිටින්නේ ඔවුන්ගේ සංස්කෘතියේ චාරිත්‍රයක් හැටියටයි. තමන්ගේ දීප්තිමත් ඇඳුමින් හා ඉන් නැඟෙන සිලිං සිලිං හඬින්, අන් අයටත් විශේෂයෙන්ම තම අනාගත සහකරුට කියාපාන්නේ තමන් සතු තත්වය හා වත්පොහොසත්කමයි. ඔවුන්ගේ ඇඳුම් විලාසිතාවන්ට වීදුරු, ලී මෙන්ම වර්ණවත් නූලින් වැඩ දැමූ මෝස්තරද ඇතුළත්.

බොහෝ ගෝත්‍රිකයන් තමන්ගේ සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර ඉතා ඉහළින් සලකනවා. කේරන් ගෝත්‍රයේ යෞවන යෞවනියන් ඊට හොඳ උදාහරණයක්. ඔවුන් වැඩිම විලාසිතාවකින් සැරසී සිටින්නේ අවමංගල්‍ය උත්සවයකදීයි. ඒ ඇයි? ඔවුන්ගෙන් බොහෝදෙනෙක් එවන් අවස්ථාවකට සහභාගි වන්නේ තම අනාගත සහකරු හෝ සහකාරියව සොයාගැනීමේ චේතනාවෙනුයි. හිරු බැස යෑමෙන් පසු ගැහැනු පිරිමි දෙපාර්ශ්වයම අතිනත අල්ලාගෙන සාම්ප්‍රදායික ප්‍රේම ගී ගයමින් රාත්‍රිය පුරා සෙමින් සෙමින් දේහය වටේ ගමන් කරනවා.

මොං ගෝත්‍රයේ යෞවනයන් තම ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තියව සොයාගන්නේ අලුත් අවුරුදු උත්සවයේදී විශේෂ ක්‍රීඩාවක යෙදීමෙනුයි. ඒ සඳහා ඔවුන් තමාගේ හිත ගිය ගැහැනු ළමයා හෝ පිරිමි ළමයා සමඟ මදක් ඈතින් මුහුණට මුහුණ ලා සිටගෙන සැහැල්ලු බෝලයක් එකිනෙකාට දමයි. ඉන් එක් අයෙක් වැරදීමකින් හෝ හිතාමතා බෝලය බිම වැට්ටුවොත් ඔහු විසින් අනික් කෙනාට පුංචි විසිතුරු භාණ්ඩයක් ලබා දිය යුතුයි. නමුත් එදින සවසම ගීතයක් ගායනා කිරීමෙන් එය නැවතත් ලබාගන්න ඒ තැනැත්තාට අවස්ථාව තිබෙනවා. ඒ සඳහා ගීතය අනික් තැනැත්තාගේ මෙන්ම වෙනත් අයගේද සිත් ඇදගත යුතුයි.

වෙනස්කම්වලට මුහුණ දෙමින්

ගෝත්‍රිකයන් කඳුකර ප්‍රදේශවල පදිංචි වූ මුල් කාලයේදී කිසිම වග විභාගයකින් තොරව වනාන්තර එළි කර වගා කටයුතු හා සතුන් ඇති කිරීමට පටන්ගත්තා. එමගින් පරිසරයට විශාල හානි සිදු වුණා. නමුත් මේ වන විට ඔවුන් නිසි පාලනයකින් යුතුව කටයුතු කරන නිසා ඉන් හොඳ ප්‍රතිඵල ලැබී තිබෙනවා.

කලින් බොහෝ ගෝත්‍රිකයන් තායිලන්තය, ලාඕසය හා මියන්මාරයට අයත් දේශ සීමාවල අබිං වගා කළා. නමුත් දැන් තායිලන්ත රාජකීය පවුලේ සහ ජාත්‍යන්තර ආධාර සපයන ආයතනවල සහයෝගයෙන් ඔවුන් කෝපි, එළවළු, පලතුරු හා මල් වර්ග වගා කිරීමට පටන්ගෙන තිබෙනවා. ඒ වගේම භාණ්ඩ විකිණීම, සේවාවන් සැපයීම මෙන්ම සංචාරකයන්ට පාරම්පරික අත්කම් භාණ්ඩ අළෙවි කිරීමේද ඔවුන් යෙදී සිටිනවා.

කෙසේනමුත් දුගී බව, සනීපාරක්ෂක පහසුකම් හා අධ්‍යාපනය නොමැති වීම වැනි දේවලින් ඔවුන් පීඩා විඳිනවා. සම්පත් හිඟ වීම, සංස්කෘතික වෙනස්කම්, ජාතිවාදී අරගල හා මත්ද්‍රව්‍ය මෙන්ම මත්පැන්වලට ඇබ්බැහි වීමද ඔවුන් මුහුණ දෙන තවත් අභියෝගයක්. මෙම ගෝත්‍රිකයන්ගේ මුතුන්මිත්තන් තායිලන්තයට පලා ආවේ එවැනි දේවලින් රැකවරණය ලැබීමටයි. නමුත් දැන් ඔවුන් ඒ සඳහා කොහේ යන්නද?

ස්ථිර රැකවරණයක්

කඳුකර ගෝත්‍රිකයන් බොහෝදෙනෙකුට සැබෑ සහනය සොයාගැනීමට හැකි වී තිබෙනවා. ඒ සැබෑ දෙවි යෙහෝවා ගැන ඉගෙනගැනීමෙනුයි. බයිබලයේ ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. “ජනයෙනි, යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න. ඔහුගේ රැකවරණය පතන්නා සන්තෝෂවත්ය.” (ගීතාවලිය 34:8) ලාහූ ගෝත්‍රයට අයත් ජෝලේ දැන් එය අද්දකිමින් සිටිනවා. ඒ ගැන ඔහු මෙහෙම කියනවා. “මම විවාහ වුණේ වයස අවුරුදු 19දීයි. ඒ කාලේ මම මත්පැන්වලටත් මත්ද්‍රව්‍යවලටත් ඇබ්බැහි වෙලයි හිටියේ. ඒවා නැතුව මට වැඩ කරන්න බැහැ. වැඩ කෙරුවේ නැත්නම් සල්ලි නැහැ. මගේ බිරිඳ ඇනෝතායිට දැනුණේ මං එයාට ආදරයෙන් සලකන්නේ නැහැ කියලයි. ඒ නිසා අපි අතර නිතර රණ්ඩුසරුවල් ඇති වුණා.

“අපේ දුව සූපේවඩී ඉපදුණාට පස්සේ ඇනෝතායි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඒ වුණත් ඔවුන් අපේ ගෙදර එනකොට මම කැලේට දුවනවා. කොහොමවුණත් මගේ බිරිඳගේ හැසිරීමේ වෙනසක් මම දැක්කා. එයා මට ගෞරවයෙන් කතා කළා වගේම ගෙදර වැඩත් උනන්දුවෙන් කරන්න පටන්ගත්තා. පස්සේ මටත් බයිබලය පාඩම් කරන්න කියලා එයා කිව්වා. මමත් ඒකට කැමති වුණා.

“බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් මගේ හිතට කාවැදුණු නිසා මම ටිකෙන් ටික වෙනස් වෙන්න පටන්ගත්තා. අන්තිමේදී දෙවිගේ උපකාරය නිසා මගේ නරක පුරුදු අතහරින්නත් මට පුළුවන් වුණා. ඔව්, ජීවිතය ගත කරන්න ඕන හොඳම විදිහ අපිට ඉගෙනගන්න ලැබුණ නිසා දැන් අපේ මුළු පවුලම ඉන්නේ හරිම සතුටින්! ඒ වගේම මේ කඳුකරයේ අනිකුත් ගෝත්‍රවල අය එක්ක බයිබලයේ සඳහන් ඉගැන්වීම් බෙදාගන්න ලැබීමත් අපිට ලොකු ප්‍රීතියක්.”

බයිබලයේ එළිදරව් පොතේ සඳහන් එක් අනාවැකියක් සත්‍යය වන ආකාරය ඔහුගේ වචනවලින් පැහැදිලි වෙනවා. එහි සඳහන් වන්නේ අද පවතින දුෂ්ට සමාජයේ අවසාන කාලයේදී ‘සදාකාල ශුභාරංචිය සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත්’ අසන්න ලැබෙන බවයි. (එළිදරව් 14:6) සියලු ජනයා සඳහා දෙවිගේ ප්‍රේමයේ ප්‍රකාශයක් වන එම ශුභාරංචිය තායිලන්ත කඳුකරයේ වෙසෙන විවිධ ගෝත්‍රිකයන්ටත් ප්‍රකාශ කරන්න ලැබීම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සලකන්නේ උතුම් වරප්‍රසාදයක් ලෙසයි.—යොහන් 3:16.

[පාදසටහන්වල]

^ 4 ඡේ. සමහර රටවල එම ගෝත්‍ර විවිධ නම්වලින් හඳුන්වයි. උදාහරණයකට මීඑන් ගෝත්‍රය ලූ මීඑන්, මියන්, යාඋ, ඩාඋ, සාඋ හෝ මාන් කියාද හඳුන්වයි.

^ 5 ඡේ. ඒ හා සමාන ගෝත්‍ර චීනය, වියට්නාමය, ලාඕසය හා මියන්මාරය වැනි රටවල තවමත් දැකගත හැකියි. ඊට අමතරව ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ඇමරිකාව හා වෙනත් රටවලද මෑත කාලයේ සිට එවන් ගෝත්‍රික කණ්ඩායම් පදිංචි වී තිබෙනවා.

[16වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඇත්තටම ඔවුන්ගේ ගෙල දික් වෙනවාද?

කයාන් ගෝත්‍රයට අයත් බොහෝ කාන්තාවන් තම අලංකාරය වැඩි කරගැනීමටයැයි පවසමින් අඟල් 15ක් උස පිත්තල දඟරයක් තම ගෙල වටා දමාගන්නවා. එසේ කරන්නේ ඔවුන්ගේ ගෙල වඩාත් දිගු කරගැනීමටයි. * ඔවුන් එය ආරම්භ කරන්නේ වයස අවුරුදු පහේ සිටයි. පසුව අවුරුදු කිහිපයකට වරක් පෙරට වඩා වැඩි උසකින් යුත් දඟරයක් පළඳිමින් අවසානයේදී කිලෝග්‍රෑම් 13ක් බර, වට 25කින් සමන්විත දඟරයක් පළඳියි. බැලූ බැල්මට ගෙල දික් වී ඇති බවක් පෙනුණත් ඇත්තටම සිදු වී තිබෙන්නේ එම දඟරය මගින් උරහිස පහතට තල්ලු වී ඉළ ඇට එකිනෙකට ළං වීමයි.

[පාදසටහන]

^ 25 ඡේ. එම ගෝත්‍රය තායිලන්තයට පැමිණියේ මියන්මාරයේ සිටයි. එහි තවමත් එම ගෝත්‍රිකයන් 50,000ක් පමණ ජීවත් වන අතර එහි ඔවුන්ව හඳුන්වන්නේ පෙඩාඋං යන නමිනුයි. එහි අර්ථය “දිගු ගෙල” යන්නයි.

[හිමිකම් විස්තර]

Hilltribe Museum, Chiang Mai

[17වන පිටුවේ කොටුව]

මහා ජලගැල්මක් පිළිබඳ ජනප්‍රවාද

ලිසූ හා මොං යන ගෝත්‍ර දෙකටම අයත් ජනප්‍රවාදවල මහා ජලගැල්මක් පිළිබඳව සඳහන් වෙනවා. එය මොං ජනප්‍රවාදයේ සඳහන් වන්නේ මෙසේයි. “අහසට අධිපති දෙවි” මුළු ලෝකයටම බලපාන ජලගැල්මක් ගැන සහෝදරයන් දෙදෙනෙකුට අනතුරු අඟවනවා. ඔහු, කලහකාරී වැඩිමහල් සහෝදරයාට යකඩින් බෝට්ටුවක් සාදන්න කියාත් බාල සහෝදරයාට ලීවලින් බෝට්ටුවක් සාදන්න කියාත් උපදෙස් දෙනවා. එමෙන්ම ඔවුන්ගේ බාල සහෝදරියවත් සෑම සත්ව වර්ගයකින්ම ජෝඩුව බැගිනුත් සෑම ශාක වර්ගයකින්ම බීජ දෙක බැගිනුත් ලී බෝට්ටුවට ඇතුල් කරගන්න කියා ඔහු බාල සහෝදරයාට පවසනවා.

ජලගැල්ම පැමිණි විට යකඩ බෝට්ටුව ගිලෙන අතර ලී බෝට්ටුව පා වෙන්න පටන්ගන්නවා. පසුව දේදුන්නක හැඩැති මකරෙකු පොළොවේ ජලය සිඳී යන්න සලස්වනවා. අවසානයේදී බාල සහෝදරයා තම සහෝදරියව විවාහ කරගන්නා අතර ඔවුන්ගෙන් පැවතෙන්නන්ගෙන් පොළොව පිරී යනවා. ශුද්ධ බයිබලයේ උත්පත්ති 6 සිට 10 දක්වා පරිච්ඡේදවල සඳහන් නිවැරදි වාර්තාව සමඟ එම ජනප්‍රවාදය සසඳා බලන්න.

[16, 17වන පිටුවේ පින්තූරය]

ගෝත්‍රික කාන්තාවක් ඔවුන්ගේ ඇඳුමින් සැරසී

[හිමිකම් විස්තර]

Hilltribe Museum, Chiang Mai

[17වන පිටුවේ පින්තූරය]

ජෝලේ තම පවුලේ අය සමඟ

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Both pictures: Hilltribe Museum, Chiang Mai