Skip to content

පටුනට යන්න

භයානක මිතුරෙක්

භයානක මිතුරෙක්

භයානක මිතුරෙක්

පාසැල් යන කාලයේ හමු වූ “මිතුරෙක්” ඔබට සිටියි. මිතුරන් අතර ඔබට පිළිගැනීමක් ලබා දුන්නේ ඔහුයි. ඔබ මානසික පීඩනයකින් පසු වූ අවස්ථාවලදී “සහනයක්”පතා නිතරම ගියේ ඔහු ළඟටයි. ඇත්තම කියනවා නම් ඔබට දැන් ඔහුව නැතුවම බැරි තත්වයකට පත් වෙලා.

නමුත් ඔහු එතරම් හොඳ මිතුරෙකු නොවන බව කාලයත් සමඟ ඔබ තේරුම්ගන්නවා. ඔබ අකමැති වුණත් ඔබ යන සමහර තැන්වලට ඔහුවත් රැගෙන යන්න කියා ඔහු ඔබට බල කරනවා. කලකට ඉහතදී ඔබේ මිතුරන් අතර පිළිගැනීමක් ලබා දුන් ඔහු එසේ කළේ ඔබේ ජීවිතය අනතුරේ හෙළමිනුයි. ඒ විතරක් නොවෙයි ඔබ මහන්සියෙන් උපයන සල්ලිත් ඔහු නාස්ති කරනවා!

ඔහුගෙන් ඈත් වෙන්න ඔබ උත්සාහ කළත් ඔහු නම් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඔහු ඔබව පාලනය කරන්නත් පටන් අරන්! ඔහු වැනි කෙනෙකුව මිතුරෙක් කරගැනීම ගැන ඔබ දැන් ගොඩක් කනගාටු වෙනවා.

දුම්පානය කරන්නන් හා දුම්වැටි අතර තිබෙන්නේත් එවැනිම සම්බන්ධයක්. අවුරුදු 50ක් තිස්සේ දුම්පානයට ඇබ්බැහි වී සිටි අර්ලීන් නමැති කාන්තාව මෙසේ පවසනවා. “හොඳ මිතුරෙකුගෙන් ලැබෙනවාට වඩා උපකාරයක් මට සිගරට් එකෙන් ලැබුණා. සමහර වෙලාවට මට හිටිය එකම යාළුවාත් ඒක තමයි.” දුම්වැටිය නරක මිතුරෙකු පමණක් නොව භයානක සතුරෙක් බවත් පසුව ඇය තේරුම්ගත්තා. මෙම ලිපියේ ආරම්භක වදන් ඇය සම්බන්ධයෙන්ද සත්‍යයක් වූ බව පැවසිය හැකියි. නමුත් දුම්පානය, දෙවි දී තිබෙන ශරීරය දූෂ්‍ය කරගැනීමක් බව තේරුම්ගත් ඇය එම පුරුද්ද නතර කළා.—2 කොරින්ති 7:1.

එම හේතුව නිසාම ෆ්‍රෑන්ක් නමැත්තාද දුම්බීම නතර කිරීමට තීරණය කළා. නමුත් ඔහු දුම්පානය නතර කර දවසකට පමණ පසුව නැවතත් ඒ සඳහා දැඩි පෙලඹීමක් ඇති වුණා. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “එදා මම දණ ගගා ගෙදර හැම අස්සක මුල්ලකම සිගරට් කොට හෙව්වා. මම මොන තරම් පහත් තත්වයකට වැටිලද කියලා එදයි මට තේරුණේ. ඊටපස්සේ නම් මම කවදාවත් සිගරට් බිව්වේ නැහැ.”

බොහෝදෙනා දුම්කොළවලට එතරම් වහල් වී සිටින්නේ ඇයි? ඊට හේතු රාශියක් ඇති බව සොයාගෙන තිබෙනවා. ඒවා නම් (1) දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන තහනම් මත්ද්‍රව්‍ය තරම්ම ඇබ්බැහි වන සුලු වීම, (2) දුම්පානය මගින් ශරීරගත වන නිකටින් මොළයට ගමන් කිරීමට ගත වන්නේ තත්පර හතක් තරම් කෙටි කාලයක් වීම, (3) ආහාර පාන ගැනීම තරම් එය සාමාන්‍ය දෙයක් වී තිබීම හා මානසික පීඩනයෙන් මිදීමට සමහරුන් එය භාවිත කිරීමයි.

නමුත් අර්ලීන් හා ෆ්‍රෑන්ක්ගේ අද්දැකීම්වලින් පැහැදිලි වන්නේ දුම්පානයට ඇබ්බැහි වූ කෙනෙකුට ඉන් මිදිය හැකි බවයි. ඔබත් දුම්පානයෙන් මිදෙන්න ආශාවෙන් සිටින කෙනෙක්ද? ඊළඟ ලිපි කියවීම ඔබට විශාල උපකාරයක් වන අතර ඔබේ ජීවිතය නව මඟකට යොමු කිරීමට එමගින් අවස්ථාව උදා වෙයි.