Skip to content

පටුනට යන්න

මම ඇත්තටම වටිනා කෙනෙක්ද?

මම ඇත්තටම වටිනා කෙනෙක්ද?

යෞවන අය අසති

මම ඇත්තටම වටිනා කෙනෙක්ද?

ඔව් | නැහැ

ඔබේ පෙනුමට ඔබ කැමතිද?

ඔබට වටිනා දක්ෂතා තිබෙනවා කියා ඔබට හැඟෙනවාද?

මිතුරන්ගෙන් එල්ල වන පීඩනයට මුහුණ දීමට ඔබට පුළුවන්ද?

ඔබේ අඩුපාඩු පෙන්වා දෙන විට ඔබ ඒවා භාරගන්නවාද?

අන් අයගේ අසාධාරණ චෝදනාවලට මුහුණ දෙන්න ඔබට පුළුවන්ද?

අන් අය ඔබ ගැන සැලකිලිමත් කියා ඔබට හැඟෙනවාද?

ඔබ ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත්ද?

අන් අය දියුණු වන විට ඔබ සතුටු වෙනවාද?

ඔබ සාර්ථක කෙනෙක් කියා ඔබට දැනෙනවාද?

ඉහත සඳහන් ප්‍රශ්න කිහිපයකටම ඔබේ පිළිතුර වූයේ ‘නැහැ’ යන්න නම් ඉන් පැහැදිලි වන්නේ ඔබට ඔබ ගැන හොඳ හැඟීමක් නැති බවයි. ඉන් ගොඩ ඒමට මෙම ලිපිය ඔබට උපකාර කරයි.

බොහෝ යෞවනයන් තමන්ගේ පෙනුම සහ හැකියාවන් ගැන සෑහීමට පත් වන්නේ නැහැ. එමෙන්ම ඔවුන් නිතරම තම මිතුරන් සමඟ තමන්ව සන්සන්දනය කරනවා. ඔබත් එවැනි කෙනෙක් නම් ඔබ හා සමාන තවත් බොහෝ යෞවනයන් සිටින බව මතක තබාගන්න.

“මගේ අතින් වෙන අඩුපාඩුකම් නිසා මම හරියට කලකිරෙනවා. මං තරම් මාව විවේචනය කරන කෙනෙක් තවත් නැහැ.”—ලෙටීෂියා. *

“ඔබ කොයි තරම් ලස්සන වුණත් කඩවසම් වුණත් අනික් අය ඔබට වඩා ලස්සනයි කියලා ඔබට හිතෙයි.”හේලි.

“මගේ යාළුවෝ මාව ගණන් නොගෙන ඉඳියි කියලා මට භයයි. ඒ නිසා එයාලත් එක්ක ඉන්නකොට මම මං ගැන ඕනෑවට වඩා හිතනවා.”රේචල්.

ඔබටත් එසේ සිතෙනවා නම් අධෛර්ය වෙන්න එපා. ඉන් ගොඩ එන්න ඔබට පුළුවන්. ඒ සඳහා උපකාරවත් වන යෝජනා තුනක් ගැන දැන් අපි සලකා බලමු.

1. හොඳ මිතුරන් ඇති කරගන්න

බයිබලයේ සඳහන් උපදෙස. “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.”—හිතෝපදේශ 17:17.

ඉන් අදහස් කරන දේ. කලකිරී සිටින කෙනෙකුට සැබෑ මිතුරෙක් විශාල ශක්තියක්. (1 සාමුවෙල් 18:1; 19:2) ඔබ ගැන සලකන කෙනෙකු සිටිනවා යන හැඟීමම ඔබට විශාල සහනයක්. (1 කොරින්ති 16:17, 18) එමනිසා ඔබේ යහපත වෙනුවෙන් කටයුතු කරන අයව ළඟින් ඇසුරු කරන්න.

“සැබෑ මිතුරන් කවදාවත් ඔබට වැටෙන්න දෙන්නේ නැහැ.”ඩොනෙල්.

“ඔබ ගැන අවංකව සැලකිලිමත් වන කෙනෙක් ඉන්නවා කියා දැන සිටීම හරිම වැදගත්. එයින් ඔබ වටිනා පුද්ගලයෙක් කියන හැඟීම ඔබ තුළ ඇති වෙනවා.”හෙදර්.

පරෙස්සම් වන්න: ඔබේ මිතුරන්ගෙන් හොඳ නම ගැනීමට බොරු චරිතයක් මවාපාන්න එපා. (හිතෝපදේශ 13:20; 18:24; 1 කොරින්ති 15:33) එසේ කර ඔවුන් සමඟ අනුවණ ක්‍රියාවල හවුල් වීමෙන් ඔබට ඔබ ගැනම නොවටිනා හැඟීමක් හා ලැජ්ජාවක් ඇති වෙයි.—රෝම 6:21.

ඔබේ වාරය. ඔබ වටිනා පුද්ගලයෙක් යන හැඟීම ඔබ තුළ ඇති කරන මිතුරෙකුගේ නමක් පහත සඳහන් කරන්න.

․․․․․

එම මිතුරා සමඟ වැඩිපුර කාලයක් ගත කිරීමට සැලසුම් යොදන්න ඔබට පුළුවන්ද? ඔහු හෝ ඇය ඔබේම වයසේ කෙනෙකු වීම අවශ්‍ය නැහැ.

2. අන් අයට උපකාර කරන්න

බයිබලයේ සඳහන් උපදෙස. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.”—ක්‍රියා 20:35.

ඉන් අදහස් කරන දේ. ඔබ අන් අයට උපකාර කරන විට ඉන් ඔබ ඔබටම උපකාර කරගන්නවා. ඒ කොහොමද? බයිබලයේ සඳහන් මේ දෙයින් ඒ බව පැහැදිලියි. “ත්‍යාගශීලී තැනැත්තා තෘප්තියට පත් වෙයි. අන්‍යයන්ව නොමසුරුව පෝෂණය කරන තැනැත්තාවද නොඅඩුව පෝෂණය කරනු ලැබේ.” (හිතෝපදේශ 11:25) එය සම්පූර්ණ සත්‍යයක්. අන් අයට උපකාර කිරීමෙන් ඔබට ඔබ ගැනම හොඳ හැඟීමක් ඇති වෙනවා. *

“සභාවේ සිටින යම් උපකාර අවශ්‍ය අය වෙනුවෙන් මට කරන්න පුළුවන් මොනවාද කියලා මම කල්පනා කරනවා. එවැනි අයට ප්‍රේමය පෙන්වද්දී ඔවුන් එක්ක ටිකක් කාලය ගත කරද්දී මට මං ගැන හොඳ හැඟීමක් ඇති වෙනවා.”බ්‍රියානා.

“දේවසේවයේ හවුල් වීම ඇත්තටම ප්‍රයෝජනවත්. ඒකෙන් වෙන්නේ අපි අපි ගැන හිතන එක නතර කරලා අනික් අය ගැන හිතන්න පටන්ගන්න එකයි.”ජාවෙන්.

පරෙස්සම් වන්න: උපකාරයක් ලබාගැනීමේ යටි අරමුණින් අන් අයට උපකාර කරන්න එපා! (මතෙව් 6:2-4) එසේ කළොත් ඔබට ඔබ ගැනම හොඳ හැඟීමක් ඇති වන්නේ නැහැ. එමෙන්ම අන් අය ඔබේ චේතනාව පහසුවෙන්ම තේරුම්ගනියි.—1 තෙසලෝනික 2:5, 6.

ඔබේ වාරය. කළින් වතාවකදී ඔබ උපකාර කළ පුද්ගලයෙකු ගැන සිතන්න. ඒ කවුද? ඔහු හෝ ඇය වෙනුවෙන් ඔබ කළේ කුමක්ද?

․․․․․

උපකාර කිරීමෙන් පසු ඒ ගැන ඔබට හැඟුණේ කොහොමද?

․․․․․

උපකාර කළ හැකි වෙනත් කෙනෙකු ගැන සිතන්න. එය කළ හැකි ආකාරය පහත සඳහන් කරන්න.

․․․․․

3. උත්සාහය අත්හරින්න එපා

බයිබලයේ සඳහන් උපදෙස. “සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත. එහෙයින් දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පිළිබිඹු කිරීමට ඔවුහු අසමත් වෙති.”—රෝම 3:23.

ඉන් අදහස් කරන දේ. වැරදි දෙයක් පැවසීමට හෝ වැරදි දෙයක් කිරීමට ඔබ පෙලඹෙන්න පුළුවන්. ඊට හේතුව ඔබ තුළ ඇති වැරදි කිරීමට තිබෙන නැඹුරුවාවයි. (රෝම 7:21-23; යාකොබ් 3:2) විටින් විට ඔබ අතින් වැරදි සිදු විය හැකි වුණත් ඒවා නිවැරදි කරගෙන ඒවාට හොඳින් මුහුණ දෙන්න ඔබට පුළුවන්. “ධර්මිෂ්ඨයා සත් වතාවක් වැටුණත් ඔහු නැඟිටින්නේය” කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි.—හිතෝපදේශ 24:16.

“සමහර අවස්ථාවලදී අපි තුළ නොවටිනා හැඟීමක් ඇති වන්නේ අනික් අයගේ හැකියාවන් එක්ක අපි අපිව සන්සන්දනය කරන නිසයි.”කෙවින්.

“අපි හැමෝටම හොඳ සහ නරක ගුණාංග තිබෙනවා. ඒ නිසා හොඳ ගුණාංග ගැන සතුටු වෙමින් නරක ගුණාංග ඉවත් කරගන්න උත්සාහ කරන්න ඕනේ.”ලොරෙන්.

පරෙස්සම් වන්න: නරක දේවල් කිරීම සඳහා ඔබ තුළ ඇති වැරදි කිරීමේ නැඹුරුවාව නිදහසට හේතුවක් කරගන්න එපා! (ගලාති 5:13) හිතාමතාම වැරදි කිරීමෙන් ඔබේ ජීවිතයේ වටිනාම දේ වන යෙහෝවා දෙවිගේ අනුමැතිය ඔබට අහිමි වෙයි.—රෝම 1:24, 28.

ඔබේ වාරය. ඔබ දියුණු කරගැනීමට බලාපොරොත්තු වන ගුණාංගයක් පහත සඳහන් කරන්න.

․․․․․

එය ඉදිරියෙන් අද දිනය සටහන් කරන්න. එය දියුණු කරගත හැකි ආකාරය ගැන ගවේෂණය කරන්න. මාසයකට පසු ඔබේ දියුණුව මැන බලන්න.

ඔබ කොතරම් වටිනා පුද්ගලයෙක්ද?

‘අපට වඩා හොඳින් දෙවි අපගේ සිත් ගැන දන්නවා’ කියා ශුද්ධ බයිබලයේ සඳහන් වෙනවා. (1 යොහන් 3:20) ඉන් අදහස් කරන්නේ ඔබ වටිනා පුද්ගලයෙක් නොවෙයි කියා ඔබට හැඟුණත් දෙවි ඔබව වටිනා පුද්ගලයෙකු ලෙස සලකන බවයි. නමුත් ඔබ අතින් වැරදි සිදු වන විට තත්වය කුමක්ද? එය අපි මෙසේ තේරුම්ගනිමු. ටිකක් ඉරුණු, වටිනාකමින් වැඩි මුදල් නෝට්ටුවක් ඔබ අතේ තිබෙනවා කියා සිතන්න. එය ටිකක් ඉරී තිබෙන නිසා ඔබ එය විසි කරනවාද? කොහෙත්ම නැහැ. ඊට හේතුව එය ඉරී තිබුණත් එහි වටිනාකම කොහෙත්ම අඩු නොවීමයි.

දෙවිව සතුටු කරන්න ඔබ දරන වෑයම එතරම් වටින්නේ නැහැයි කියා ඔබට සිතුණත් දෙවි එය දකින අතර ඔහු එය ඉතා අගය කොට සලකනවා. එමෙන්ම බයිබලයේ සඳහන් මේ දෙයින් එය තවත් තහවුරු වෙනවා. “ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ.”—හෙබ්‍රෙව් 6:10.

[පාදසටහන්වල]

^ 15 ඡේ. මෙම ලිපියේ සමහර නම් වෙනස් කර ඇත.

^ 30 ඡේ. ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නම් දෙවිගේ රාජ්‍ය පිළිබඳ පණිවිඩය අන් අයට පැවසීමෙන් ලැබෙන ඉමහත් ප්‍රීතිය ගැන සිතා බලන්න.—යෙසායා 52:7.

සිතා බලන්න

පහත සඳහන් තත්වයන් යටතේදී ඔබ කරන්නේ කුමක්ද?

● මිතුරන් ඔබව කොන් කරන විට

● අන් අය තරම් හැකියාවක් ඔබට නැහැ කියා හැඟෙන විට

● ඔබ ඔබේ වැරදි පමණක් දකින්න පටන්ගන්නා විට

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ලස්සන කෙනෙකුට පවා තමා එතරම් ලස්සන නැහැ කියා හිතෙන්න පුළුවන්. අනික් අතට තමාට වඩා ලස්සන කෙනෙක් නැහැ කියා තවත් කෙනෙකුට සිතෙන්න පුළුවන්. මේ හැම දේටම මුල ඒ අය හිතන විදියයි.”—ඇලිසා

[27වන පිටුවේ කොටුව⁄පින්තූරය]

යෞවනයන් පවසන

“අනික් අය වගේ මමත් අධෛර්ය වෙලා තියෙනවා. එතකොට මට ලොකු ශක්තියක් වුණේ මගේ මිතුරන්ගේ වචනයක්, සිනාවක් එහෙමත් නැත්නම් වැලඳගැනීමක්.”

“අපේ හොඳ ගුණාංග අනික් අයට ආදර්ශයක් වගේම අපිත් අනික් අයගේ හොඳ ගුණාංගවලට ඊර්ෂ්‍යා නොකර ඒවා ආදර්ශයට ගන්න ඕනේ.”

[පින්තූර]

ඔබ්රී

ලෝරන්

[28වන පිටුවේ පින්තූරය]

මුදල් නෝට්ටුවක් ටිකක් ඉරී තිබුණා කියා එහි වටිනාකම අඩු වෙන්නේ නැහැ වගේම ඔබ අතින් සිදු වන අඩුපාඩු නිසා ඔබ නොවටිනා පුද්ගලයෙක් කියා දෙවි සලකන්නේද නැහැ