Skip to content

පටුනට යන්න

මුදල් නිසි ලෙස පරිහරණය කරන්නේ කෙසේද?

මුදල් නිසි ලෙස පරිහරණය කරන්නේ කෙසේද?

බයිබලයෙන් පිළිතුරක්

මුදල් නිසි ලෙස පරිහරණය කරන්නේ කෙසේද?

“මගේ පඩිය එන්න එන්න අඩු වුණත් වියදම්වල නම් කිසි අඩුවක් නැහැ. මම රෑ තිස්සේ නිදි මරාගෙන කල්පනා කරන්නේ මගේ පවුලේ අයට කන්න බොන්න දෙන්නේ කොහොමද කියලයි.”—ජේම්ස්.

“මට හිතෙන්නේ මම හැම අතින්ම කොටුවෙලා කියලයි.”—ෂෙරී.

ආර්ථික ගැටලුවලට මුහුණ දෙන කාලවලදී එවන් අදහස් පොදුවේ අසන්න ලැබෙනවා. මෑතකදී ලොව පුරාම සිදු වූ ආර්ථික බිඳ වැටීම ගැන ජාත්‍යන්තර කම්කරු කාර්යාලයේ අධ්‍යක්ෂක මෙසේ පැවසුවා. ‘මේ තත්වය ඇමරිකාවට විතරක් නෙවෙයි, මුළු ලෝකයටම බලපාලා තියෙනවා.’

හිටි හැටියේම රැකියාව අහිමි වීම නිසා හෝ පවුලේ අයගේ අවශ්‍යතා සපුරන්න තරම්වත් මුදලක් නැති වීම නිසා කෙනෙක් දැඩි සේ කනස්සලු වෙන්න පුළුවන්. බයිබල් ලේඛකයෙක් වූ දාවිත්ද වරක් එවැනි තත්වයකට පත් වූ නිසා ඔහු දෙවිට මෙසේ යාච්ඤා කළා. “මාගේ සිතේ දුක් වේදනා බොහෝය. එබැවින් මා විඳින මේ පීඩාවලින් මාව ගලවාගන්න.” (ගීතාවලිය 25:17) අප ජීවත් වන මේ කාලය ගැන බයිබලයේ සඳහන් වෙනවා. එමෙන්ම මේ කාලයේදී පවා අපට යම් සුරක්ෂිතභවක් හා මනසේ සාමය පවත්වාගැනීමට උපකාරවත් වන මඟ පෙන්වීම්ද එහි සඳහන් වෙනවා. එසේනම් ඒ මොනවාද?

අසීරු කාලවලදී අවශ්‍ය ප්‍රඥාව

අද පවතින දුෂ්ට සමාජයේ “අවසාන කාලයේදී” “දරුණු විපත්” සිදු වන බවත් එය “ඉතා අසීරු, අනතුරු සහිත කාලයක්” බවත් බයිබලයේ සඳහන් වෙනවා. (2 තිමෝති 3:1; මතෙව් 24:8) එය මොන තරම් සැබෑද! අප දුෂ්කර තත්වයන් අද්දැක්කත් ඒවාට සාර්ථකව මුහුණ දීමට යෙහෝවා දෙවි ශුද්ධ බයිබලය තුළින් අපට අවශ්‍ය ප්‍රඥාව ලබා දී තිබෙනවා.

උදාහරණයකට මුදල් සම්බන්ධයෙන් නිසි ආකල්පයක් තබාගැනීමට බයිබලයේ මෙවැනි උපදෙසක් දී තිබෙනවා. “මුදල ආරක්ෂාවක් වන්නා සේම ප්‍රඥාවද ආරක්ෂාවකි. නමුත් දැනුම සමඟ ප්‍රඥාව අත් කරගැනීම මුදලට වඩා වටින්නේය. මන්ද ප්‍රඥාව නිසා කෙනෙකුගේ ජීවිතය රැකෙයි.” (දේශනාකාරයා 7:12) එහි සඳහන් ලෙස මුදල අපට යම් ආරක්ෂාවක් සපයන බව ඇත්තයි. නමුත් අප මුහුණ දෙන ඕනෑම තත්වයකදී අපට සැබෑ සුරක්ෂිතභාවයක් ලැබෙන්නේ දෙවි දී ඇති ප්‍රඥාවන්ත උපදෙස් අනුගමනය කිරීමෙනුයි. ඊට මේ උදාහරණ බලන්න.

ආර්ථික ගැටලුවලදී

කඩිසරව වැඩ කරන්න. “අලසයාට දහසකුත් ආශාවන් තිබුණත් ඔහුට ඒ කිසිවක් ලැබෙන්නේ නැත. නමුත් උත්සාහවන්තයාගේ ආශාවන් ඉෂ්ට වෙයි.” (හිතෝපදේශ 13:4) ඉන් ගත හැකි පාඩම කුමක්ද? අවංක මෙන්ම කඩිසරව වැඩ කරන කෙනෙක් ලෙස නමක් දිනාගන්න උත්සාහ කරන්න. සාමාන්‍යයෙන් රැකියා ස්ථානවල ප්‍රධානීන් කැමති වන්නේ එවන් අයටයි. එවැනි කෙනෙකුට රැකියාව අහිමි වීමේ අවස්ථාවද අඩුයි.—එෆීස 4:28.

මිල දී ගැනීමට පෙර ගණන් බලන්න. යේසුස් වරක් මෙවැනි උදාහරණයක් පැවසුවා. “ඔබ අතර සිටින කෙනෙක් යම් ගොඩනැඟිල්ලක් සාදන්න අදහස් කරනවා. නමුත් ඔහුට එය සම්පූර්ණයෙන්ම ගොඩනඟා අවසන් කරන්න හැකි වෙයිද කියා දැනගැනීමට මුලින්ම ඔහු ඒ සඳහා යන වියදම ගණන් බලන්නේ නැද්ද?” (ලූක් 14:28) එහි සඳහන් ප්‍රතිපත්තියට අනුව යමක් මිල දී ගැනීමට පෙර ඒ සඳහා යන වියදම ගණන් බලන්න.

මුදල් නාස්ති නොකරන්න. සූදුව, දුම්පානය, මත්ද්‍රව්‍ය හා මත්පැන් අනිසි භාවිතය වැනි නරක පුරුදුවලට ඔබේ මුදල් නාස්ති කරන්න එපා. දෙවි එවන් දේවල් හෙළාදකිනවා.—හිතෝපදේශ 23:20, 21; යෙසායා 65:11; 2 කොරින්ති 7:1.

‘මුදලට ආශා’ නොකරන්න. (හෙබ්‍රෙව් 13:5) මුදලට ආශා කරන අය අසතුටින් සිටින අතර ඔවුන් ලුහුබැඳ යන්නේ මායාවක් පසුපසයි. ඒ නිසා “තමාටම පිහියකින් ඇනගත් විට ඇති වන වේදනාවට සමාන බොහෝ වේදනා අද්දැකීමට ඔවුන්ට සිදු වී ඇත.” (1 තිමෝති 6:9, 10) ඒ විතරක් නොවෙයි, ඔවුන් මුදලට වහල් වී සිටින අතර කොතරම් ධනස්කන්ධයක් ඉපැයුවත් ඉන් තෘප්තිමත් වන්නේද නැහැ.—දේශනාකාරයා 5:10.

ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගන්න. “අප මෙලොවට කිසිවක් ගෙනාවේ නැත. එයින් කිසිවක් ගෙන යෑමටවත් නුපුළුවන. එහෙයින් අපට කෑම බීම, ඇඳුම් පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු.” (1 තිමෝති 6:7, 8) තමන්ට ඇති දේවලින් සතුටු වන අය, ආර්ථික ගැටලු ඇති වන විට පවා අනවශ්‍ය ලෙස කනස්සලු වන්නේ නැහැ. එමනිසා ඔබට ලැබෙන ආදායමට අනුව ජීවත් වීමට ඉගෙනගන්න.—දකුණුපස ඇති කොටුව බලන්න.

‘නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් අපට සිදු විය හැකි’ නිසා හෙට දිනයේ කුමක් සිදු වේද කියා අපගෙන් කිසිවෙක් දන්නේ නැහැ. (දේශනාකාරයා 9:11) එමනිසා අප කළ යුතු ඥානවන්තම දේ වන්නේ ‘අවිනිශ්චිත ධන සම්පත් කෙරෙහි නොව දෙවි කෙරෙහි බලාපොරොත්තු තැබීමයි.’ එසේ කරන අයට දෙවි මෙසේ පොරොන්දු වී තිබෙනවා. “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි.”—1 තිමෝති 6:17; හෙබ්‍රෙව් 13:5.

මේ ගැන ඔබ සිතුවාද?

● අප ජීවත් වන කාලය ගැන බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?—2 තිමෝති 3:1-5.

● අපට විශ්වාසවන්ත මඟ පෙන්වීම් සොයාගත හැක්කේ කොහෙන්ද?—ගීතාවලිය 19:7.

● මගේ පවුලේ අයගේ අනාගතය සුරක්ෂිත කිරීමට කුමක් කළ යුතුද?—දේශනාකාරයා 7:12.

[19වන පිටුවේ කොටුව⁄පින්තූරය]

“ඉතුරු කිරීමට ක්‍රම”

බඩු මිල දී ගැනීම: ලැයිස්තුවක් පිළියෙල කර එහි ඇති දේවල් පමණක් මිල දී ගන්න. ‘සේල්’දමා තිබෙන කාලයේදී මිල දී ගැනීම් කරන්න. හැකි නම් එකවර වැඩි ප්‍රමාණයක් මිල දී ගන්න උත්සාහ කරන්න.

නිවසේ වියහියදම්: දඩ මුදල් මඟහැරීම සඳහා නියමිත කාලයට බිල්පත් ගෙවන්න. කෑම බීම නිවසේදීම පිළියෙල කරගන්න. ආහාර පාන නාස්ති නොකරන්න. මත්පැන් අත්‍යවශ්‍යමද කියා සිතා බලන්න. විදුලි උපකරණ භාවිතයෙන් පසු ඒවා නිවා දමන්න. විදුලිය පිරිමසන උපකරණ භාවිත කරන්න.

ගමනාගමන වියදම්: පෞද්ගලික වාහනයක් අවශ්‍ය නම් ඉන්ධන පිරිමසන එකක් මිල දී ගන්න. වාහනයෙන් නිතර නිතර යනවා වෙනුවට එක ගමනකින් වැඩ කිහිපයක් කිරීමට උත්සාහ කරන්න. ඔබේ වාහනයෙන් හා තව කෙනෙකුගේ වාහනයෙන් මාරුවෙන් මාරුවට ගමන් කළ හැකිද කියා කල්පනා කරන්න. එසේත් නැත්නම් පොදු ප්‍රවාහණ සේවය භාවිත කිරීමට, පයින් ගමන් කිරීමට හෝ පාපැදියක් භාවිත කිරීමට හැකියි. විනෝද ගමනක් හෝ නිවාඩුවක් සඳහා යෑමේදී ප්‍රවාහණයට යන වියදම ගැන සැලකිලිමත් වන්න.

දුරකථන හා විනෝදාංශ: නිවසේ දුරකථනයට අමතරව ජංගම දුරකථනයකුත් අවශ්‍යද කියා සිතා බලන්න. එමෙන්ම ඔබේ දරුවාටත් දුරකථනයක් අවශ්‍යද කියා සිතා බලන්න. රූපවාහිනී නාලිකා සඳහා මාස් පතා ගෙවීමක් කරනවා නම් ඉන් කිහිපයක් අඩු කර මුදලක් ඉතුරු කිරීමට උත්සාහ කරන්න. * පොත් පත් හා චිත්‍රපටි මිල දී ගන්නවා වෙනුවට පුස්තකාලවලින් හෝ කුලියට ඒවා ලබාගන්න.

[පාදසටහන]

^ 26 ඡේ. අමතර යෝජනා සඳහා 2009 මාර්තු පිබිදෙව්! කලාපයේ පළ වූ “ඔබේ මුදල් ඥානවන්තව පරිහරණය කරන්න” යන ලිපිය සහ 2006 ජූනි මාසයේ පළ වූ “අරපරෙස්සමින් වියදම් කරන්නේ කොහොමද?” යන ලිපිය බලන්න.