Skip to content

පටුනට යන්න

හද ගැස්මේ අරුමය

හද ගැස්මේ අරුමය

හද ගැස්මේ අරුමය

● අපේ රුධිර සංසරණ පද්ධතියේ මධ්‍යස්ථානය හදවතයි. එය අප ශරීරයේ ඉතාමත් කාර්යබහුල අවයවයක්. උදාහරණයකට වැඩිහිටි පුද්ගලයෙකුගේ හෘද වස්තුව දිනකට වාර 1,00,000ක් පමණ ස්පන්දනය වෙනවා. ඔබ වේගයෙන් දිව යන විට පාදවල මාංශ පේශීන් ක්‍රියාත්මක වන වේගයට වඩා දෙගුණයකින් ඔබ නිශ්චලව සිටින විට ඔබේ හදවතේ මාංශ පේශීන් ක්‍රියාත්මක වෙනවා. එපමණක් නොව අවශ්‍ය වන විට තත්පර පහක් තුළ හද ගැස්මේ වේගය දෙගුණ කරගැනීමටද ඊට හැකියි. සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුගේ හෘද වස්තුවෙන් විනාඩියකට රුධිරය ලීටර් පහක් පමණ පොම්ප කරන නමුත් ඔහු ව්‍යායාම්වල යෙදෙන විට විනාඩියකට ලීටර් 20ක් පමණ ඉන් පොම්ප කරනවා.

අපේ හද ගැස්ම පාලනය වන්නේ කදිම නිර්මාණයක් ලෙස හඳුන්වා තිබෙන ස්නායු පද්ධතිය මගිනුයි. එමගින් හෘදයේ ඉහළ කර්ණිකා, පහළ කෝෂිකාවලට තත්පරයකටත් වඩා අඩු කාලයකින් හැකිළීමට සලස්වයි. අපේ හදවතෙන් ලබ්-ඩප් යන ශබ්දයක් ඇසෙන්නේ එහි මාංශ පේශී ක්‍රියාත්මක වන විට නොව හෘදයේ කපාට වැසෙන විටයි.

හද ගැස්මේ වාර ගණන

සාමාන්‍යයෙන් සතුන්ගේ ශරීර ප්‍රමාණය විශාල නම් උන්ගේ හෘද ස්පන්දන වේගය අඩුයි. උදාහරණයකට අලියෙකුගේ හෘද ස්පන්දන වේගය විනාඩියකට වාර 25ක් පමණ වන අතර කුඩා කුරුල්ලෙකුගේ හෘද ස්පන්දන වේගය විනාඩියකට වාර 1,000ක් පමණ වෙනවා. නමුත් මිනිසුන්ගේ හෘද ස්පන්දන වේගය උපතේදී විනාඩියකට 130ක් පමණ වන අතර වැඩිහිටියෙකු වන විට එහි වේගය විනාඩියකට වාර 70ක් පමණ වෙයි.

ක්ෂීරපායි ගණයට අයත් බොහෝ සතුන්ගේ ආයු කාලය තුළ උන්ගේ හෘදය වාර බිලියනයක් පමණ ස්පන්දනය වන බව ගණන් බලා තිබෙනවා. ඒ අනුව මීයෙකුගේ හෘදය විනාඩියකට 550 වාරයක් පමණ ස්පන්දනය වන නිසා ඌට ජීවත්විය හැක්කේ අවුරුදු තුනකට ආසන්න කාලයක් පමණයි. එමෙන්ම විනාඩියකට 20 වාරයක් පමණ හෘදය ස්පන්දනය වන නිල් තල්මසාට ජීවත් විය හැකි ආයු කාලය අවුරුදු 50කට වැඩියි. ඉහත කී ක්‍රමයට අනුව බලන විට මිනිසුන් ජීවත් විය යුත්තේ අවුරුදු 20ක කාලයක් පමණයි. නමුත් සාමාන්‍යයෙන් පුද්ගලයෙක් අවුරුදු 70කට හෝ 80කට වඩා වැඩි කාලයක් ජීවත් වෙනවා! * ඒ කාලය තුළ පුද්ගලයෙකුගේ හදවත ස්පන්දනය වන වාර ගණන බිලියන තුනක් පමණ වෙනවා.

අපේ ආයු කාලය නිශ්චිත හෘද ස්පන්දන වාර ගණනකට සීමා වෙනවාට අපි කවුරුත් කැමති නැහැ. ඒ වෙනුවට අපට ඇති අසීමිත ආශාව වන්නේ සදාකාලයටම ජීවත් වීමයි. ඒ ආශාව අප තුළ තබා තිබෙන්නේ අපගේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියි. ඔහු විසින් මරණයට හේතු වන පාපය අපෙන් ඉවත් කරන කාලය ඉතා ළඟයි. (රෝම 5:12) ඉන්පසු සිදු වන දේ බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “මරණයද තවත් නොවන්නේය.”—එළිදරව් 21:3, 4.

[පාදසටහන]

^ 6 ඡේ. එම දත්තයන් සඳහන් වන්නේ දළ වශයෙනුයි. එක් එක් සතුන්ගේ හෘද ස්පන්දන වේගය හා ආයු කාලය එකිනෙකාට බොහෝ සෙයින් වෙනස් විය හැකියි.

[29වන පිටුවේ රූප සටහන⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

හදවතේ ආකෘතියක්

දකුණු කර්ණිකාව

වම් කර්ණිකාව

දකුණු කෝෂිකාව

වම් කෝෂිකාව