Skip to content

පටුනට යන්න

ආගමික වතාවත් සඳහා මුදල් ගෙවිය යුතුද?

ආගමික වතාවත් සඳහා මුදල් ගෙවිය යුතුද?

බයිබලයෙන් පිළිතුරක්

ආගමික වතාවත් සඳහා මුදල් ගෙවිය යුතුද?

බොහෝ රටවල සිටින ක්‍රිස්තියානියැයි කියාගන්නා කණ්ඩායම් හා වෙනත් ආගම් විසින් ආගමික වතාවත් පැවැත්වීම වෙනුවෙන් මුදල් අය කරනවා. ඒවාට බව්තීස්මය, විවාහ මංගල්‍යයන් හෝ අවමංගල්‍යයන් ඇතුළත්. සමහර අවස්ථාවලදී ඒ සඳහා ඉතා අධික මුදලක් පවා අය කරනවා.

සමහර පූජකවරුන්ට රජය විසින් යම් මුදලක් ගෙවනවා. එමෙන්ම එවැනි මෙහෙයන් අගය කරන සමහර අයද ආගමික ස්ථානයේ වියහියදම් සඳහා යම් මුදලක් පරිත්‍යාග කළ හැකියි. නමුත් ආගමික මෙහෙයන් වෙනුවෙන් බැතිමතුන්ගෙන් මුදල් අය කිරීම හෝ ඒ සඳහා ඔවුන් බැඳී සිටිනවා යන හැඟීම ඔවුන් තුළ ඇති කිරීම බයිබලයට එකඟද?

“වෙළඳපොළක්”

යේසුස්ගේ කාලයේ සිටි යුදෙව් ආගමික නායකයන් හා වෙනත් අය ලාභ ලැබීම සඳහා ආගමික උත්සවයන් අවස්ථාවක් කරගත්තා. ඔවුන් විශේෂයෙන්ම එසේ කළේ පාස්කු උත්සව සමයේදීයි. ඒ ගැන යේසුස් සතුටු වුණේ නැහැ. ඔහු කළ දේ ගැන බයිබලයේ සඳහන් වන්නේ ‘ඔහු මුදල් මාරු කරන්නන්ගේ කාසි බිමට හළා ඔවුන්ගේ මේසද පෙරළා දැමූ’ බවයි. ඒ වගේම ‘මගේ පියාණන්ගේ ගෘහය වෙළඳපොළක් හැටියට යොදාගන්න එක ඔබ දැන්මම නතර කළ යුතුයි’ කියාද ඔහු පැවසුවා.—යොහන් 2:14-16.

ඒ හා සමාන සිදුවීමක් ක්‍රිස්තු පූර්ව අටවන සියවසේදීත් සිදු වුණා. ඒ අනාගතවක්තෘ මීකාගේ කාලයේදීයි. එදා ඊශ්‍රායෙලයේ සිටි ආගමික නායකයන් ‘යුක්තිය පිළිකුල් කළ’ අතර පූජකයන් ‘උපදෙස් දුන්නේ මුදල්වලටයි.’ එවැනි ක්‍රියාවල යෙදෙමින් “යෙහෝවා දෙවි අප සමඟය” කියා ඔවුන් පැවසුවා. (මීකා 3:9, 11) ඇත්තටම දෙවිගේ අනුමැතිය ඔවුන්ට තිබුණාද? නැහැ! ඒ වෙනුවට දෙවි ඔවුන්ගේ ක්‍රියා ඉතා පිළිකුල් කරන බව මීකා මාර්ගයෙන් පැහැදිලිව ප්‍රකාශ කළා.

අද දිනත් බොහෝ ආගමික නායකයන් මුදල් ඉපයීම සඳහා ඔවුන්ගේ නමස්කාර ස්ථාන ‘වෙළඳපොළක්’ කරගෙන තිබෙනවා. පොදුවේ බලන විට සියලුම ආගමික සංවිධාන ව්‍යාපාරික කටයුතුවල හවුල් වෙනවා කියා පැවසිය හැකියි. උදාහරණයකට ප්‍රතිමා සහ දහසකුත් ආගමික භාණ්ඩ අළෙවි කිරීමෙන් ඔවුන් මහා පරිමාණයෙන් ලාභ ලබනවා. *1 යොහන් 5:21.

‘ඔබට ලැබුණේ නොමිලේ, නොමිලේම දෙන්න’

ශුභාරංචිය ප්‍රකාශ කිරීමට, ලෙඩුන් සුව කිරීමට හා මළවුන්ව නැවත නැඟිටුවීමට යේසුස් තම අනුගාමිකයන්ට අණ කළ අවස්ථාවේදී ඔවුන්ට මෙසේ පැවසුවා. ‘ඔබට ලැබුණේ නොමිලේ, නොමිලේම දෙන්න.’ (මතෙව් 10:7, 8) යේසුස් කී ලෙස ඔහුගේ අනුගාමිකයන් ඉහත කී සේවයන් සඳහා මුදල් අය නොකළ යුතු වුණා. යේසුස්ද අන් අයට බොහෝ උපකාර කළ අතර ඒ සඳහා කිසි මුදලක් බලාපොරොත්තු වුණේ නැහැ.

ඔහු මෙන් පාවුල්ද ශුභාරංචිය ප්‍රකාශ කිරීම වෙනුවෙන් ‘කිසි දෙයක් අය කළේ නැහැ.’ (1 කොරින්ති 9:18) ඔහුගේ වියදම් සඳහා කූඩාරම් සෑදීමෙන් මුදල් උපයා ගත්තා. (ක්‍රියා 18:1-3) “බොහෝදෙනෙකු කරනවා වගේ අපි දෙවිගේ පණිවිඩය විකුණා ජීවත් වන අය නොවන්නෙමු” කියා තමා ගැනත් තමා සමඟ සේවය කළ අය ගැනත් පැවසීමට පාවුල්ට හැකි වුණේ ඒ නිසයි. (2 කොරින්ති 2:17) නමුත් සභාවේ යම් වියහියදම් පියවීමට, නමස්කාර කිරීම සඳහා රැස්වන ස්ථානයක් මිල දී ගැනීමට හෝ කුලියට ගැනීමට මුදල් එකතු කිරීම ගැන කුමක් කිව හැකිද?

“දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර කටයුතු හා සම්බන්ධ දේවලට මුදල් ලැබෙන්නේ ස්වේච්ඡාවෙන් කරනු ලබන පරිත්‍යාගවලිනුයි. ඒ සඳහා ඔවුන් අනුගමනය කරන ප්‍රතිපත්තිය මෙයයි. “කොපමණ ප්‍රමාණයක් දෙනවාද කියා එකිනෙකා තම තමාගේ සිතින් තීරණය කර ඒ අනුව දීම සුදුසුය. අකමැත්තෙන් හෝ වෙනත් කෙනෙකුගේ බල කිරීම නිසා හෝ දීමෙන් ප්‍රයෝජනයක් නැත. මන්ද දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය.” (2 කොරින්ති 9:7) ඒ නිසා සාක්ෂිකරුවන් බයිබලය මත පදනම් පොත් පත්වලට හෝ බව්තීස්ම කිරීමේදී, විවාහ මංගල්‍ය හා අවමංගල්‍ය කටයුතුවලදී සිදු කරන ආගමික මෙහෙයන් සඳහා මුදල් අය කරන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ රැස්වීම්වලදී මුදල් ලබාගැනීම සඳහා සම්මාදම් තැටි අතිනත යවන්නේද නැහැ. නමුත් ලෝක ව්‍යාප්තව සිදු කෙරෙන ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයට යම් පරිත්‍යාගයක් කිරීමට කැමති ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ ශාලාව තුළ යෝග්‍ය ස්ථානවල තබා තිබෙන සම්මාදම් පෙට්ටි තුළට ඒවා දැමිය හැකියි.

ලොව පුරාම සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ රාජ්‍ය ශාලා, එක්රැස්වීම් ශාලා හා ශාඛා කාර්යාල වෙනුවෙනුත් මුද්‍රණ කටයුතු හා විපතට පත් අයට උපකාර කිරීම වෙනුවෙනුත් එම සම්මාදම් යොදාගන්නවා. එසේ කැමැත්තෙන් පරිත්‍යාග කරන අය අතර යේසුස්ගේ ප්‍රශංසාවට ලක් වූ සුළු මුදලක් පරිත්‍යාග කළ දිලිඳු වැන්දඹුව වැනි අයද සිටිනවා. (ලූක් 21:2) එමෙන්ම වැඩි මුදලක් පරිත්‍යාග කළ හැකි අයද සිටිනවා. තමන්ට දිය හැකි ප්‍රමාණය කුමක් වුවත් බයිබලයේ ප්‍රතිපත්තියට අනුව පරිත්‍යාග කරන අය විශාල තෘප්තියක් හා ප්‍රීතියක් මෙන්ම දෙවිගේ බහුල ආශීර්වාදද භුක්ති විඳිනවා.—ක්‍රියා 20:35; 2 කොරින්ති 8:12.

[පාදසටහන]

^ 8 ඡේ. වර්ෂ 2008 අගෝස්තු පිබිදෙව්! කලාපයේ පළ වූ “බයිබලයෙන් පිළිතුරක්: දෙවිට නමස්කාර කිරීමේදී රූප භාවිත කළ යුතුද?” යන ලිපිය බලන්න.

මේ ගැන ඔබ සිතුවාද?

● දේවමාලිගාවේ වෙළඳාම් කරමින් සිටි අයට යේසුස් පැවසුවේ කුමක්ද?—යොහන් 2:14-16.

● දෙවි පිළිබඳව අන් අයට ඉගැන්වීම සඳහා පාවුල් මුදල් අය කළාද?—2 කොරින්ති 2:17.

● යෙහෝවා දෙවි සතුටු වන්නේ අප කුමනාකාරයෙන් දෙන විටද?—2 කොරින්ති 9:7.

[23වන පිටුවේ හිමිකම් විස්තර]

“මගේ පියාණන්ගේ ගෘහය වෙළඳපොළක් හැටියට යොදාගන්න එක ඔබ දැන්මම නතර කළ යුතුයි.”—යොහන් 2:14-16.