Skip to content

පටුනට යන්න

ඔස්ටියෝපොරෝසිස් නිහඬයි! මාරාන්තිකයි!

ඔස්ටියෝපොරෝසිස් නිහඬයි! මාරාන්තිකයි!

ඔස්ටියෝපොරෝසිස් නිහඬයි! මාරාන්තිකයි!

ඇනාගේ වයස අවුරුදු 19යි. ඇනරෙක්සියා නමැති ආහාර ගැනීම අක්‍රමිකතාවයෙන් ගොඩ එමින් සිටි ඇයට එකවරම දරුණු කොන්දේ වේදනාවක් ඇති වුණා. ඊට හේතුව ඇගේ තුනටිය ප්‍රදේශයේ කොඳු ඇට දෙකක් (කටී කශේරුකා) බිඳී යෑමයි. ඉන් ඇගේ උස අඟල් දෙකකින් අඩු වුණා. ඒ සියල්ලට හේතු වූයේ කුමක්ද? නිහඬ මෙන්ම මාරාන්තික වූ ඔස්ටියෝපොරෝසිස් රෝගයයි!

“ඔස්ටියෝපොරෝසිස්” යන්නෙහි තේරුම නම් “සිදුරු සහිත අස්ථි” යන්නයි. එය නිහඬ රෝගයක් ලෙස හැඳින්වීමට හේතුව වන්නේ එහි රෝග ලක්ෂණ කිසිවක් මතු පිටින් නොපෙනීමයි. අස්ථි දුර්වල වී ඇති බව දැනගන්න ලැබෙන්නේ හදිසියෙන් හෝ වැටුණු විට හෝ යමක වැදී අස්ථියක් බිඳුණු විටයි. බොහෝ අය සිතන්නේ මෙම රෝගය වැලඳෙන්නේ වයස්ගත ස්ත්‍රීන්ට කියායි. නමුත් එම නිහඬ රෝගයට යෞවන අයත් ගොදුරු වන බව ඇනාගේ සිදුවීමෙන් පැහැදිලියි.

බරපතළ තත්වයක්

ජාත්‍යන්තර ඔස්ටියෝපොරෝසිස් සංගමය වාර්තා කළේ “සෑම තත්පර 30කට වරක් මෙම රෝගය නිසා යුරෝපීය ජාතිකයන්ගෙන් එක් අයෙකුගේ අස්ථි බිඳීමක් සිදු වෙන” බවයි. ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් මිලියන දහයක් පමණ එම රෝගයට ගොදුරු වී තිබෙන අතර තවත් මිලියන 34ක් ඊට ගොදුරු වීමේ අවදානමක පසු වෙනවා. එමෙන්ම ඇමරිකාවේ ජාතික සෞඛ්‍යය පිළිබඳ ආයතනය වාර්තා කළේ “අවුරුදු 50 හෝ ඊට වැඩි කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුටත් පුරුෂයන් හතරදෙනෙකුගෙන් එක් අයෙකුටත් ඔස්ටියෝපොරෝසිස් නිසා අස්ථි බිඳී යෑමකට මුහුණ දීමට සිදු වෙයි” කියායි. එම තත්වය දිනෙන් දින දරුණු වන බවක් පෙනෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ලොව පුරා ඔස්ටියෝපොරෝසිස් නිසා අස්ථි බිඳී යන අයගේ සංඛ්‍යාව ඊළඟ වසර 50 තුළ දෙගුණ විය හැකි බවයි. ඊට හේතුව දිනෙන් දින මහලු අයගේ සංඛ්‍යාව ඉහළ යෑමයි. බොහෝදෙනෙක් ආබාධිත තත්වයකට හෝ මරණයට පවා පත් විය හැකි නිසා එම තත්වය ඉතා භයානකයි. උකුල් ඇටය බිඳීමට ලක් වූ වයස අවුරුදු 50ට වැඩි අයගෙන් සියයට 25ක් ඒ හා සම්බන්ධ ගැටලු නිසා ඊළඟ වසර තුළ මිය යෑමේ අවදානමක පසු වෙනවා.

ඔබේ තත්වය කුමක්ද?

මෑතකදී කළ අධ්‍යයනයකින් හෙළි වුණේ සමහර අයට එම රෝගය පරම්පරාවෙන් උරුමවීමේ අවදානමක් පවතින බවයි. උදාහරණයකට දෙමාපියන්ගේ උකුල් ඇට බිඳී යෑමක් සිදු වී තිබුණා නම් ඔවුන්ගේ දරුවන්ට එය සිදු වීමේ ප්‍රවණතාව දෙගුණයකින් වැඩියි. කලල අවස්ථාවේදී නිසි පෝෂණයක් නොලැබීමද අස්ථි දුර්වල වීමට බලපානවා. එමෙන්ම වයසට යෑමේදී ඕනෑම කෙනෙකුගේ අස්ථි දුර්වල වෙනවා. එයද මෙම රෝගයට හේතුවක්. ඊට අමතරව Cushing’s disease හෝමෝන හා සම්බන්ධ ගැටලු, දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය හා සම්බන්ධ ගැටලුද මෙම රෝගයට බලපෑ හැකියි.

පිරිමින්ට වඩා හතර ගුණයකින් කාන්තාවන්ට ඔස්ටියෝපොරෝසිස් රෝගය වැලඳීමේ අවදානමක් තිබෙනවා. එසේ වන්නේ ඔසප් වීම නතර වීමත් සමඟම අස්ථි ආරක්ෂා කිරීමට බලපාන ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවීම අඩු වන නිසයි. එමෙන්ම ඩිම්බකෝෂ ඉවත් කිරීම නිසාත් ඊස්ට්‍රජන් නිපදවීම අඩු වීමට හේතු වෙනවා.

අස්ථි දුර්වල වීමට කැල්සියම් හා විටමින් D ඌණතාවයද බලපානවා. අනික් අතට අධික ලෙස ලුණු ආහාරයට ගැනීමෙන් ශරීරයේ ඇති කැල්සියම් වැඩිපුර බැහැර වන නිසා එම තත්වය වඩාත් උග්‍ර විය හැකියි. මත්පැන් පානය කරන අය බොහෝවිට ආහාර ගන්නේ අඩුවෙන් නිසා ඔවුන්ද අස්ථි දිරා යෑමේ අවදානමක සිටිනවා. එමනිසා ආහාර ගැනීමේ පුරුදු ඇතුළුව ජීවන රටාව වෙනස් කරගැනීමෙන් මෙම රෝග තත්වයට ගොදුරු වීමේ අවදානම අඩු කරගත හැකියි.

ඉහත සඳහන් කළ ඇනාටද ඔස්ටියෝපොරෝසිස් රෝගය වැලඳුණේ ඇයට ආහාර ගැනීමේ අක්‍රමිකතාවක් තිබුණ නිසයි. ඒ හේතුවෙන් ඇයට ප්‍රමාණවත් පෝෂණයක් නොලැබුණ නිසා ඇගේ බරද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වුණා. එපමණක් නොව ඔසප් වීමද නතර වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවීම නතර වූ නිසා ඇගේ අස්ථි දුර්වල වීමට පටන්ගත්තා.

ප්‍රමාණවත් ලෙස ව්‍යායාම් නොකිරීමද ඔස්ටියෝපොරෝසිස් රෝගයට හේතු වෙනවා. ඒ වගේම දුම්පානයද ඊට ප්‍රධාන වශයෙන් බලපානවා. ඊට හේතුව එමගින් අස්ථිවල ඇති ඛනිජ විනාශ වීමයි. උකුල් ඇටය බිඳී යෑමට ලක් වන අටදෙනෙකුගෙන් එක් අයෙක් එම තත්වයට පත් වන්නේ දුම්පානය නිසා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. නමුත් කෙනෙක් දුම්පානය නතර කළ විට අස්ථි දුර්වල වී බිඳී යෑමට ඇති ප්‍රවණතාව අඩු වන බව අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා.

එය වළක්වාගනිමු

ඔස්ටියෝපොරෝසිස් වැලඳීම වළක්වාගැනීමට පියවර ගත යුත්තේ කුඩා කල සිටමයි. ඊට හේතුව දරුවෙකුගේ යොවුන් වියේ අවසන් කාලය වන විට ඔහුගේ අස්ථි සියයට 90ක් පමණ වර්ධනය වී තිබීමයි. ශක්තිමත් අස්ථි පද්ධතියක් සඳහා කැල්සියම් අත්‍යවශ්‍යයි. කිරි, යෝගට්, චීස්, පොඩි මාළු සහ ටින් මාළු (කටු සහිතව) ආහාරයට ගැනීමෙන් එම අවශ්‍යතාව පිරිමසාගන්න පුළුවන්. එමෙන්ම ආමන්ඩ්, ඕට්ස් ධාන්‍ය, තල, සෝයා සහ තද කොළ පැහැයෙන් යුත් එළවළු ආහාරයට එක් කරගැනීමෙන්ද ශරීරයට අවශ්‍ය කැල්සියම් ලබාගත හැකියි.

නමුත් ආහාරවලින් ලබාගත් කැල්සියම් ශරීරයට උරාගැනීමට නම් විටමින් D අත්‍යවශ්‍යයි. එය සම තුළ නිපදවෙන්නේ සූර්යාලෝකයට නිරාවරණය වූ විටයි. ඒ ගැන අස්ථි විශේෂඥයෙක් වන මැනුවෙල් මිරාසෝ මෙසේ විස්තර කරනවා. “දිනකට විනාඩි දහයක් පමණ හිරු එළියට නිරාවරණ වී සිටීමෙන් විටමින් D ඒකක 600ක් පමණ ශරීරයට ලැබෙනවා. ඒ මගින් ඔස්ටියෝපොරෝසිස් වැලඳීම වළක්වාගන්න පුළුවන්.” විටමින් D පෝෂකය බිත්තර කහමදය, මුහුදු මාළු සහ පීකුදු වැනි ආහාරවල බහුලව තිබෙනවා.

ඔස්ටියෝපොරෝසිස් වැලඳීමෙන් ආරක්ෂා වීමට නම් ව්‍යායාම් කිරීම අත්‍යවශ්‍යයි. ළමා කාලයේ සිට දිගටම ව්‍යායාම් කිරීමෙන් වයස් ගත වන විට පවා අස්ථිවල ශක්තිමත් බව රැකගත හැකියි. ඒ සඳහා බර ඉසිලීම වැනි ව්‍යායාම් වඩාත් යෝග්‍ය බව පැවසෙනවා. ඒ අනුව ඇවිදීම, පඩි නැඟීම පමණක් නොව නර්තනයේ යෙදීම වැනි ඒවා ඉතා සරල දේවල් වුණත් එයින්ද ශරීරයට අවශ්‍ය ව්‍යායාම් ලබාගත හැකියි. *

නිහඬ මෙන්ම මාරාන්තික වූ මෙම රෝගයෙන් වැළකී සිටින්න ඔබට හැකියි. ඒ සඳහා ආහාර හා ජීවන රටාවේ යම් වෙනස්කම් කරගැනීම අත්‍යවශ්‍ය බව ඔබ මෙම ලිපියෙන් වටහාගන්න ඇති. නමුත් එක තැනකට කොටු වී වැඩ කිරීමට පුරුදු වී සිටින කෙනෙකුට නම් එම පුරුද්දෙන් මිදීම දුෂ්කර බව ඇත්තයි. ඒත් ඒ සඳහා වෑයම් කිරීමෙන් මොන තරම් ප්‍රයෝජන ලැබෙනවාද කියා සිතා බලන්න. ඔබත් එසේ කර නිහඬ මෙන්ම මාරාන්තික ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් ආරක්ෂා වෙන්න.

[පාදසටහන]

^ 16 ඡේ. අධික ලෙස ව්‍යායාම් කිරීම නිසා කාන්තාවන්ට ඔසප් වීම නතර විය හැකියි. එවිට ඊස්ට්‍රජන් නිපදවීම අඩු වී අස්ථි දුර්වල වීමට ඉඩ තිබෙනවා. එමනිසා වයස අවුරුදු 65ට වැඩි කාන්තාවන් තම අස්ථිවල ගනත්වය පරීක්ෂා කරගැනීම අවශ්‍ය වන අතර එසේ කිරීමෙන් ඉදිරියේදී ඇති විය හැකි භයානක තත්වයන් මඟහරවා ගත හැකි බව වෛද්‍යවරුන් පවසනවා. නමුත් එය බරපතළ තත්වයක් දක්වා වර්ධනය වී ඇත්නම් ප්‍රතිකාර ගැනීම යෝග්‍යයි. කෙසේනමුත් එසේ කිරීමට පෙර එහි ඇති අතුරුපල මොනවාද කියා කල්පනා කර බලන්න.

[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ආහාර හා ජීවන රටාවේ වෙනස්කම් කරගැනීමෙන් මෙම රෝගයෙන් ආරක්ෂා විය හැකියි

[19වන පිටුවේ කොටුව⁄පින්තූර]

ඔස්ටියෝපොරෝසිස් ලෙස හඳුන්වන්නේ අස්ථිවල ගනත්වය හා ශක්තිය අඩු වීමයි. ඒ තුළින් අස්ථි බිඳී යෑමේ ඉඩකඩ වැඩියි. එවැනි තත්වයක් තිබේද කියා ස්කෑන් පරීක්ෂාවක් (low radiation scan) මගින් දැනගත හැකියි. එහිදී සලකා බලන්නේ අස්ථියක ඇති ඛනිජ ප්‍රමාණයයි.

[පින්තූර]

සාමාන්‍ය අස්ථියක්

ඔස්ටියෝපොරෝසිස් වැලඳුණ අස්ථියක්

[හිමිකම් විස්තර]

© BSIP/Photo Researchers, Inc.

[20වන පිටුවේ පින්තූරය]

බර ඉසිලීම වැනි ව්‍යායාම් කිරීමෙන් අස්ථි දුර්වල වීම වළක්වාගත හැකියි

[20වන පිටුවේ පින්තූර]

කැල්සියම් අවශ්‍යතාව ඉටු කරගැනීමට ආමන්ඩ් සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන බෙහෙවින් උපකාරී වෙයි