Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

“වර්ෂ 2009 ජනවාරි මාසය තුළදී එක්සත් ජනපදයේ ප්‍රාන්ත අටක තිබූ න්‍යෂ්ටික අවිවල මුළු එකතුව 23,300ටත් වඩා වැඩියි.”—STOCKHOLM INTERNATIONAL PEACE RESEARCH INSTITUTE, SWEDEN.

විදේශ ආධාර ඇතුව අප්‍රිකාවේ තනන ලද ළිං හා නළ ළිං දහස් ගණනක් භාවිත කළ නොහැකි තත්වයට පත් වී තිබෙනවා. “ඊට මූලික හේතුව වී ඇත්තේ ඒවා නිසි ලෙස නඩත්තු නොකිරීමයි.”—INTERNATIONAL INSTITUTE FOR ENVIRONMENT AND DEVELOPMENT, BRITAIN.

මැමත් පැටවෙකු සොයාගනියි

රුසියාවේ යමාලොනෙනෙට්ස් යන ප්‍රදේශයේ අයිස් යට තිබී මාස තුනත් හතරත් අතර වයසැති මැමත් පැටවෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. එරටේ විද්‍යාඥයින් පිරිසක් එම පැටවාගේ අභ්‍යන්තර අවයවවල ඡායාරූප ගෙන තිබෙන අතර ඒ ගැන සත්ව විද්‍යාඥයෙක් වන ඇලෙක්සි ටික්හොනෝව් මෙසේ පැවසුවා. “මැමත් සත්වයන්ගෙන් පමණක් නොව අතීතයේ සිටි සතුන් අතරින් දැනට සොයාගෙන තිබෙන හානි නොවූ එකම මළ සිරුර මෙයයි.” මෙම ඡායාරූප ගනු ලැබුවේ ස්කෑන් පරිගණක තාක්ෂණය යොදාගනිමිනුයි. ඉන් හෙළි වුණේ උගේ ශරීරයේ අභ්‍යන්තරයේ කිසිම තුවාලයක් නැති බවයි. ඒ වුණත් උගේ පෙණහලු සහ බඩේ මඩ තිබුණු බව හෙළි වුණා. ඉන් විද්‍යාඥයන් පැමිණි නිගමනය වූයේ මෙම සතා මිය ගොස් තිබෙන්නේ දියේ ගිලීමෙන් බවයි.

ක්ෂණික දික්කසාද

දික්කසාද වීම දැන් මෙක්සිකෝවේ ඉතා පහසු දෙයක් බව එක් පුවත්පතක වාර්තා වුණා. මීට පෙර දික්කසාද වීම සඳහා පිළිගත් හේතු 21ක් එහි තිබුණු අතර ඊට විවාහ සහකරුට ද්‍රෝහි වීම, සැහැසියාව වැනි හේතු ඇතුළත් වුණා. නමුත් 2008දී ඒ හේතු සියල්ලක්ම අහෝසි කළා. දැන් කෙනෙකුට දික්කසාද වීමට අවශ්‍ය නම් ඒ පුද්ගලයා කළ යුත්තේ, පිළිගත් නීති ආයතනයකට ගොස් ඩොලර් 400ක් ගෙවා අන්තර්ජාලයෙන් අදාළ පෝරමයක් ලබාගැනීමයි. ඉන්පසුව තමා අනික් තැනැත්තාට දැන් ආදරය නැහැ කියා සඳහන් කර එය අත්සන් කර උසාවියට යැවීමයි. දැන් පෙර මෙන් උසාවියට යන්නවත් සාක්ෂි ඉදිරිපත් කරන්නවත් අවශ්‍ය නැහැ. මින් පෙර දික්කසාද වීමට වසර ගණනාවක් ගත වුණත් මේ අලුත් ක්‍රමයට අනුව ගත වන්නේ මාස දෙකත් හතරත් අතර කාලයක් පමණයි. දරුවන්ගේ අයිතිය, දේපළ හිමිකාරිත්වය හා වෙනත් කාරණා පසුව විසඳාගත හැකියි.—එම පුවත්පත El Universal.

වේගවත් ගුමන කුරුල්ලා

“ගුමන කුරුල්ලාට තත්පරයකට තම ශරීරයේ දිග ප්‍රමාණය මෙන් 400 ගුණයක් පියඹා යෑමේ හැකියාවක් තිබෙනවා.” නමුත් ප්‍රහාරක ජෙට් යානයක් එහි දිග ප්‍රමාණයට අනුව තත්පරයක් තුළ ගමන් කරන වාර ගණන ඊට වඩා අඩුයි. ඒ අනුව ජෙට් යානයට සාපේක්ෂව ගුමන කුරුල්ලා වේගවත් කියා පැවසිය හැකි බව කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සමීක්ෂකයෙක් පැවසුවා. ඌ මෙතරම් වේගයෙන් පහළට පැමිණෙන්නේ උගේ සහකාරියගේ සිත දිනාගැනීම සඳහා කරන රඟ දැක්වීම්වලදීයි. එවැනි අවස්ථාවක් ක්‍රිස්ටොෆ ක්ලාක් නමැති තැනැත්තා පටිගත කළා. ඌ ඉහළ සිට පහළට වේගයෙන් පියඹා එන විට ගුරුත්වාකර්ෂණ බලය දහගුණයකින් පමණ මේ කුරුල්ලාට බලපානවා. නමුත් ඌ පහළට ආ සැණින් නැවතත් ගුවනට පියාඹන්නේ එම බලයත් අභිභවමිනුයි. ප්‍රහාරක ජෙට් යානයක නියමුවෙක් එසේ කළා නම් අනිවාර්යයෙන්ම ඔහු සිහිසුන් තත්වයකට පත් වෙනවා.