Skip to content

පටුනට යන්න

පියාඹන්න මට අවසර දෙන්න

පියාඹන්න මට අවසර දෙන්න

පියාඹන්න මට අවසර දෙන්න

සාමාජිකයන් පස්දෙනෙකුගෙන් යුත් කුරුලු පවුලකට සමු දීමට විශාල පිරිසක් රැස් වී සිටිනවා. මේ පුංචි පවුලද සියලුදෙනාගෙන් සමු ගෙන යෑමට සූදානම්. ඇත්තටම මේ සිදුවීම එතරම් විශේෂද?

අප සිටින්නේ තුර්කියේ යුප්‍රටීස් ගඟ අසල තිබෙන බිරෙජික් නගරයේ ඇති දෑතුඩු වර්ගයේ පක්ෂි විශේෂයක් බෝ කරන මධ්‍යස්ථානයකයි. සුළු මොහොතකට කලින් අපට සමු දී පිටත්ව ගියේ එවැනි පක්ෂීන් කිහිපදෙනෙකුයි. උන්ව නැවත සොයාගැනීම සඳහා සෑම පක්ෂියෙකුගේම පාදයේ රේඩියෝ සංඥා නිකුත් කරන කුඩා උපකරණයක් සවි කර තිබුණා. නමුත් අප සෑම කෙනෙකු තුළම ඇති වූ සැකය නම් මේ පුංචි පවුල නැවත දැකගන්න ලැබේවිදෝ යන්නයි.

මෙම කුරුලු විශේෂයට මෙතරම් අවධානයක් දෙන්නේ ඇයි? උන් සංක්‍රමණය කරන්නේ කොහේටද?

විශේෂ කුරුල්ලෙක්

දෑතුඩු කුලයේ තවත් විශේෂ කිහිපයක්ම තිබුණත් මෙම මධ්‍යස්ථානයේ බෝ කරන්නේ ඉතා දුර්ලභ ගණයේ විශේෂයක් පමණයි. (northern bald ibis) මෙම පැටවුන් බිත්තරයෙන් එළියට එන විට උන්ගේ මුළු ඇඟම සිනිඳු පිහාටුවලින් වැසී තිබෙනවා. නමුත් උන් ටිකක් ලොකු වෙනකොට ඔලුවේ තිබෙන පිහාටු ටික හැලිලා යන නිසා උන්ව පේන්නේ හරියට ‘තට්ටේ පෑදිලා’ වගෙයි. ඒ වගේම උගේ බෙල්ලේ තිබෙන පිහාටු ටිකක් දිගයි. පිහාටු සියල්ලක්ම කලු පාට වුණත් මුහුණයි හොටයි රතු පාටයි. පිහාටුවලට ඉර එළිය වැටෙනකොට ඒවා රන්වන් පාටින් හෝ දම් පාටින් දිදුලනවා.

ප්‍රධාන වශයෙන් උන් ආහාරයට ගන්නේ කෘමීන් හා කටුන්සන් වැනි කුඩා සතුන්වයි. උන් අවුරුදු 25ක් 30ක් පමණ ජීවත් වන අතර පරිණතභාවයට පැමිණෙන්නේ අවුරුදු තුනක් හෝ හතරක් ගත වූ පසුවයි. සාමාන්‍යයෙන් කිරිල්ලී වසරකට බිත්තර තුනක් දමන අතර ඒවා මාසයක් පමණ කාලයක් පුරා රකිනවා. ඒ වගේම උන් ජීවිත කාලයම ගත කරන්නේ එක් සහකරුවෙකු සමඟ පමණයි. යම් හෙයකින් එකෙක් මිය ගියොත් ඉතිරි වන කුරුල්ලා හෝ කිරිල්ලී දැඩි ශෝකය නිසා කාලයක් පුරා නොකා නොබී සිටීමෙන් මිය යනවා. නැත්නම් කන්දෙන් පැන මිය යනවා.

උන් සංක්‍රමණික කුරුලු විශේෂයක්. මේ කුරුල්ලන් සෑම වසරකම පෙබරවාරි මාසයේදී නැවත තමන්ගේ රටට පැමිණෙන තුරු බිරෙජික් නගරයේ වැසියන් විසි වන ශතවර්ෂයේ මුල්භාගය වන තුරු බලා සිටියා. ඊට හේතුව වුණේ මේ කුරුල්ලන්ගේ පැමිණීම වසන්ත කාලය ළඟ බවට ලකුණක් වීමයි. වසන්ත කාලය උදා වුණාට පස්සේ එහි වැසියන් යුප්‍රටීස් ගඟේ තිබෙන බෝට්ටු සියල්ලම ගොඩට ඇද බෙර ගසමින් සතුටින් කාලය ගත කරනවා.

එදා මේ කුරුල්ලන් විශාල වශයෙන් දැකගන්න ලැබුණා. සාමාන්‍යයෙන් උන් රංචු පිටින් පියාසර කරන විට පෙනුණේ හරියට විශාල කලු වලාවක් වගේයි. නමුත් පසු ගිය වසර 50 ඇතුළත උන් ශීඝ්‍රයෙන් වඳ වී යෑමට පටන්ගත්තා. ඊට හේතුව 1950 ගණන්වල සිට භාවිත කිරීමට පටන්ගත් පළිබෝධ නාෂකයි. එදා බිරෙජික් ප්‍රදේශයේ පමණක් බිත්තර දමන වයසේ පසු වූ කුරුලු ජෝඩු 500ත් 600ත් අතර සංඛ්‍යාවක් සිටියත් අද වන විට ලොව පුරාම සිටින්නේ එවැනි ජෝඩු අතළොස්සක් පමණයි.

රජයෙන් ගත් උත්සාහයක්

බිරෙජික් නගරයේ දෑතුඩුවන්ව බෝ කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටෙව්වේ 1977දීයි. ඒ කාලයේදී උන්ට සංක්‍රමණය කිරීමට නිදහස තිබුණා. නමුත් 1990දී සංක්‍රමණය කළ කුරුලු රංචුවෙන් නැවත පැමිණියේ එක් කුරුල්ලෙක් පමණයි. ඒ නිසා එදා සිට උන්ට සංක්‍රමණය කිරීමට ඉඩ දුන්නේ නැහැ. සෑම වසරකම උන් සංක්‍රමණය කරන ජූලි සහ අගෝස්තු මාසවලදී උන්ව කූඩු කර තබනවා. ඉන්පසුව පෙබරවාරි හෝ මාර්තු මාසයේදී උන්ව නැවත නිදහස් කරනවා.

වර්ෂ 1997දී සංක්‍රමණය කිරීම සඳහා කුරුල්ලන් 25දෙනෙකුව නිදහස් කළත් උන්ගෙන් එකෙක්වත් නැවත පැමිණියේ නැහැ. ඒ නිසා 1998 සිට නැවතත් මේ කුරුල්ලන්ට සංක්‍රමණය කිරීම සඳහා ඉඩ නොදීමට බලධාරීන් තීරණය කළා. දැනට මෙම මධ්‍යස්ථානයේ කුරුල්ලන් 100ක් පමණ සිටිනවා.

උන්ගේ හෙට දවස

මෙම ලිපියේ මුලින් සඳහන් කළ කුරුල්ලන් පස්දෙනාගෙන් නැවත පැමිණියේ දෙදෙනෙක් පමණයි. වර්ෂ 2008දී තවත් කුරුලු රංචුවක් නිදහස් කළත් උන්ගෙන් නම් එකෙක්වත් නැවත පැමිණියේ නැහැ. උන් යොර්දානය දක්වා ගිය බවත් අවසානයේදී විෂ ද්‍රව්‍යයන් ආහාරයට ගැනීම නිසා මිය ගිය බවත් පර්යේෂකයන් පවසවනවා. මෙම කුරුල්ලන්ව ආරක්ෂා කරගැනීමට මෙම මධ්‍යස්ථානය, විද්‍යාඥයන් හා රජය කොතෙක් උත්සාහ කළත් තවමත් මෙම කුරුලු විශේෂය සැලකෙන්නේ ඉතා දුර්ලභ විශේෂයක් හැටියටයි.

මෙම කුරුල්ලන්ව ආරක්ෂා කරගැනීමේ පියවරක් ලෙස උන්ට සංක්‍රමණය කිරීමට ඉඩ නොදුන්නත් සංක්‍රමණය කරන කාලය නම් උන්ට අමතක වෙන්නේ නැහැ. බයිබලයේ සඳහන් මේ වචන මොන තරම් සත්‍යයද කියා ඉන් ඔප්පු වෙනවා. “තමන් සංක්‍රමණය කළ යුත්තේ කුමන කාලයේද කියා මානකොකා හරියටම දනී. කොබෙයියා, තුරිතයා හා කොණ්ඩයාට පවා ඒ කාලය ගැන හොඳ අවබෝධයක් තිබේ.”—යෙරෙමියා 8:7.

[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Left: Richard Bartz; right: © PREAU Louis-Marie/​age fotostock