Skip to content

පටුනට යන්න

මගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුද?

මගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුද?

යෞවන අය අසති

මගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුද?

ඔබ අත් කරගැනීමට බලාපොරොත්තු වන ඉලක්කය ඉදිරියෙන් ✔ ලකුණ දමන්න.

බර අඩු කරගන්න

සම පැහැපත් කරගන්න

ශක්ති සම්පන්න වෙන්න

වැඩවලට හොඳ අවධානයක් දෙන්න

මානසික පීඩනය අඩු කරගන්න

කෝපය පාලනය කරගන්න

තමන් ගැන ඇති විශ්වාසය ගොඩනඟා ගන්න

යෞවනයෙක් හැටියට ඔබට ඔබේ ජීවිතයේ තීරණය කළ නොහැකි දේවල් තිබෙනවා. උදාහරණයකට ඔබේ දෙමාපියන් විය යුත්තේ කවුද, ඔබේ සහෝදර සහෝදරියන් විය යුත්තේ කවුද කියා ඔබට තීරණය කරන්න බැහැ. නමුත් ඔබේ සෞඛ්‍ය හා සම්බන්ධ තීරණ ඔබට ගත හැකියි. ඔබ නිරෝගී පුද්ගලයෙක් වෙයිද නැද්ද යන කාරණයට යම් ආකාරයකින් ඔබේ ජානද බලපානවා. එමෙන්ම ඔබ ජීවිතය ගත කරන ආකාරයද ඊට බොහෝ සේ බලපානවා. *

නමුත් ‘මගේ සෞඛ්‍යය ගැන හිතන්න මට තව කල් තියෙනවානේ’ කියා ඔබට සිතෙන්න පුළුවන්. එසේනම් මෙසේ සිතන්න. ඉහත සඳහන් ලැයිස්තුවේ ඇති ඉලක්කවලින් ඔබ කීයක් අත් කරගැනීමට බලාපොරොත්තු වෙනවාද? ඒ සෑම දෙයකටම හොඳ සෞඛ්‍යයක් අත්‍යවශ්‍ය බව මතක තබාගන්න.

දාහත් හැවිරිදි මොරීන් කෑම පාලනය කිරීම ගැන මෙහෙම කියනවා. * “කිසිම රසක් නැති කුරක්කන් පාන් වගේ දේවල් කනවා කියන එක මට නම් හිතාගන්නවත් බැහැ.” ඔබටත් එසේ හැඟෙනවා නම් ඒ ගැන කලබල වෙන්න එපා. ඉන් අදහස් කරන්නේ ඔබට කිසිම රස කෑමක් කන්න බැරි බවවත් හැම සතියකම දහඩිය දාගෙන පැය ගණන් ව්‍යායාම් කරන්න අවශ්‍ය බවවත් නෙවෙයි. ඔබට හොඳ පෙනුමක්, ඔබ ගැනම හොඳ හැඟීමක් සහ හොඳින් වැඩ කිරීමට හැකි කෙනෙකු වීම සඳහා ඔබට කරන්න තිබෙන්නේ ඉතාමත් සරල දෙයක් පමණයි. ඒ සඳහා ඔබේ සම වයසේ සමහර අය කර තිබෙන්නේ මොනවාද කියා අපි බලමු.

හොඳ පෙනුමක් සඳහා පෝෂ්‍යදායි ආහාර

‘කෑදර නොවන්න’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 23:20) නමුත් සමහර අවස්ථාවලදී කෑම ගැනීම සම්බන්ධයෙන් සමබර වීම අපහසු විය හැකියි.

“මගේ වයසේ ඉන්න අනික් අය වගේ මටත් හැම තිස්සේම බඩගිනි වෙනවා. අම්මයි තාත්තයි නම් කියන්නේ මගේ බඩ හරියට අඩියක් නැති වළක් වගේ කියලයි.”—15 හැවිරිදි ඇන්ඩෲ.

“සමහර කෑම වර්ග මේ වයසේදී මට අගුණයි කියලා මම නම් හිතන්නේ නැහැ.”—19 හැවිරිදි ඩැනියෙල්.

පාලනයකින් යුතුව ආහාර ගැනීම ඔබට අභියෝගයක්ද? එසේනම් ඔබේම වයසේ පසු වන සමහර අය ඒ ගැන කර තිබෙන දේ බලන්න.

සීමාව තේරුම්ගන්න. “ඉස්සර නම් මම ඕනෑවටත් වඩා කෑම පාලනය කෙරුවා. හැබැයි දැන් නම් බඩ පිරෙන්න කනවා.”—19 හැවිරිදි ජූලියා.

පෝෂ්‍යදායි නොවන ආහාරවලින් වළකින්න. “රසකාරක අඩංගු කෘතිම බීම වර්ග නතර කළ නිසා මාසයකින් මගේ බර කිලෝ පහක් අඩු කරගන්න පුළුවන් වුණා.”—21 හැවිරිදි පීටර්.

ආහාර ගැනීමේ නරක පුරුදු නිවැරදි කරගන්න. “මම එක පාරකට වඩා කෑම බෙදාගන්නේ නැහැ.”—19 හැවිරිදි එරීන්.

වැදගත් කරුණක්: කෑම වෙලාව අතපසු කරන්න එපා. එසේ කළොත් ඉන්පසුව වැඩිපුර කෑමට ඔබ පෙලඹෙයි.

හොඳ හැඟීමක් ඇති කරගැනීම සඳහා ව්‍යායාම්

ව්‍යායාම් කිරීමෙන් “ප්‍රයෝජන” තිබෙන බව බයිබලයේද සඳහන් වෙනවා. (1 තිමෝති 4:8) නමුත් බොහෝ යෞවනයන් ඒ සඳහා වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ.

“ව්‍යායාම් කරන එක කොච්චර ලේසිද! හැබැයි මම ඉස්කෝලේ යන කාලේ තිබුණ ශාරීරික අභ්‍යාසය කියන විෂයෙන් ළමයි හුඟදෙනෙක් අසමත් වුණා.”—21 හැවිරිදි රිචඩ්.

“සමහර අය හිතනවා, ‘ගිනිගහන අව්වේ හොඳටම දාඩිය දාගෙන දුවන්නේ මොකටද, කාමරේට වෙලා ඉඳගෙන වීඩියෝ ගේම් එකකින් වුණත් ඒක කරන්න පුළුවන්නේ’ කියලා.”—22 හැවිරිදි රූත්.

“ව්‍යායාම්” කියන වචනය ඇහෙනකොටත් ඔබට මහන්සියක් දැනෙනවාද? එසේනම් ව්‍යායාම් කිරීමෙන් ඔබට ලැබෙන මේ ප්‍රයෝජන ගැන කල්පනා කර බලන්න.

පළමුවන ප්‍රයෝජනය: ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙයි. “මගේ තාත්තා නිතරම කියන දෙයක් තමයි ‘ඔයාට ව්‍යායාම් කරන්න වෙලාවක් හොයාගන්න බැරිනම් අසනීප වෙන්න වෙලාවක් හොයාගන්න වෙයි.’”—19 හැවිරිදි රේචල්.

දෙවන ප්‍රයෝජනය: ඔබව සන්සුන් කරවන රසායනික ද්‍රව්‍ය මොළය මුදාහරියි. “මම පීඩනයකින් ඉන්නකොට පොඩි රවුමක් දුවලා ආවාම මගේ මනසටත් ඇඟටත් ලොකු සැහැල්ලුවක් දැනෙනවා.”—16 හැවිරිදි එමලි.

තුන්වන ප්‍රයෝජනය: ඔබට සතුටක් ලැබෙයි. “ඇවිදින්න යන්න, පිහිනන්න වගේම බයිසිකල් පදින්නත් මම හරි ආසයි.”—22 හැවිරිදි රූත්.

වැදගත් කරුණක්: අඩුම තරමින් විනාඩි 20 බැගින් සතියකට තුන් වතාවක්වත් ඔබ කැමති ව්‍යායාමයක යෙදෙන්න.

හොඳින් වැඩ කිරීම සඳහා සුව නින්දක්

“වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 4:6) ප්‍රමාණවත් නින්දක් ලබාගත්තේ නැත්නම් ඔබට හොඳින් වැඩ කිරීමට බැරි වෙයි.

“මම හොඳට නිදාගත්තේ නැත්නම් මගේ ඇඟට හරි අමාරුයි. කිසි දෙයක් හරියට කරන්න බැහැ.”—19 හැවිරිදි රේචල්.

“මම නිදාගන්න පරක්කු වුණොත් පහුවෙනිදා දවල් දෙක විතර වෙනකොට මගේ ඇඟට හරි අමාරුයි. මට කතා කරකර ඉන්නකොටම නින්ද යනවා.”—19 හැවිරිදි ක්‍රිස්ටීන්.

ප්‍රමාණවත් නින්දක් ලබන්නේ කොහොමද කියා ඔබ කල්පනා කරනවා ඇති. එසේනම් ඔබේ සම වයසේ සමහර අය ඒ සම්බන්ධයෙන් කර තිබෙන දේ බලන්න.

රෑ වෙන තුරු ඇහැරගෙන ඉන්න එපා. “මම නිතරම උත්සාහ කරන්නේ වේලාසනින් නිදාගන්නයි.”—18 හැවිරිදි කැතරින්.

දීර්ඝ සාකච්ඡා අඩු කරන්න. “සමහර දවස්වලට මගේ යාළුවෝ ගොඩක් රෑ වෙලා මට කතා කරනවා, නැත්නම් SMS එවනවා. ඒත් ළඟකදී ඉඳලා ඒවා නතර කරලා වේලාසනින් නිදාගන්න මම පුරුදු වුණා.”—21 හැවිරිදි රිචඩ්.

නියමිත වෙලාවකට පුරුදු වෙන්න. “හැමදාම එකම වෙලාවට නිදාගන්නත් නැඟිටින්නත් මම උත්සාහ කරනවා.”—20 හැවිරිදි ජෙනිෆර්.

වැදගත් කරුණක්: සෑම දවසකම පැය අටත් දහයත් අතර කාලයක නින්දක් ලබාගැනීමට උත්සාහ කරන්න.

අප මෙතෙක් සාකච්ඡා කළ කරුණු තුනෙන් ඔබ වැඩි අවධානයක් දිය යුත්තේ කුමන කාරණාවලටද?

ආහාර ව්‍යායාම් නින්ද

එම පැතිවලින් දියුණු වීම සඳහා ඔබ කිරීමට බලාපොරොත්තු වන දේ පහත සඳහන් කරන්න.

.....

ඔබේ සෞඛ්‍යය රැකගැනීම සඳහා කිරීමට තිබෙන දේවල් ඉතා සරලයි. යහපත් සෞඛ්‍යයක් ඇතුව සිටීමෙන් ඔබට හොඳ පෙනුමක්, ඔබ ගැනම හොඳ හැඟීමක් සහ හොඳින් වැඩ කිරීමටත් ඔබට හැකි වන බව මතක තබාගන්න. ඔබේ ජීවිතයේ අනිකුත් දේවල් මෙන් නොව ඔබේ සෞඛ්‍යය හා සම්බන්ධ බොහෝ දේවල් තීරණය කිරීමට ඔබට හැකි බවත් මතක තබාගන්න. ඒ ගැන 19 හැවිරිදි එරීන් මෙසේ පවසනවා. “මම කොයි තරම් සෞඛ්‍ය සම්පන්න කෙනෙක් වෙයිද කියන එක තීරණය වන්නේ එකම එක පුද්ගලයෙක් මතයි. ඒ වෙන කවුරුත් නෙවෙයි, මමයි.”

[පාදසටහන්වල]

^ 11 ඡේ. සමහර අය විවිධ අසනීප තත්වයන්ට හා ආබාධිත තත්වයන්ට මුහුණ දෙන බවත් ඒවායින් මිදීමට ඔවුන්ට නොහැකි බවත් සත්‍යයක්. එවැනි අයට පවා තමන්ට කළ හැකි දේවල් තේරුම්ගැනීමට මෙම ලිපිය උපකාරවත් වෙයි.

^ 13 ඡේ. නම් වෙනස් කර ඇත.

සිතා බලන්න

● ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීමෙන් ඔබට ඔබ ගැන තිබෙන විශ්වාසය වැඩි වන්නේ කොහොමද?

● ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම සම්බන්ධයෙන් සාධාරණව කටයුතු කරන්න පුළුවන් කොහොමද?—ෆිලිප්පි 4:5.

[13වන පිටුවේ කොටුව⁄පින්තූර]

යෞවනයන් පවසන දේ

“අපේ ශරීරය හරියට මෝටර් රථයක් වගෙයි. ඒක කොයි තරම් හොඳින් නඩත්තු කරනවාද කියන එක අයිතිකරුගේ වගකීමක්. මම ව්‍යායාම් කරන්න එක හේතුවක් වුණෙත් ඒකයි.”

“තවත් කෙනෙක් එක්ක ව්‍යායාම් කරන එකේ වාසියක් තියෙනවා. ඒකට හේතුව යාළුවා කතා කරනකොට ඔයාට බැහැ කියන්න බැහැනේ.”

“මම ව්‍යායාම් කරන්නේ හරිම ආසාවෙන්. ඒකෙන් මට හොඳ පෙනුමක් ලැබෙනකොට මට මං ගැන තියෙන විශ්වාසය තවත් වැඩි වෙනවා.”

[පින්තූර]

ඊතන්

බ්‍රියානා

එමලි

[14වන පිටුවේ කොටුව]

“මගේ ක්‍රමය මම වෙනස් කෙරුවා”

“මට අවුරුදු හය වෙනකොට මගේ වයසට වඩා මගේ බර වැඩියි. මම සැරින් සැරේ කඩචෝරු කන්න පුරුදු වෙලා හිටියත් පස්සේ දන්නෙම නැතුව ඒක පුරුද්දකටම ගියා. මම කිසි වැඩක් කළේවත් කරන්න කැමති වුණේවත් නැහැ. අවුරුදු කිහිපයකට පස්සේ මගේ බර හොඳටම වැඩි වුණා. මගේ පෙනුම ගැනත් මට කිසිම සතුටක් තිබුණේ නැහැ. ඒ නිසා බර අඩු කරගන්න කියලා ඉඳලා හිටලා කෑම අඩු කෙරුවත් ආයෙත් මගේ බර වැඩි වුණා. නමුත් මට අවුරුදු 15 වෙනකොට මම හිතුවා මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා. ඊටපස්සේ මම පෝෂ්‍යදායි ආහාර සහ ව්‍යායාම් ගැන තියෙන පොතක් අරගෙන ඒකේ තියෙන විදිහට වැඩ කරන්න පටන්ගත්තා. සමහර වෙලාවට මම අධෛර්යය වුණත් අතහරින්නේ නැතුව දිගටම එහෙම කරනවා කියලා අධිෂ්ඨාන කරගත්තා. ඇත්තටම ඒ උත්සාහය සාර්ථක වුණා. ඒ නිසා අවුරුද්දකින් මගේ බර කිලෝ 25කින් අඩු කරගන්න පුළුවන් වුණා. දැනට අවුරුදු දෙකක් වෙනවා, තාම මගේ බර වැඩි වෙලා නැහැ. මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා මම නම් කවදාවත් හිතුවේ නැහැ. මගේ සාර්ථකත්වයට බලපෑවේ කෑම පාලනය විතරක්ම නෙවෙයි. මේ කාරණය මගේ ජීවිතයේ හැම පැත්තකටම බලපාන බව මම තේරුම්ගත්ත දා ඉඳන් අවශ්‍ය ඕනෑම වෙනස්කමක් කරන්න මම කැමති වුණා.”—18 හැවිරිදි කැතරින්.

[14වන පිටුවේ පින්තූරය]

ඔබේ සෞඛ්‍යය මෝටර් රථයක් හා සමානයි. එය නඩත්තු නොකළොත් ඉක්මනින්ම ඇනහිටියි