Skip to content

පටුනට යන්න

මානසික පීඩනය අපට බලපාන අයුරු

මානසික පීඩනය අපට බලපාන අයුරු

මානසික පීඩනය අපට බලපාන අයුරු

දුම්රිය හෝ බස් රථය මඟහැරෙයි කියා එය අල්ලාගැනීමට ඔබ වේගයෙන් දිව යන විට සිදු වන්නේ කුමක්ද? එවිට ඔබේ රුධිර පීඩනය වැඩි වී හද ගැස්ම වේගවත් වෙනවා ඔබට දැනෙයි. කෙසේනමුත් ඔබට බස් රථය අල්ලාගැනීමට හැකි වුණත් නැතත් ටික වේලාවකින් ඔබේ හද ගැස්මේ වේගය යථා තත්වයට පත් වෙනවා.

කාලයක් පුරා ඔබ යම් පීඩනකාරී තත්වයකට මුහුණ දෙමින් සිටිනවා නම් තත්වය ඊට වඩා වෙනස්. කනස්සල්ල, මස් පිඩු වේදනාව, රුධිර පීඩනය වැඩි වීම සහ ආහාර ජීර්ණය දුබල වීම වැනි තත්වයන්ට ඒ නිසා ඔබ මුහුණ දෙයි. ඒවා යථා තත්වයට පත් වීමට නම් බොහෝ කාලයක් ගත වෙයි. එවැනි පීඩනකාරී තත්වයකට එක් හේතුවක් වන්නේ රැකියාවයි. කෙනෙකු දිගින් දිගටම එවැනි මානසික පීඩනයකට මුහුණ දෙනවා නම් එය ඔහුගේ සෞඛ්‍යයට බලපානවා. ඒ කෙසේද?

ඔබේ ශරීරය ප්‍රතිචාරය දක්වන ආකාරය

මානසික පීඩනයට අපේ ශරීරය ප්‍රතිචාර දක්වන ආකාරය ගැන විශේෂඥ වෛද්‍යවරයෙක් වන ආරීන් ෆාන් ඩ මර්ව මෙසේ විස්තර කරනවා. ‘මානසික පීඩනය ඇති වූ සැණින් ස්නායුවලට බලපාන රසායනික මූලද්‍රව්‍ය හා හෝමෝන වැඩි වශයෙන් නිපද වෙන අතර ඒවා ශරීරය පුරා වේගයෙන් ගමන් කර හදිසි තත්වයන්ට විගසින් මුහුණ දීම සඳහා ශරීරයේ සෑම ඉන්ද්‍රියක්ම සූදානම් කරනවා.’

ඔබේ ඇස්, කන්, මොළය පමණක් නොව ඔබේ සම පවා එම හදිසි තත්වයට හොඳින් මුහුණ දීමට සූදානම් වෙයි. එමෙන්ම අධිවෘක්ක ග්‍රන්ථි මගින් මුදාහරින ප්‍රබල හෝමෝන නිසා ඔබේ මස් පිඩු, හෘදය, පෙණහලු හා වෙනත් ඉන්ද්‍රියන් වේගයෙන් ක්‍රියා කිරීමට පටන්ගනියි.

ඔබ තුළ ඇති වන එම ක්ෂණික ප්‍රතික්‍රියාව ඔබේ ජීවිතය පවා ආරක්ෂා කරයි. උදාහරණයකට මෝටර් රථයක් වේගයෙන් ඔබ වෙතට ඇදී එන විට ඔබට ක්ෂණිකව ඉන් ඉවතට පනින්න හැකි වන්නේ ඒ නිසයි. කෙසේනමුත් එවැනි පීඩනයක් දිගින් දිගටම පැවතීම නම් අනතුරුදායකයි.

එය අපට එරෙහි වන විට

සාමාන්‍යයෙන් කෙනෙක් මානසික පීඩනයට මුහුණ දෙන විට මස් පිඩු තද වීම, නාඩි වැටීම වේගවත් වීම වගේම රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, මේද, සීනි, හෝමෝන හා වෙනත් රසායනික ද්‍රව්‍යයන්වල මට්ටමද ඉහළ යයි. එය සාමාන්‍ය තත්වයට පත් නොවී දිගින් දිගටම එසේ පැවතුණහොත් ඇති විය හැකි හානි මොනවාද?

කොන්දේ කැක්කුම, හිසරදය, බෙල්ලේ හා වෙනත් ස්ථානවල මස් පිඩු තද වීම ඒ අතර වන බව වෛද්‍යවරුන් පවසනවා. එමෙන්ම කෙනෙකු සතු නිර්මාණශීලී හැකියාව අඩු වීමට, කඩිසරව වැඩකටයුතු කිරීමට වගේම අන් අය සමඟ පෑහී කටයුතු කිරීමටද බාධාවක් විය හැකියි. ඊට අමතරව බඩවැල්වල නිතර අපහසුතා ඇති වීමට, පාචනය, අංශභාගය, හදවත් රෝග, වකුගඩු අක්‍රියාශීලී වීම වගේම දියවැඩියාව වැනි රෝග ඇති වීමට හෝ ඒවා උග්‍ර වීමටද එය හේතු විය හැකියි.

“දිගින් දිගටම පවතින මානසික පීඩනය නිසා ශරීරයෙන් කෝටිසෝල් නමැති හෝමෝනය නිපදවන අතර එය වැඩි වීමද ශරීරයට අහිතකරයි. ඒ නිසා කෙනෙකුගේ උදරයේ හා පිට පැත්තේ මේදය එකතුවීමට පටන්ගනියි” කියා වෛද්‍ය වැන්ඩර් මර්ව් පවසනවා. දද හා කොරළ වැනි සමේ රෝග ඇති වීමට හෝ උග්‍ර වීමටද මානසික පීඩනය හේතු වෙයි. එවන් දරුණු මානසික පීඩන තත්වයන් නිසා මානසික අවපීඩනය, කෝප වීමේ ස්වභාවය ඉහළ යෑම සහ තෙහෙට්ටුව වැනි තත්වයන්ද ඇති විය හැකියි. එමෙන්ම මතක ශක්තිය සහ ධාරණ ශක්තිය පවා සම්පූර්ණයෙන්ම අහිමි වීමටද එය හේතු විය හැකියි. එපමණක්ද නොව ප්‍රතිශක්තිකරණය පවා දුර්වල වී සුළු සෙම්ප්‍රතිශ්‍යාවක සිට පිළිකාවක් දක්වා භයානක තත්වයන්ට ගොදුරු වීමේ අවදානමක පවතියි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින්ම සාමාන්‍ය සෛලවලට හානි සිදු කිරීමද එහි ප්‍රතිඵලයක් වෙයි.

ඒ අනුව බලද්දී ශාරීරිකව, මානසිකව මෙන්ම අපේ ජීවිතයේ සෑම වැදගත් අංගයකටම එය විශාල තර්ජනයක්. එමනිසා මානසික පීඩනය පාලනය කිරීමට ඉගෙනගැනීම ඉතා වැදගත්.

අප තුළ ඇති වන එම පීඩනය ජවසම්පන්න අශ්වයෙකුට සමාන කළ හැකියි. ඌ පිට යෑමෙන් අපට සතුටක් මෙන්ම ආශ්වාදයක් ලැබිය හැකියි. නමුත් පාලනයකින් තොරව වේගයෙන් ගමන් කිරීමට ඌට ඉඩහැරියොත් එය අපේ ජීවිතයට තර්ජනයක්. එලෙසම අප තුළ ඇති වන පීඩනය පාලනයකින් යුතුව තබාගැනීම අපට ප්‍රයෝජනවත්. ඒ තුළින් නිර්මාණශීලී වීමට, කඩිසරව වැඩ කිරීමට මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමටත් අවස්ථාව ලැබෙයි.

ඒ සඳහා උපකාරවත් වන වැදගත් ක්‍රම කිහිපයක් ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[5වන පිටුවේ කොටුව]

“පුදුමාකාර” නිර්මාණයක්

මානසික පීඩනයට අපේ ශරීරය ප්‍රතික්‍රියා කරන ආකාරය ගැන සමහරුන් මෙවැනි මතයක් දරනවා. ඔවුන් එය විස්තර කරන්නේ පුරාණයේ සිටි දැවැන්ත සතුන්ගෙන් එල්ල වූ තර්ජන නිසා ආදි මානවයා තුළ හටගත් විශේෂ ප්‍රතික්‍රියාවක් නූතන මිනිසා දක්වා පැවත ආ බවයි. නමුත් සැබෑව එය නොවෙයි. ඒ බව අපේ සංකීර්ණ ශරීර සැකැස්මෙන් පැහැදිලියි. උදාහරණයකට තුවාලයක් වූ විට රුධිරය කැටි ගැසීමට හා එය සුව කිරීමට මෙන්ම රෝග මර්ධනය කිරීමට ශරීරයට ඇති හැකියාව පුදුමාකාරයි. එමෙන්ම මානසික පීඩනය ඇති වන විට ශරීරය ප්‍රතිචාරය දක්වන ආකාරයත් මවිතකරයි. ඒ සියල්ලෙන් පැහැදිලි වන්නේ ඒවා ඉතා ප්‍රඥාවන්ත මෙන්ම ප්‍රේමණීය කෙනෙකුගේ නිර්මාණයක් බවයි.

ඉන් ඔප්පු වන්නේ අපව “පුදුමාකාර ලෙස සාදා” ඇති බවයි. එසේ කළ තැනැත්තා කෙරෙහි අපිට ‘මහත් ගරුබියක් ඇති වන්නේ’ නැද්ද! (ගීතාවලිය 139:13-16) ඔව්, සතුටින් ජීවත් වීමට අපට අවශ්‍ය සියලු දේ ලබා දී තිබෙන්නේ යෙහෝවා දෙවියි. ඔහු ගැන ඉගෙනගෙන ඔහුට ළං වීමටත් ඔහු අපට උපකාර කරනවා. ඉදිරියේදී ඔහු මේ පොළොව පාරාදීසයක් බවට පත් කරන විට අපගේ දුකට හේතු වන සියල්ලක්ම මේ පොළොවෙන් ඉවත් කරන බවට ඔහු පොරොන්දු වී තිබෙනවා. එය මොන තරම් උදාර බලාපොරොත්තුවක්ද!—එළිදරව් 21:3-5.

[5වන පිටුවේ රූප සටහන/පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

දිගින් දිගටම පවතින මානසික පීඩනයේ ප්‍රතිඵල

හිසරදය

දත්මිටි කෑම

බෙල්ලේ වේදනාව

හෘද රෝග

බඩවැල්වල තුවාල

කොන්දේ කැක්කුම

මස් පිඩු තදවීම