Skip to content

පටුනට යන්න

මා ගායනයෙන් සමුගත් හේතුව

මා ගායනයෙන් සමුගත් හේතුව

මා ගායනයෙන් සමුගත් හේතුව

පැවසුවේ මාර්තා තෙරේසා මාකෙස්

පුංචි කාලේ ඉඳලම සිංදු කියන්න මට ලොකු ආශාවක් තිබුණා. ගුවන් විදුලියේ සිංදු කියන්නත් මම හරි ආසයි. මම ගියේ පෙර පාසැලට විතරයි. ඒ වුණත් පස්සේ මෙක්සිකෝ නගරයේ සංගීත අධ්‍යක්ෂකවරයෙකුගෙන් සංගීතය පිළිබඳව හැදෑරුවා.

මට වයස අවුරුදු 24දී, ඒ කියන්නේ 1969දී මගේ යාළු නර්තන ශිල්පියෙක් දවසක් මගේ හඬ පරීක්ෂණයකට සුප්‍රසිද්ධ අවන්හලක් වූ ලා රාම්පා ආසූල්වලට එන්න කියලා කිව්වා. එතැනදී තෝමස් මෙන්ඩෙස් විසින් රචනා කළ ජනප්‍රිය ගීතයක් මම ගායනා කළා. ඒකට හොඳ ප්‍රතිචාරයකුත් ලැබුණා. ඒක තමයි මගේ සංගීත දිවියේ ආරම්භය. ඊටපස්සේ මම රෝමෙලියා රෝමෙල් කියලා මගේ නමත් වෙනස් කරගත්තා. ඒක පුද්ගල ප්‍රසංගත් පැවැත්වූවා.

තෝමස් මෙන්ඩෙස්ට අමතරව තවත් දක්ෂ මෙක්සිකානු ගීත රචකයන් හා ගායකයන් වන කූකෝ සාන්චෙස් හා හුවාන් ගාබ්‍රියෙල් යන අය එක්කත් මම වැඩ කළා. ඇත්තෙන්ම මගේ නම පත්තරවලත් සඟරාවලත් පළ වෙනකොට මට දැනුණේ ලොකු සතුටක්. මම සමාජ ශාලාවල, ගුවන්විදුලියේ වගේම මෙක්සිකෝවේ හා බ්‍රසීලයේ සංගීත සන්දර්ශනවලත් සිංදු කිව්වා. ඒ වගේම මෙක්සිකෝවේ ප්‍රසිද්ධ විකට ශිල්පිනියක් වන ලියොනොරිල්ඩා ඕකොආ එක්කත් වැඩ කළා.

කාලයත් එක්ක මම හුඟක් ප්‍රසිද්ධ වුණ නිසා මගේ අතමිට සරු වෙන්නත් පටන්ගත්තා. ඒ නිසා මුතු මැණික්, මිල අධික ඇඳුම් වගේම සුඛෝපභෝගී නිවසක් මිල දී ගන්නත් මට පුළුවන් වුණා. සාර්ථක පුද්ගලයෙකුට තිබිය යුතුයි කියලා හිතුණ හැම දෙයක්ම වගේ මට තිබුණා. ඒ වුණත් මගේ ජීවිතයේ මොකක් හරි ලොකු අඩුවක් තියෙනවා කියලා මට දැනුණ නිසා මම හිටියේ සතුටින් නෙවෙයි. මම ගත කරමින් හිටිය ඒ නරක ජීවිතය නිසා මට පල්ලි යන්නවත් හිතුණේ නැහැ.

ජීවිතය අලුත් මඟකට

කන්‍යා සොහොයුරියක් වෙලා දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න හිතෙනවා කියලා මම මගේ මිතුරියක් වන ලොරෙනා වොංට කිව්වා. ඒ මගේ මුල්ම ගී තැටිය පටිගත කරන කාලයේදීයි. එතකොට එයා මෙහෙම ඇහුවා. “කන්‍යා සොහොයුරියක් වෙන්න? ඔයාට පිස්සුද?”

එයා මගෙන් මෙහෙමත් ඇහුවා. “ඔයා දන්නවද දෙවිගේ නම මොකක්ද කියලා?”

මම කිව්වා “යේසුස් ක්‍රිස්තුස්නේ” කියලා.

ඊටපස්සේ එයා කිව්වා “නැහැ, දෙවිගේ නම යෙහෝවා, යේසුස් කියන්නේ දෙවිගේ පුතාට” කියලා.

ඊටපස්සේ මම ඇහැව්වා “යෙහෝවා,” මම කවදාවත් ඒ නම අහලා නැහැනේ කියලා. එතකොට ලොරෙනා මට බයිබලයක් දීලා කිව්වා එයාට බයිබලය ගැන උගන්වන කෙනාව මාවත් හම්බවෙන්න එවන්නම් කියලා. *

දෙවි ගැන ඉගෙනගන්න මම ගොඩක් ආශාවෙන් හිටිය නිසා ලොරෙනාව දකින හැම වෙලාවේම මම මෙහෙම ඇහුවා. “කෝ ඔයා එවනවා කිව්ව කෙනා?”

ඒ අතරතුර මම බයිබලය කියවන්න පටන්ගත්තා. එතකොට මම දැක්කා දෙවිගේ නම යෙහෝවා කියලා බයිබලයේ තියෙනවා. (ගීතාවලිය 83:18) ඒ වගේම “අනාචාරයේ නොහැසිරෙන්න” කියලා දසපනතේ සඳහන් කරලා තියෙනවා දැක්කාම මට පුදුම හිතුණා. (නික්මයාම 20:14) ඒ වෙනකොට මට විවාහක කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබුණා. එයාගෙන් මට මාස අටක පුතෙක් හිටියා. ඒ මගේ දෙවෙනි දරුවා. මගේ පළවෙනි පුතා ලැබුණෙත් විවාහ නොවී එකට ජීවත් වුණ වෙනත් කෙනෙකුගෙනුයි.

දවසක් මම සංදර්ශනයකට සිංදුවක් පෙරහුරු කර කර ඉන්නකොට කවුද කෙනෙක් මගේ දොරට තට්ටු කෙරුවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි, ලොරෙනාට බයිබලය ගැන උගන්වන මයුරිසියෝ ලීනාරෙස් හා ඔහුගේ බිරිඳයි. දෙවි මිනිස් වර්ගයා වෙනුවෙන් අරමුණු කරලා තියෙන්නේ මොකක්ද කියලා ඒ අය මට පැහැදිලි කෙරුවා. ඒ විතරක් නෙවෙයි සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍ය නමැති පොතත් මට දුන්නා. * ඒකෙ තිබුණ සමහර වචන කියවන්න මට ටිකක් අමාරු වුණත් මම එක රැයකින් ඒ පොත කියවලා ඉවර කෙරුවා. එදා ඉඳලා තමයි මම යෙහෝවා දෙවිට ළං වෙන්න පටන්ගත්තේ.

ජීවිතය වෙනස් කරමින්

දෙවි ගැන ඉගෙනගන්නත් මගේ කියවීමේ හැකියාව දියුණු කරගන්නත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මට උදව් කළා. දෙවිව සතුටු කරන්න ඕනේ නම් මගේ ජීවිතය වෙනස් කරන්න ඕනේ කියලා මට ඉක්මනින්ම තේරුණා. ඒ නිසා මං ළඟ තිබුණු පිළිම සහ කුරුස වගේ සමහර දේවල් රත්තරනින් හදලා තිබුණත් ඒ හැම දෙයක්ම මම අයින් කළා.

කොහොමවුණත් මත්පැන් හා දුම්පානය නතර කරන එක මට ලෙහෙසි වුණේ නැහැ. බාර් එකක් පහු කරගෙන යනකොට මට බොන්නමයි හිතෙන්නේ. සුපිරි අවන්හල්වල කන්න බොන්න මගේ යාළුවන් මට නිතරම වගේ කතා කරනවා. එහෙම ගියොත් ආයෙත් මම පරණ තත්වයට වැටෙන බව මම දන්න නිසා මගේ යාළුවන්ව ආශ්‍රය කරන එකත් සම්පූර්ණයෙන්ම නතර කෙරුවා.

උත්සවවලට සහභාගි වෙන එක නතර කරන එකත් ලෙහෙසි වුණේ නැහැ. දවසක් ප්‍රසිද්ධ පුද්ගලයෙක් එයාගේ උපන් දින උත්සවයකට මට ආරාධනා කෙරුවා. ඒ වෙලාවේ මම දෙවිට යාච්ඤා කරලා මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා දෙවියනි, මේක තමයි මම සහභාගි වන අන්තිම උත්සවය. ආයේ නම් මම කවදාවත් ඒ වගේ උත්සවවලට සහභාගි වෙන්නේ නැහැ.” ඊටපස්සේ මම දෙවිට පොරොන්දු වුණ විදිහටම කවදාවත් ඒ වගේ දේවල්වලට ගියේ නැහැ.

මගේ බාල පුතාගේ තාත්තා එක්ක තිබුණ සම්බන්ධයත් මම නැවැත්තුවා. එයා මට කියලා තිබුණා එයාත් එක්ක දිගටම ජීවත් වුණොත් එයාගේ තියෙන හැම දෙයක්ම මට දෙනවා කියලා. මම එයාට ගොඩක් ආදරය කරපු නිසා ඒ සම්බන්ධය නතර කරන එක මට ලෙහෙසි වුණේ නැහැ. එයත් ඒක දන්නවා. දවසක් එයා කේන්තියෙන් මෙහෙම කිව්වා. “මමයි ඔයාගේ දෙවියන්!”

එතකොට මම මෙහෙම කිව්වා. “හැබැයි, දැන් මගේ දෙවි යෙහෝවා.” පුතාව බලෙන් අරන් යනවා කියලත් මට හොඳින් ඉන්න දෙන්නේ නැහැ කියලත් එයා මට තර්ජනය කෙරුවා.

ඒ කාලයේදී සමහරු මට මෙහෙම කිව්වා. ‘සිංදු කියන එකේ වරදක් නැහැනේ. ඒ නිසා සාක්ෂිකාරියක් හැටියට ඉන්න ගමන්ම සිංදුත් කියන්න.’ ඒ වුණත් තවත් අය මට මෙහෙමත් කිව්වා. “ඔයා ඒ වගේ අවස්ථාවලට සහභාගි වෙනකොට අරක්කු, සිගරට් බොන්න පෙලඹීමක් ඇති වෙන්න පුළුවන්. ඔයාගේ යාළුවන්ගෙන් නරක යෝජනා එන්න පුළුවන්. ඔයාට ඒවලින් ආරක්ෂා වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවාද?” ඒක ඇත්ත කියලා මට තේරුණා.

මම ජනප්‍රිය ගායිකාවක් වුණාට පස්සේ මිනිස්සු මගෙන් අයුතු ප්‍රයෝජන ගන්න උත්සාහ කෙරුවත් ඒ වගේ තත්වයන්ට හසු නොවී ඉන්න මම අධිෂ්ඨාන කරගත්තා. ඒ නිසා 1975දී චීනයේ සංචාරය කිරීමට මම කරලා තිබුණ ගිවිසුමත් මම අවලංගු කෙරුවා. ඊට මාස හයකට පස්සේ මම බව්තීස්ම වුණා.

අභියෝග මැද ප්‍රීතියෙන්

මම ඉස්කෝලෙ ගිහිල්ලා තිබුණේවත් වෙන රැකියාවක් කරන්න ඉගෙනගෙන තිබුණේවත් නැති නිසා මගේ පවුලේ අයව බලාගන්න එක ලෙහෙසි වුණේ නැහැ. මගේ අක්කා ඉර්මාර්වත් එයාගේ දරුවෝ තුන්දෙනාවත් මගේ දරුවෝ දෙන්නවත් බලාගන්න වුණේ මටයි. ඒ නිසා අපි ජීවත් වුණ සුඛෝපභෝගි නිවස අත්හැරලා පොඩි කාමර දෙකකට යන්න සිද්ධ වුණා. ඒක මට හරිම අමාරු දෙයක් වුණා. ඒ විතරක් නෙවෙයි, ආයෙත් සිංදු කියන්න කියලා මගේ අක්කත් දරුවෝත් මට බල කළා. ඒත් යෙහෝවා දෙවිට සේවය කරන්න ගත්ත අධිෂ්ඨානය මම වෙනස් කෙරුවේ නැහැ.

ආර්ථික ප්‍රශ්න වැඩි වෙනකොට මගේ වටිනා ඇඳුම්, ආභරණ වගේම මගේ කාර් එකත් විකුණුවා. ඒ සල්ලිවලින් වුණත් වැඩි දවසක් ජීවත් වෙන්න ලැබුණේ නැහැ. ඒ කාලයේදී මගේ දෙවෙනි පුතාගේ තාත්තා අපිට ගොඩක් කරදර කළ නිසා අපි 1981දී වෙනත් නගරයක පදිංචියට ගියා.

ඒ නගරයේ හිටිය සාක්ෂිකරුවන් මට කෑම ජාති හදන විදිහ කියලා දුන්න නිසා මම ඒවා හදලා විකුණන්න පටන්ගත්තා. පස්සේ කාලෙක මට කර්මාන්ත ශාලාවක රැකියාවක් ලැබුණත් ඒකේ රෑ වැඩ කරන්න සිද්ධ වුණ නිසා රැස්වීම් වගේම දේවසේවයත් අතපසු වෙන්න පටන්ගත්තා. ඒ නිසා මම ඒ රැකියාවෙන් අයින් වෙලා ගෙදර ඉඳන්ම කෑම ජාති හදලා පාරේ තියාගෙන විකුණන්න පටන්ගත්තා. පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න මට හැකි වෙලා තියෙන්නේ මේ රැකියාව නිසා තමයි.

ඒ ගැන මට දුකක් නැහැ

සමහර අය මගෙන් අහනවා ගායිකාවක් හැටියට ගත කෙරුව ඒ සැප පහසු ජීවිතය අත්හැරීම ගැන දැන් මම දුක් වෙනවාද කියලා. එතකොට මම කියනවා මම අතහැරපු දේට වඩා යෙහෝවා දෙවි ගැන මට ඉගෙනගන්න ලැබුණ එක හුඟක් වටිනවා කියලා. ඇත්තටම මගේ පුතාලා යෙහෝවා දෙවි ගැන ඉගෙනගෙන ඔවුන්ගේ ජීවිත දෙවිට කැප කරලා තියෙන එක ගැනත් දෙවිට නමස්කාර කරන අයවම විවාහ කරගෙන ඉන්න එක ගැනත් අද මම හුඟක් සතුටු වෙනවා. ඒ පවුල් දෙකේම අය එයාලගේ දරුවන්ටත් යෙහෝවා දෙවිගේ මාර්ග ගැන උගන්වනවා.

මම දැනට අවුරුදු 30කට ආසන්න කාලයක් තිස්සේ පූර්ණකාලීන දේවසේවයේ හවුල් වෙනවා. මගේ අක්කා ඉර්මාට සහ එයාගේ දුවටත් තවත් හුඟක් දෙනෙකුට යෙහෝවා දෙවි ගැන උගන්වන්න වගේම ඒ අයගේ ජීවිත දෙවිට කැප කරන්න උපකාර කරන්නත් මට පුළුවන් වෙලා තියෙනවා. ඒ අයත් මගේම දරුවන් වගෙයි. (3 යොහන් 4) සමහර අය තවමත් පුරෝගාමීන් ලෙස සේවය කරනවා. දැන් මගේ වයස අවුරුදු 64යි. මම තවමත් බයිබල් පාඩම් 18ක් පවත්වනවා.

ගායිකාවක් හැටියට ගත කෙරුව කාලයේදී මට දැනුණ ඒ අඩුව දැන් දෙවි ගැන දැනගැනීමෙන් පිරී තිබෙනවා. ඒ වගේම ‘ගොස්, මිනිසුන්ව ගෝලයන් කරන්න’ කියා යේසුස් දුන් අණට කීකරු වී අන් අයට උපකාර කිරීමෙනුත් මම ලොකු සතුටක් ලබනවා. (මතෙව් 28:19, 20) පසුගිය අවුරුදු ගණනාව පුරා යෙහෝවා දෙවි මාව රැක බලාගත් ආකාරය ගැනත් ඉදිරියටත් එහෙම කරන එක ගැනත් මම දෙවිට ගොඩක් ස්තුතිවන්ත වෙනවා! ඇත්තෙන්ම මම ‘යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගෙන’ තිබෙනවා.—ගීතාවලිය 34:8.

[පාදසටහන්වල]

^ 12 ඡේ. ලොරෙනා වොං පසු කාලයේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් බවට පත් වුණා.

^ 15 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. දැන් එය මුද්‍රණය නොකෙරේ.

[25වන පිටුවේ පින්තූරය]

මගේ පුතුන් දෙදෙනා, ඔවුන්ගේ භාර්යාවන් හා මගේ පුරෝගාමි සහයිකාව වන මගේ අක්කා සමඟ

[26වන පිටුවේ පින්තූරය]

පූර්ණකාලීන සේවයේ යෙදීම සඳහා මම තවමත් කෑම හදලා පාරේ තියාගෙන විකුණනවා