Skip to content

පටුනට යන්න

වෛරස් උණෙන් ආරක්ෂා වෙමු!

වෛරස් උණෙන් ආරක්ෂා වෙමු!

වෛරස් උණෙන් ආරක්ෂා වෙමු!

අප ජීවත් වන මෙම කාලය ගැන යේසුස් මෙවැනි දෙයක් පැවසුවා. ‘එක් තැනක් පාසා තවත් තැනක වසංගත ඇති වෙයි.’ (ලූක් 21:11) ඉන්ෆ්ලූවෙන්සා හෙවත් වෛරස් උණද ඉන් එක් වසංගතයක් ලෙස හැඳින්විය හැකියි.

මෙම රෝගය ඇති වන්නේ වෛරසයකින් බව එහි නමින්ම ඇඟවෙනවා. වෛරසයක් සෛලයකට ඇතුල් වී ඒ තුළ තවත් වෛරස් නිපදවීමට පටන්ගනියි. ඉන්ෆ්ලූවෙන්සා වෛරසය මූලිකවම බලපාන්නේ කෙනෙකුගේ ස්වසන පද්ධතියටයි. එය වෙනත් කෙනෙකුට බෝ වන්නේ රෝගියා කිවිසුම් අරින විට, කහින විට මෙන්ම කතා කරන විට විෂබීජ සහිත කුඩා කෙල බින්දු වාතයට එකතු වීමෙනුයි. ඒ වගේම එය වසංගතයක් බවට පත් වෙන්නේ එම රෝගය විශාල ප්‍රදේශයක සිටින බොහෝදෙනෙකුට වැලඳුණ විටයි.

වෛරස් රෝග මිනිසුන්ට පමණක් නොව සතුන්ටත් කුරුල්ලන්ටත් වැලඳිය හැකියි. සාමාන්‍යයෙන් වෛරසයක් වර්ග කරන්නේ එහි මතුපිට තිබෙන ප්‍රෝටීන අනුවයි. එම ප්‍රෝටීන දෙක නම් හෙමග්ලූටනින් (H) හා නියුරමිනිඩේස් (N). ඊට අමතරව ඉන්ෆ්ලූවෙන්සා වෛරසය A, B හා C ලෙස කාණ්ඩවලට බෙදා තිබෙනවා. බොහෝවිට ඉන්ෆ්ලූවෙන්සා රෝගය හටගන්නේ A වෛරසය නිසයි.

ඉන්ෆ්ලූවෙන්සා වෛරසය මර්දනය කිරීම දුෂ්කර වීමට බලපාන හේතු වන්නේ රෝගය වැලඳුණ වහාම එම වෛරසය ශරීරය තුළ සුළු සුළු වෙනස්කම් ඇති කරමින් රෝගියා තුළ තව තවත් වර්ධනය වීමයි. එමෙන්ම විවිධ වෛරස් වර්ග එකතු වී අලුත් වෛරසයක් නිපදවීමද එය දුෂ්කර වීමට තවත් හේතුවක්. එසේ අලුතින් හටගන්නා වෛරස් වර්ග මර්දනය කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතියට අපහසුයි.

ශීත කාලයේදී ඉන්ෆ්ලූවෙන්සා රෝගය බෝ වීමට තිබෙන ඉඩකඩ වැඩියි. ඊට හේතුව වෛරසයක ඇති මතුපිට ආවරණය සීතල නිසා මදක් ගන වී වැඩි කාලයක් පරිසරය තුළ පවතින්න ඊට හැකි නිසයි. නමුත් එම වෛරසය කෙනෙකුගේ ශරීරයට ඇතුල් වූ විගස එහි ගන ආවරණය දිය වී පුද්ගලයාට රෝගය වැලඳෙන බව පර්යේෂණවලින් ඔප්පු වී තිබෙනවා. නමුත් ශීත දේශගුණයක් වෛරස් රෝග ඇති කරන්නේ නැහැ. එහෙත් වෛරස් පැතිරීමට සුදුසු වාතාවරණයක් ඇති කරනවා.

ගත හැකි ආරක්ෂාකාරී පියවර

රෝගයක් බෝ වීමට පෙර ඉන් ආරක්ෂා වීමට කල්තියා සූදානම් වීම වැදගත්. ඒ සඳහා බොහෝ රටවල් පියවර ගෙන තිබෙනවා. නමුත් ඒ ගැන අපට පෞද්ගලිකව කළ හැක්කේ කුමක්ද? ඒ සම්බන්ධයෙන් මූලික පියවර තුනක් ගැන අපි සලකා බලමු.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගන්න: පවුලේ සැමදෙනාම ප්‍රමාණවත් නින්දක් හා පෝෂ්‍යදායී ආහාර ලබාගත යුතුයි. ඔබේ ආහාර වේලට පලතුරු, ප්‍රමාණවත් එළවළු, ධාන්‍ය වර්ග හා මේද රහිත ප්‍රෝටීන් වර්ගද එක් කරගන්න. එමගින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගැනීමට අවශ්‍ය ඇමයිනෝ අම්ල ඔබේ ශරීරයට ලැබෙයි.

විෂබීජ පැතිරීම වළක්වාගන්න: ආහාර ගැනීමට හා පිසීමට භාවිත කරන මේස දිනපතා හොඳින් පිරිසිදු කරන්න. එමෙන්ම උයන පිහන භාජන භාවිතයෙන් පසු හොඳින් සෝදන්න. ඇඳ ඇතිරිලි, කොට්ට උර හා තුවා නිතරම වගේ සෝදන්න. එමෙන්ම නිතරම අල්ලන දොරගුලු, දුරකථනය, දුරස්ථ පාලකය වැනි උපකරණ විෂබීජ නාශක යොදා පිරිසිදු කරන්න. හැකි තාක් දුරට නිවසට හොඳ වාතාශ්‍රයක් ලැබීමට සලස්වන්න.

නිතරම පිරිසිදුව සිටින්න: නිතරම වගේ ඔබේ අත් සබන් දමා සෝදන්න. එසේත් නැත්නම් ජලය නොමැති විට භාවිත කරන විෂබීජ නාෂකයක් (ජෙල්) පාවිච්චි කළ හැකියි. ඔබේ තුවාය ඔබේ පවුලේ සාමාජිකයෙකු හෝ වෙනත් කෙනෙකු සමඟ හවුලේ භාවිත කිරීමෙන් වළකින්න.

ඔබේ අත් පිරිසිදු නොකර ඇස්, නාසය හෝ මුඛය ඇල්ලීමෙන් වළකින්න. හැකි නම් කහින විට හෝ කිවිසුම් අරින විට ලේන්සුව වෙනුවට ටිෂූ කඩදාසියක් භාවිත කර, හැකි විගස එය ඉවත් කර දමන්න. එමෙන්ම පහසුවෙන්ම විෂබීජ පැතිරිය හැකි ඔබේ ජංගම දුරකථනය වැනි උපකරණ හවුලේ භාවිතයෙන් වළකින්න. එවැනි පුරුදු ඔබේ දරුවන්ටත් ඉගැන්වීම ඉතා වැදගත්. ඒවා සෑම කාලයකටම ප්‍රයෝජනවත් වන අතර විශේෂයෙන්ම වෛරස් රෝග පැතිරෙන කාලයේදී ඉතා වැදගත්.

අන් අය ගැන සැලකිලිමත් වන්න

ඔබට රෝග ලක්ෂණ මතු වීමට දිනකට පෙර සිට හා රෝගාතුර වී දින පහක් පමණ යන තුරු ඔබෙන් අන් අයට රෝගය බෝ විය හැකියි. මෙම වෛරස් උණේ රෝග ලක්ෂණ හෙම්බිරිස්සාවකට ටිකක් සමාන වුණත් එය ඊටත් වඩා දරුණුයි. බොහෝවිට එයට තද උණ, හිසරදය, අධික වෙහෙසකර ගතිය, වියළි කැස්ස හා ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ අයත් වෙනවා. ඊට අමතරව සොටු දියර ගැලීම, වමනය හා බඩ යෑම වැනි ලක්ෂණත් ඇති විය හැකියි. නමුත් ඒවා වැඩි හරියක් දකින්න ලැබෙන්නේ දරුවන් අතරයි. ඔබට එවැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් අන් අය ගැන සැලකිලිමත් වී සුව වන තෙක් නිවසටම වී සිටින්න.

එවැනි තත්වයකදී වැඩිපුර විවේකයක් ගැනීමත් ජලය හා වෙනත් දියර වර්ග වැඩිපුර පානය කිරීම ඉතා යෝග්‍යයි. වෛද්‍ය ප්‍රතිකාරවලින් ප්‍රයෝජනයක් ලැබෙන්නේ රෝග ලක්ෂණ මතු වූ විගස ප්‍රතිකාර ගතහොත් පමණයි. වෛරස් උණ වැලඳුණ දරුවෙකුට ඇස්ප්‍රින් ලබා නොදිය යුතුයි. එමෙන්ම හුස්මගැනීමේ අපහසුතා, පපුවේ කැක්කුම හෝ දරුණු හිසරදය වැනි නිව්මෝනියාව හා සමාන රෝග ලක්ෂණ මතු වේ නම් වහාම වෛද්‍යවරයෙක් හමු වන්න.

මෙම රෝගයෙන් කෙනෙකු දැඩි අපහසුතාවකට පත් විය හැකියි. නමුත් පෙර සිටම එවැනි තත්වයකට මුහුණ දීමට සූදානම් වීමෙන් එය දරාගැනීම පහසු කරයි. කෙසේනමුත් නුදුරු අනාගතයේදී සියලුම ලෙඩ රෝග මේ පොළොවෙන් තුරන් වීමට නියමිතයි. එදාට “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැහැ.”—යෙසායා 33:24.

[27වන පිටුවේ කොටුව]

දරුණු උණක්

දසත පැතිර යන H1N1 නමැති වෛරසය මුල් වතාවට හඳුනාගත්තේ මෙක්සිකෝවෙනුයි. ඒ 2009දීයි. එය 1918දී පැතිර ගිය මිලියන ගණනක් දෙනෙකුගේ ජීවිත බිලිගත් ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාවට තරමක් සමානයි. කෙසේනමුත් H1N1 වෛරසය ඌරන් හා කුරුල්ලන්ට බලපාන වෛරස්වල එකතුවක් නිසා එය ඉතා දරුණුයි.

[28, 29වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබගේත් අන් අයගේත් ආරක්ෂාව සඳහා ගත හැකි පියවර හයක්

1. කහින විට මුඛය වසාගන්න

2. අත් සෝදන්න

3. නිවසට හොඳින් වාතාශ්‍රය ලැබෙන්න සලස්වන්න

4. මේවා පිරිසිදුව තබාගන්න

5. රෝගය වැලඳුණහොත් නිවසේම රැඳී සිටින්න

6. අන් අයව ස්පර්ෂ කිරීමෙන් වළකින්න

[29වන පිටුවේ කොටුව⁄පින්තූරය]

එය ඔබේ ප්‍රදේශයටත් බලපාන විට

සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් හොඳින් පිළිපදින්න. අනවශ්‍ය ලෙස කලබල වෙන්න එපා. අප සාකච්ඡා කළ හොඳ පුරුදු පිළිපදින්න. වැඩි පිරිසක් ගැවසෙන තැන් හැකි තාක් දුරට මඟහරින්න. ඔබට එය වැලඳී ඇත්නම් මුඛ ආවරණයක් පළඳින්න. ඔබේ දෑත් නිතරම පිරිසිදුව තබාගන්න. සමහරවිට ඔබට නිවසින් පිට යෑමට නොහැකි තත්වයක් මතු විය හැකි නිසා සති දෙකකට ප්‍රමාණවත් වියළි ආහාර හා පිරිසිදුකාරක ද්‍රව්‍ය ගෙනත් තබාගන්න.

ජනයා පොදුවේ ගැවසෙන ඕනෑම ස්ථානයක ඔබ සිටින විට ලබා දී ඇති උපදෙස් පිළිපදින්න. හැකි තරම් හොඳ වාතාශ්‍රයක් ලැබෙන ස්ථානයක සිටීමට උත්සාහ කරන්න.

[27වන පිටුවේ පින්තූරය]

H1N1 වෛරසය විශාල කළ විට පෙනෙන ආකාරය

[හිමිකම් විස්තර]

CDC/​Cynthia Goldsmith