Skip to content

පටුනට යන්න

සෞඛ්‍යයට තර්ජනයක් වන මානසික පීඩනය

සෞඛ්‍යයට තර්ජනයක් වන මානසික පීඩනය

සෞඛ්‍යයට තර්ජනයක් වන මානසික පීඩනය

“මගේ රැකියාවට අනුව දවසේ ඕනෑම වෙලාවක වැඩ කරන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. එක තැනක ශල්‍යකර්මයක් ඉවර කරලා තවත් තැනකට යන්න තියෙන්නේ විනාඩි කිහිපයක් විතරයි. ඒ යන්න තියෙන්නෙත් ගොඩක් වාහන තදබද අස්සෙයි.”—දකුණු අප්‍රිකාවේ වෛද්‍යවරයෙක් වන පීටර් ස්ටුවට්.

ඔබ වෛද්‍යවරයෙක් නොවුණත් ඔහු හා සමාන තත්වයක් ඔබත් අද්දකිනවා ඇති. උදාහරණයකට වාහන තදබදය, නිවසේ හෝ රැකියා ස්ථානයේ ඇති වී තිබෙන ගැටලුවක් හෝ වෙනත් හේතුවක් නිසා ඔබ මානසික පීඩනයට මුහුණ දෙනවා ඇති. නමුත් මෙවැනි තත්වයකට මුහුණ දීම අලුත් දෙයක් නම් නොවෙයි.

මීට අවුරුදු 3,000කට පමණ පෙර සිටි නිර්භීත මිනිසෙක් පවා එවැනි තත්වයකට මුහුණ දුන්නා. “භීතිය මා තුළ ලැගුම් ගෙන සිටියි. තැතිගැන්ම මාගේ ජීවිතේ කොටසක් වී තිබේ” කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (ගීතාවලිය 55:5) යෞවන එඬේරෙකුව සිටි කාලයේදී ඔහුට දරුණු සිංහයෙකු හා වලසෙකු සමඟ පොරබැදීමටත් ඔහුව මරා දැමීමට පැමිණි යෝධ සෙබළෙකුට මුහුණ දීමටත් සිදු වුණා.—1 සාමුවෙල් 17:4-10, 23, 24, 34-36, 41-51.

මනසට පීඩනයක් දැනීමෙන් යම් යහපතක්ද සිදු වෙනවා. එනම් ජීවිතයට තර්ජනයක් වන අවස්ථාවලදී හෝ අභියෝගාත්මක අවස්ථාවන්වලදී කෙනෙකුට කළ නොහැකියි කියා සිතූ දේවල් කිරීමට පවා ඔහුට හැකි වෙනවා. ඔබට ඉතා වැදගත් කාර්යයක් කිරීමට තිබෙනවා කියා සිතන්න. එවිට ඔබේ ශරීරය මගින් ඇඩ්‍රිනලින් හෝමෝනය වැඩි වශයෙන් නිපදවා ඒ කාර්යය කිරීමට ඔබට වැඩි ශක්තියක් ලබා දෙයි. *

නමුත් ප්‍රශ්නය වන්නේ එම පීඩනය නිසා ඇති වන නොසන්සුන්කාරී තත්වය දිගින් දිගටම පැවතීමයි. ඒ ගැන වෛද්‍යවරියක් මෙසේ පැවසුවා. “මානසික පීඩනය කියන්නේ අපේ සෞඛ්‍යයට හා පැවැත්මට තර්ජනයක් වන අංක එකේ ප්‍රශ්නයක්.” ඔබත් එවැනි තත්වයකට මුහුණ දෙමින් සිටිනවා නම් එය තවදුරටත් දරාගන්න බැහැ කියා ඔබට සිතෙන්න පුළුවන්. නැත්නම් එය පාලනය කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවාද කියා ඔබ කල්පනා කරනවා විය හැකියි.

ඒ සඳහා ක්‍රමයක් තිබෙන බව දැනගැනීමෙන් ඔබ සතුටු වෙයි. ඒ ගැන සඳහන් වන්නේ දෙවිගේ වචනය වන ශුද්ධ බයිබලයේයි. එය බොහෝදෙනෙකුට උපකාරවත් වී තිබෙනවා. බයිබලය වෛද්‍යමය අත්පොතක් නොවුණත් මානසික පීඩනයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ප්‍රඥාව ඉන් ලබාගත හැකියි. අද දින බොහෝදෙනෙක් මානසික පීඩනයට මුහුණ දෙන හේතු සහ එය අඩු කරගැනීමට ප්‍රයෝජනවත් මඟ පෙන්වීම් එහි සඳහන් වී තිබෙනවා.

[පාදසටහන]

^ 5 ඡේ. ඇඩ්‍රිනලින් යනු හදිසි තත්වයන්වලට මුහුණ දීම සඳහා ඔබව සූදානම් කිරීමට අධිවෘක්ක ග්‍රන්ථියෙන් නිකුත් කරන හෝමෝනයක්.